Showing posts with label ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස්කිරිම්. Show all posts
පකිස්තානු ප්‍රහාර ගැන ඉන්දියාව පැහැදිලි කරයි



ත‍්‍රස්තවාදී ව්‍යසනයට එරෙහිව අවශ්‍ය සෑම පියවරක්ම ගැනීමට ඉන්දියානු රජය දැඩිව සහ ඒකායනව කැපවීසිටින බව පකිස්තානයට අයත් බලකොට් හි, ජයිෂ්-ඉ-මොහම්මද් සංවිධානයේ පුහුණු කඳවුරු වලටඑල්ලකල ප‍්‍රහාරය පිළිබඳ විශේෂ පැහැදිලි කිරීමක් කරමින් ඉන්දීය විදේශ ලේකම්වරයා අවධාරණය කර සිටී .

ජාත්‍යන්තර මාධ්‍ය වෙත ඊයේ (26)නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය විදේශ ලේකම් විජය ගොකාලේ මහතා වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත .

“2019 පෙබරවාරි 14 වන දින පාකිස්ථානය පදනම් කරගත් ත‍්‍රස්තවාදී සංවිධානයක් වන ජයිෂ්-ඉ-මොහම්මද් සංවිධානය මරාගෙන මැරෙන ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ල කළ අතර එයින් ඉන්දීය CRPF හි නිර්භීත සෙබළුන් 40 දෙනෙකු දිවි පිදීය. ජයිෂ්-ඉ-මොහම්මද් සංවිධානය පසුගිය දශක දෙක තුළ පාකිස්ථානයේ ක‍්‍රියාකාරීව කටයුතු කර ඇත. එහි නායකයා මසූද් අෂාර් වන අතර එහි මූලාස්ථානය පිහිටා තිබෙන්නේ බහවල්පූර්හිය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් තහනම් කර ඇති මෙම සංවිධානය 2001 වසරේදී ඉන්දීය පාර්ලිමේන්තුවට එල්ල වූ ප‍්‍රහාරය සහ 2016 ජනවාරි මාසයේදී පතන්කොට් ගුවන් හමුදා කඳවුරට එල්ල වූ ප‍්‍රහාරය ඇතුළු ත‍්‍රස්ත ප‍්‍රහාර රැසකටම වගකිව යුතු ත‍්‍රස්ත සංවිධානයකි.

පාකිස්ථානයේ සහ පාකිස්ථානය විසින් පාලනය කරන ජම්මු කාශ්මීරයේ මෙම පුහුණු කඳවුරු පිහිටා තිබෙන ස්ථානය පිළිබඳ තොරතුරු පාකිස්ථානයට වරින් වර ලබා දෙන ලදී. කෙසේ වෙතත් පාකිස්ථානය එම කඳවුරු එම ස්ථානයන්හි පිහිටා තිබෙන බව ප‍්‍රතික්ෂේප කළේය. ඉස්ලාමීය ත‍්‍රස්තවාදීන් සිය ගණනක් පුහුණු කළ හැකි එවැනි විශාල පුහුණු කඳවුරු පාකිස්ථාන බලධාරීන්ගේ අනුදැනුමකින් තොරව පැවතිය නොහැක.

පාකිස්ථානය තුළ ඉස්ලාමීය ත‍්‍රස්තවාදීන් පුහුණු කිරීම සහ ඔවුන්ට අවි සැපයීම වැළැක්වීම සඳහා ජයිෂ්-ඉ-මොහම්මද් සංවිධානයට එරෙහිව පියවර ගන්නා ලෙස ඉන්දියාව දිගින් දිගටම පාකිස්ථානයට පවසා සිටියේය. සිය භූමි ප‍්‍රදේශය තුළ ත‍්‍රස්තවාදයේ යටිතල පහසුකම් ඉවත් කිරීමට පාකිස්ථානය කිසිදු ඵලදායි පියවරක් ගෙන නොමැත.

ඉන්දියාව තුළ තවත් මරාගෙන මැරෙන ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ල කිරීමට ජයිෂ්-ඉ-මොහම්මද් සංවිධානය උත්සාහ ගන්නා බවට සහ මේ සඳහා ඉස්ලාමීය ත‍්‍රස්තවාදීන් පුහුණු කරන බවට විශ්වාසදායි බුද්ධි තොරතුරු ආරක්ෂක අංශ වෙත ලැබී තිබිණ. මෙම අනතුරුදායක තත්වය හේතුවෙන් එය වැළක්වීමේ ප‍්‍රහාරයක් එල්ල කිරීමේ දැඩි අවශ්‍යතාවයක් පැන නැගිණ.

අද අලුයම බුද්ධි තොරතුරු මත මෙහෙයවන ලද මෙහෙයුමකදී, ඉන්දියාව බලකොට්හි පිහිටා තිබෙන ජයිෂ්-ඉ-මොහම්මද් සංවිධානයේ විශාලතම පුහුණු කඳවුරට ප‍්‍රහාරයක් එල්ල කළේය. මෙම මෙහෙයුමෙන් ජයිෂ්-ඉ-මොහම්මද් සංවිධානයේ ත‍්‍රස්තවාදීන්, පුහුණුකරුවන්, ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරීන්, සහ ත‍්‍රස්ත ක‍්‍රියා සඳහා පුහුණුව ලබමින් සිටි ඉස්ලාමීය ත‍්‍රස්ත කණ්ඩායම් රැසක් විනාශ කෙරිණ. බලකොට්හි පිහිටා තිබෙන මෙම පුහුණු කඳවුරෙහි ප‍්‍රධානියා වන්නේ ජයිෂ්-ඉ-මොහම්මද් සංවිධානයේ නායක මසූද් අෂාර්ගේ මස්සිනා වන මවුලානා යූසුෆ් අෂාර්ය (මොහු උස්තාද් ඝෞරි යන නමින්ද හැඳින්වේ).

ත‍්‍රස්තවාදී ව්‍යසනයට එරෙහිව අවශ්‍ය සෑම පියවරක්ම ගැනීමට ඉන්දියානු රජය දැඩිව සහ ඒකායනව කැපවී සිටී. එබැවින් මෙම හමුදාමය නොවන ආරක්ෂාකාරී ක‍්‍රියාමාර්ගය නිශ්චිත වශයෙන්ම ජයිෂ්-ඉ-මොහම්මද් කඳවුර ඉලක්ක කරගෙන ක‍්‍රියාත්මක කෙරිණ. සිවිල් වැසියන්ට හානියක් සිදු නොවන ලෙසද ඉලක්කය තෝරා ගැනිණ. මෙම පුහුණු කඳවුර පිහිටා තිබෙන්නේ සිවිල් ජනාවාසයන්ගෙන් ඉතා ඈත පිහිටි වනගත කඳු මුදුනකය. මෙම ප‍්‍රහාරය මෙයින් සුළු මොහොතකටම පෙර ක‍්‍රියාත්මක වූ බැවින් අපි වැඩිදුර තොරතුරු බලාපොරොත්තුවෙන් සිටිමු.

2004 වර්ෂයේ ජනවාරි මාසයේදී පාකිස්ථාන රජය සිය භූමිය හෝ තම රට මගින් පාලනය වන භූමි ප‍්‍රදේශය ඉන්දියාවට එරෙහි ත‍්‍රස්තවාදය සඳහා යොදා ගැනීමට ඉඩ නොතබන බවට දැඩි ලෙස පොරොන්දු විය. පාකිස්ථානය මෙම ප‍්‍රසිද්ධ පොරොන්දුව ප‍්‍රකාරව කටයුතු කරනු ඇතැයිද සියලු ජයිෂ්-ඉ-මොහම්මද් සහ වෙනත් ත‍්‍රස්ත කඳවුරු ඉවත් කිරීමට පියවර ගනු ඇතැයිද ත‍්‍රස්තවාදීන්ට එරෙහිව කටයුතු කරනු ඇතැයිද අපි අපේක්ෂා කරමු.”

පැතුම් වික්‍රමරත්න



ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
ජනමත විචාරණය පරදිනවාමයි මං අත්සන් කරන්නේ නෑ.. ජනපති-අගමැති අලූත් ව්‍යවස්ථා ගැටුම උපරිමයට එයි



නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්තාවක් සදහා වූ කෙටුම්පත මේ මස ඇතුලත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර පක්‍ෂ නායක හමුවේදී තීරණය වී ඇත්තේ එම කෙටුම්පත විවාදයට පමණක් ජනවාරි මුල් සතියේ දින දෙකක් හෝ තුනක් වෙන් කිරීමටයි.

එය සම්මත කිරීම සදහා වූ ඡන්ද විමසීමට පසුව දිනයක් යොදා ගැනීමටද තීරණය වී ඇත.

මේ අතර ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන විසින් අගමැතිවරයාටත් ශ‍්‍රීලනිපයේ තමනට හිතවත් මන්ත‍්‍රී පිරිසටත් දන්වා ඇත්තේ ‘මේ ව්‍යවස්ථාව ජනමත විචාරණයක් තිවුවොත් අනිවාර්යෙන්ම පරදිනවා. මහා සංඝ රත්නය අනිවාර්යෙන් මේකට විරුද්දව පාරට බහිනවා. ආණ්ඩුවත් ඊට පස්සෙ ගෙනියන්න බැරිවෙනවා’ යන අදහසයි.

නමුත් ඊට ප‍්‍රතිචාර ලෙස අගමැතිවරයා විසින් ජනාධිපතිවරයාගේ නියෝජිතයින්ට දන්වා ඇත්තේ ‘අලූත් ව්‍යවස්තාව ජනවාරි 08ට කලින් ඇති කරගත් ජාත්‍යන්තර බැදීමක්. ඒක ඉටු කරන්න අපි බැදිල ඉන්නව. ඒක නොකලොත් අපිට ඊට වඩා ප‍්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනව. ඒ නිසා මේක කරන්නම වෙනව. ජනමත විචාරණයකට ගිහින් අවදානම අරගෙන කොහෙමහරි දිනන්නම වෙනව’ ආදී වශයෙනි.

කෙසේ වෙත්ත ශ‍්‍රිලනිපයේ මෛත‍්‍රි හිතවාදී මන්ත‍්‍රී පිරිස පවසන්නේ ‘ජනමත විචාරණයකට නම් මං අත්සන් කරන්නේ නෑ. මං අත්සන් කලොත් විතරනෙ ජනමත විචාරණයක් තියන්න පුළුවන්’ යයි ජනාධිපතිවරයා තම කණ්ඩායම සමග පැවසූ බවයි.

මේ අනුව නව ව්‍යවස්ථාව සම්බන්දයෙන් රනිල්-මෛත‍්‍රී දෙපාර්ශවය අතර උද්ගත වී ඇත්තේ මතබේදාත්මක තත්වයකි.

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මල් වට්ටියක්ද?



-මොහාන් සමරනායක-
පළමු කොටස>>

2015 ජනවාරි 8 ජනාධිපතිවරණයෙන් ජයගත් මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරයට පත්කොට ස්ථාපනය කළ දින සියයේ ආණ්ඩුව ශ්‍රී ලංකාව පෙළන සියලු දේශපාලන ආර්ථීක හා සමාජයීය ව්‍යාධීනට මූලික නිධානය ලෙස තමන් හඳුනාගත් විධායක ජනාධිපති ක්‍රමය සතු සීමා රහිත බලතල කප්පාදු කොට ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරනු වස් 2015 අප්‍රේල් 28 වැනිදා 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයෙන් සම්මත කොට ගත්තේය. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225 දෙනාගෙන්, ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ද ඇතුළුව 212 දෙනෙක් ඊට පක්ෂව ඡන්දය දුන්හ. විරුද්ධ වූයේ එක් මන්ත්‍රීවරයකු පමණි.

විධායක ජනාධිපති ක්‍රමය ශ්‍රී ලංකා දේශපාලනයේ සර්ව රෝග නිධානය ලෙස දුටු සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු, අපවත් වී වදාළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත ස්වාමීන් වහන්සේ 19 වැනි සංශෝධනය සම්මත වීමටත් පෙර එය හැඳින්වූයේ මල්වට්ටියක් ලෙසිනි. අන්තර්ජාතික කටුයුතු සම්බන්ධ ජනාධිපති උපදේශක සහ එක්සත් ජාතීන්ගේ හිටපු විෂයය භාර මහ ලේකම්වරයකු වන ජයන්ත ධනපාල 19 වැනි සංශෝධනය ‘යහ පාලනයේ මධ්‍ය ලක්ෂය’ ලෙසත් ප්‍රජාතන්ත්‍රවාදී පුණරුදයේ කඩඉමක් ලෙසත් ශ්‍රී ලංකාවේ තානාපති ප්‍රජාව හමුවේ නම් කළේය.

19 වැනි සංශෝධනය යහ පාලන ආණ්ඩුවේ විශිෂ්ඨ ජයග්‍රහණයක් බව ජනාධිපති සහ අගමැති නිතර ප්‍රකාශ කරති. මේ ඇගයීම්වල යථාර්තය විමසා බැලෙන කොටස් දෙකකින් යුත් ලිපියක පළමු වැන්න “ඉරිදා” පුවත් පතේ පසුගිය කලාපයේ පළ විය. මේ එහි දෙවැන්නයි. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයෙන් සම්මත වීමට අමතරව ජනමත විචාරයකින්ද අනුමත විය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණ කළ වගන්තිවල ප්‍රකාශිත හා අප්‍රකාශිත අරමුණු පළමු කොටසින් විමසා බැලිණ. සම්මත වූ සංශෝධනයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට කරන ලද වෙනස්කම් අද ලිපියෙන් විභාග කෙරෙයි.


විධායක ජනාධිපති ධුරයේ ඇති කළ වෙනස්කම්ජනාධිපති ධුර කාලය අවුරුදු 6සිට 5 දක්වා අඩු කිරීම.(19වන සංශෝධනයේ 3 වැනි ජේදය, ව්‍යවස්ථාවේ 30 (2) වගන්තිය)


ජනාධිපති පාලනයක් සහිත රටවල ජනාධිපති ධුර කාලය රටින් රටට වෙනස් වෙයි. අමෙරිකාවේ සහ ඉරානයේ අවුරුදු 4කි. රුසියාවේ, ඔස්ට්‍රියාවේ සහ ෆින්ලන්තයේ අවුරුදු 6 ක් වෙයි. රටවල් බහුතරයක අවුරුදු 5කි. ධුර කාලය වසරකින් අඩු කිරීමට නිසා බලයේ සිටින ජනාධිපතිවරයාගේ සහ ඔහුගේ ආණ්ඩුවේ කාර්ය සාධනය ගැන විනිශ්චයක් කිරීමට ජනතාවට පෙරට වඩා කලින් අවස්ථාව උදා වීම යහපත් ලක්ෂණයකි. එසේ වුවද ජනාධිපති ධුර කාලයේ වසරක අඩු වැඩි කිරීමක් ප්‍රජාතන්ත්‍රවාදය පාර්ශවයෙන් තීරණාත්මක අනර්ථයක් හෝ ප්‍රගතියක් හෝ ලෙස ගිනිය නොහැකිය.

පුද්ගලයකුට ජනාධිපති ධුර දැරීමට හැකි වාර ගණන යළි දෙකකට සීමා කිරීම. (සංශෝධනයේ 4 වැනි ජේදය, ව්‍යවස්ථාවේ 31 (2) වගන්තිය )

ජනාධිපති පාලනයක් සහිත බොහෝ රටවල පුද්ගලයකුට ධුරය දැරීමට හැකි වාර ගණන දෙකකි. වියට්නාමයේ එය 3ක් වේ. එක් පුද්ගලයකු දීර්ඝ කාලයක් විධායක බලතල සහිත ජනාධිපති ධුරයේ රැඳී සිටීම අධිකාරිවාදයට, අත්තනෝමතික චර්යාවට සහ දූෂණයට බොහෝ විට මග පාදයි. බලය දූෂ්‍ය වෙයි. පරම බලය අත්‍යන්තයෙන් දූෂ්‍ය වෙයි යනුවෙන් ඇක්ටන් සාමිවරයා ප්‍රකාශ කළේ එනිසා විය යුතුය. පුද්ගලයකුට ජනාධිපති ධුරය දැරිය හැකි වාර ගණන දෙකකට සීමා කිරීම ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතියකි. එහෙත් බලයේ සිටින වාර දෙක ඇතුළත ජනාධිපති ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පාලනය ගෙන යන බව ඉන් සහතික කෙරෙන්නේ නැත. දුබල රාජ්‍ය යන්ත්‍රණයක් සහිත තුන්වැනි ලෝකයේ රටවල ප්‍රබල පෞරුෂයක් සහිත යහපත් පාලකයකු දිගුකල් බලයේ සිටීම අදාළ රටට වාසිදායක වූ අවස්ථා දක්නට තිබේ.

වයස අවුරුදු 35ට අඩු තැනැත්තෙක් (සංශෝධනයේ 21 වැනි ජේදය, ව්‍යවස්ථාවේ 92 (අ) වගන්තිය) හෝ ද්විත්ව පුරවැසියෙක් වන තැනැත්තෙක් ජනාධිපතිධුරයට තෝරාගනු ලැබීමට නුසුදුසු වන්නේය. මේ සංශෝධනය විධායක ජනාධිපති ධුරයේ බල තල අඩු කිරීමට හෝ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට හෝ ඉවහල් වන්නේ කෙසේදැයි පැහැදිලි නැත.

පහත සඳහන් අතිරේක වගකීම් ජනාධිපතිවරයාට පවරා දීම
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගරු කිරීම සහ එය පිළිපැදීම සහතික කිරීම.
ජාතික සංහිඳියාව සහ ඒකාබද්ධතාව ප්‍රවර්ධනය.

ව්‍යවස්ථාදායක මණ්ඩලයේ සහ ව්‍යවස්ථාවේ 7 වැනි පරිද්ජේදයේ සඳහන් ආයතනවල නිසි ක්‍රියාකාරිත්වය පහසු කිරීම සහ සහතික කිරීම.

මැතිවරණ කොමිසමේ උපදෙස් පරිදි නිදහස් හා සාධාරන ඡන්ද විමසීම් හා ජනමත විචාරණ පැවැත්වීමට අවශ්‍ය කොන්දේසි සහතික කිරීම.(සංශෝධනයේ 5 වැනි ජේදය, ව්‍යවස්ථාව 33(1) වගන්තිය)

ජනාධිපති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගරු කිරීම සහ පිළිපැදීම සහතික කළ යුතු බව පහත කියැවුණද වත්මන් ජනාධිපතිවරයා ධුරයේ දිවුරුම් දීමෙන් පසු කළ ප්‍රථම කාර්යයෙන්ම පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිමයෙන් ඇති මන්ත්‍රීවරයකු අගමැති ධුරයට නම් කළ යුතු බව කියැවෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43 (3) වගන්තිය අග්‍රාමාත්‍යවරයා පත්කිරීමේ කොන්දේසි ඇතුළත් 47 වගන්තියත් උල්ලංඝනය කෙරිණි. ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කොට නීතියේ පාලනය සහතික කිරීම සඳහා 19 වැනි සංශෝධනය ගෙන ආවේ මෙසේ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමෙන් පසුවය.

ජනාධිපතිවරයාට සිය අභිමතය පරිසි අගමැතිවරයා ඉවත් කිරීමට තවදුරටත් බලය නැත. (සංශෝධනයේ 9 වැනි ජේදය, ව්‍යවස්ථාවේ 46 (2) වගන්තිය)

මෙය නිසැකව ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට ඉවහල් වන සංශෝධනයකි. අගමැති ධුරයට පත්වනුයේ ඡන්දයෙන් තෝරාගනු ලබන මන්ත්‍රීවරයකු බැවින්ද යම් පක්ෂයක් ජයගතහොත් අගමැති ධුරයට පත්වන්නේ කවුරුන්දැයි මැතිවරණයේදී ජනතාව දැන සිටින බැවින්ද ජනාධිපතිගේ පෞද්ගලික අභිමතය අනුව අගමැතිවරයා ධුරයෙන් පහකිරීමට ඉඩ තිබිය යුතු නැත. එසේම ජනවාරි 8 වෙනසින් පසු අගමැතිධුරයට පත්කෙරුනු රනිල් වික්‍රමසිංහ මහතාට 2004 දී චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය යටතේ අත් වූ අභාග්‍ය වළක්වා ගැනීමට 19 වැනි සංශෝධනයේ කර්තෘවරුන්ට අවශ්‍ය වූ බව පැහැදිලිය.

කැබිනට් ඇමැතිවරයකු, කැබිනට් නොවන ඇමැතිවරයකු හෝ නියෝජ්‍ය ඇමැතිවරයකු පත්කිරීමේදී හෝ ඉවත් කිරීමේදී ජනාධිපති අගමැතිගේ උපදෙස් අනුව ක්‍රියා කළ යුතුය

(සංශෝධනයේ 9 වැනි ජේදය, ව්‍යවස්ථාවේ 43 (2),44 (1) සහ 46(3) (අ) වගන්තිය)

එසේ වුවද කැබිනට් ඇමැති සංඛ්‍යාව සහ එක් එක් ඇමැතිවරයාට පැවැරෙන විෂයයන් නිශ්චය කිරීමේදී හා කැබිනට් නොවන ඇමැතිවරුනට විෂයයන් පැවැරීමේදී ජනාධිපති අගමැතිගේ උපදෙස් විමසිය යුත්තේ එසේ උපදෙස් විමසීම අවශ්‍ය යැයි ඔහු/ ඇය සලකන්නේ නම් පමණි. (සංශෝධනයේ 9 වැනි ජේදය, ව්‍යවස්ථාවේ (43) 1,44 (2) වගන්තිය)

19 වැනි සංශෝධනය ජනාධිපති බල තල සීමා කිරීමට වඩා අගමැති බල තල පුළුල් කිරීම අරමුණු කරගත්තක් බව ඉහත ඡේදයෙන් යළිත් පැහැදිලි වේ.

සිය ධුරයේ බල සීමාව ඇතුළත ජනාධිපතිවරයාගේ ක්‍රියාවන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පිළිබඳ අධිකරණ බලයට යටත් වෙයි.( සංශෝධනයේ 7 වැනි 35 වගන්තිය)

සංශෝධනයට පෙර ජනාධිපතිට එරෙහිව කිසිදු නඩු කටයුත්තක් පැවැරීමට නොහැකි විය.

සංශෝධනයෙන් ජනාධිපතිවරයා සතු විමුක්තිය සිවිල් හෝ අපරාධ අධිකරණ ක්‍රියාමාර්ගවලට සීමා කෙරිණ. මෙය ප්‍රජාතන්ත්‍රවාදය අවකාශය පුළුල් කරන ප්‍රගතිශීලි පියවරකි.

පාර්ලිමේන්තුවෙන් ප්‍රතික්ෂේප කරන ලද, ව්‍යවස්ථාව සංශෝධනයක් නොවන, කවර හෝ පනතක් ජනමත විචාරණයකින් ජනතාවට යොමු කිරීමට ජනාධිපතිට ඇති බලය ඉවත් කිරීම. (සංශෝධනයේ 19 වැනි ජේදය, ව්‍යවස්ථාවේ 85(2) වගන්තිය)

මේ සංශෝධනය ජනාධිපතිගේ බලය සීමා කිරීමට පාර්ලිමේන්තුවේ බලය ශක්තිමත් කිරීමට ඉවහල් වන්නකි.

ව්‍යවස්ථාදායක මණ්ඩලය සහ ස්වාධීන කොමිෂන් සභා

19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 7 දෙනෙකුගෙන් සහ විශිෂ්ට පුද්ගලයන් තිදෙනකුගෙන් සමන්විත දස පුද්ගල ව්‍යවස්ථාදායක මණ්ඩලයක් ස්ථාපනය කෙරිණි. (සංශෝධනයේ 8 වැනි ජේදය) කථානායක, අගමැති සහ විපක්ෂ නායක නිල බලයෙන් සාමාජිකත්වයට පත්වෙති. ජනාධිපති විසින් එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු, අගමැති සහ විපක්ෂ නායක නාමයෝජනා කිරීමෙන් ජනාධිපති විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙනෙකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ බහුතරයේ එකඟත්වයෙන් තවත් මන්ත්‍රීවරයකු මණ්ඩලයට පත්කරනු ලැබේ. අගමැතිගේ සහ විපක්ෂ නාම යෝජනා කිරීමෙන් පාර්ලිමේන්තුවේ අනුමැතිය ඇතිව පත්කෙරෙන ඉතිරි තිදෙනා රාජ්‍ය සේවයේ හෝ වෘත්තීය ජීවිතයේ විශිෂ්ටත්වයට පැමිණි කිසිදු දේශපාලන පක්ෂයක සාමාජිකයන් නොවන පුද්ගලයන් විය යුත්තේය. පසුව සඳහන් කරන කොමිෂන් සභා නවයේ සාමාජිකයන් පත් කිරීමට ජනාධිපතිවරයාට හැකිවන්නේ ව්‍යවස්ථාදායක මණ්ඩලයේ නිර්දේශය මත පමණි. ඒවායේ සභාපතිවරු පත්කිරීමට ජනාධිපතිවරයාට හැකි වුවද ඊටද මණ්ඩලයේ නිර්දේශය අවශ්‍ය වන්නේය. එක් එක් කොමිසමේ සභාපතිත්වය සඳහා නම් තුනක් නිර්දේශ කිරීමට මණ්ඩලයට පිළිවන. (සංශෝධනයේ 8 වැනි ජේදය)

අගවිනිසුරු, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුන්, අභියාචනාධිකරණ සභාපති සහ විනිශ්චයකාරවරුන්,අධිකරණ කොමිසමේ සාමාජිකයන්,නීතිපති, විගණකාධිපති, පොලිස්පති, පාර්ලිමේන්තු කොමසාරිස් සහ පාර්ලිමේන්තුවේ මහ ලේකම් යන තනතුරුවලට ජනාධිපතිවරයා නම් කරන පුද්ගලයන්ට අනුමැතිය දීම ද ව්‍යවස්ථාදායක මණ්ඩලයේ කාර්යයක් වන්නේය. මණ්ඩලයේ තීරණ හා නිර්දේශ හැකි සෑම විටම ඒකමතික විය යුත්තේය. නැතහොත් අදාළ රැස්වීමට සහභාගිවී සිටින සාමාජිකයන්ගෙන් පස්දෙනෙකුට නොඅඩු සංඛ්‍යාවක අනුමැතිය තිබිය යුත්තේය. සභාපතිට පළමු වටයේදී ඡන්දය දීමට නොපිළිවන. දෙවනි වටයක් අවශ්‍ය වුවහොත් එහිදී තීරක ඡන්දය දීමට ඔහුට පිළිවන. ව්‍යවස්ථාදායක මණ්ඩලයේ නිර්දේශ හා තීරණ මූලික අයිතිවාසිකම් පෙත්සමක ස්වරූපයෙන් අධිකරණයකදී මිස වෙනත් අයුරකින් අභියෝගයට ලක් කළ නොහැකිය.

19 වැනි සංශෝධනයෙන් ස්ථාපිත කොමිෂන් සභා නවය මෙසේය. මැතිවරණ කොමිසම, රාජ්‍ය සේවා කොමිසම, ජාතික පොලිස් කොමිසම, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම, මූල්‍ය කොමිසම, සීමා නිර්ණයන කොමිසම, ජාතික ප්‍රසම්පාදන කොමිසම සහ විගණන සේවා කොමිසම.

ව්‍යවස්ථාදායක මණ්ඩලය සහ ස්වාධීන කොමිෂන් සභා ස්ථාපනය 19 වැනි සංශෝධනයේ විශිෂ්ටතම ලක්ෂණය ලෙසත් ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමේ ව්‍යායාමයේ තීරණාත්මක කඩඉමක් ලෙසත් ආණ්ඩුව සහ එහි අනුගාමිකයන් විසින් සාඩම්බරයෙන් හඳුන්වනු ලැබේ. එහෙත් මණ්ඩලයේ සංයුතිය විමසීමේදී එහි ස්වාධීනත්වය පිළිබඳව බරපතල සැක සංකා මතු වෙයි. සභාපති ධුරය හිමි කථානායකට පළමු වටයේදී ඡන්දයක් නැත. ඒ අනුව ප්‍රථම වටයේ ඡන්ද බලය හිමි සංඛ්‍යාව නවයකි. ඉන් බහුතරය 05 කි. නව දෙනාගෙන් හත් දෙනෙකුම අගමැතිගේ සහ විපක්ෂ නායකගේ බලයට යටත්ය. ඔවුහු සියලු දෙනාම තමන්ගේම න්‍යය පත්‍ර සහිත දේශපාලඥයෝ වෙති. එවැනි පිරිසක් ගන්නා තීරණ පත්වීම් සහ නිර්දේශ දේශපාලනයෙන් තොරවනු ඇතැයි අපේක්ෂා කිරීම හිරුගෙන් සිසිලස පැතීම බඳුය.

ජනාධිපතිවරයා පත්වනුයේ රටේ සමස්ත ජන්දදායක ජනගහනයේ බහුතරයේ කැමැත්තෙනි. අගමැති සහ විපක්ෂ නායක කිසියම් දිස්ත්‍රික්කයකින් පත්වන අතර ඔවුනට ජන්දය දෙනුයේ ඒ දිස්ත්‍රික්කයේ බහුතරයක් පමණි. ව්‍යවස්ථාදායක මණ්ඩලයක් පත්කිරීමෙන් සිදුව ඇත්තේ දිස්ත්‍රික්ක විසිපහේම ජනතාවගේ බහුතර ජන්දයෙන් පත්වන ජනාධිපති සතු බලතල දිස්ත්‍රික්ක 2කක් පමණක් නියෝජනය කරන අගමැතිට සහ විපක්ෂ නායකට පවරා දිමය. එය ප්‍රජාතන්ත්‍රවාදය නම් ප්‍රජාතන්ත්‍රවාදයට අලුත් අර්ථ කථනයක් සොයා ගැනීමට සිදු නොවන්නේද?

සෙසු වෙනස්කම් පාර්ලිමේන්තුවේ නිල කාලය අවුරුදු 6 සිට 5 දක්වා අඩු කිරීම (සංශෝධනයේ 15 වැනි ජේදය, ව්‍යවස්ථාවේ 62 (2) වගන්තිය)

ලෝකයේ රටවල් බහුතරයක ව්‍යවස්ථාදායකයේ නිල කාලය වසර 3කි. මෙසේ නිල කාලය අඩු කිරීම ජනතා කැමැත්ත ප්‍රකාශ කිරීමට ඇති අවකාශය පුළුල් වීමක් බැවින් ප්‍රජාතන්ත්‍රවාදයට හිතකර සංශෝධනයක් ලෙස සැලකිය හැකිය.

ස්වකීය අභිමතය පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට ජනාධිපතිවරයාට ඇති බලය අහෝසි කිරීම.

19 වැනි සංශෝධනය ප්‍රකාර ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවිය හැක්කේ පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් තුනෙන් දෙකක් යෝජනාවක් සම්මත කළහොත් හෝ පාර්ලිමේන්තුවේ ප්‍රථම රැස්වීමේ සිට අවුරුදු හතර හමාරක් ගෙවී යාමෙන් පසු ඕනෑම වේලාවකදී හෝ පමණි. (සංශෝධනයේ 17 වැනි ජේදය, ව්‍යවස්ථාවේ 70 (1) වගන්තිය)

මේ සංශෝධනය එක් අතකින් පාර්ලිමේන්තුව අත්තනෝමතික ලෙස විසුරුවා හැරීමට ජනාධිපතිට ඇති බලය අහෝසි කිරීමෙන් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන අතර, අනෙක් අතින් වත්මන් අගමැතිවරයාට ස්වකීය දේශපාලන න්‍යය පත්‍රය 2004දී වූවාක් මෙන් ඇණහිටීමකින් තොරව ඉදිරියට ගෙන යාමට ඉඩ ප්‍රස්ථාව සලසයි. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට සැලසුම් කරමින් සිටි ආණ්ඩුවක් අගමැතිගේ බලතල ශක්තිමත් කරන සංශෝධනයක් ගෙන ආවේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට වඩා අගමැති ප්‍රමුඛ පාලන තන්ත්‍රය රැකගැනීම සඳහාය.

වසර හතර හමාරක් ගෙවී ගිය පසු පාර්ලිමේන්තුව විසුරුවීමට ජනාධිපතිවරයාට හැකි බවට පනවා ඇති ප්‍රතිපාදනය අර්ථ විරහිතය. පාර්ලිමේන්තුවේ නිල කාලය අවුරුදු හයේ සිට පහ දක්වා අඩු කර ඇති පසු බිමක අවුරුදු හතර හමාරකට පසු ඉතිරි වන්නේ හය මසක් පමණි. මේ සංශෝධනය හාස්‍යය උපදවයි.

13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය ඉන්දියාව සිය මිලිටරි බලය ප්‍රදර්ශනය කොට එදා සිටි ආණ්ඩුව බියගන්වා සම්මත කරනු ලැබූවකි. යහපාලන පෙරළිය සේම 19 වැනි සංශෝධනය ද ඉන්දියාවට අමතරව අමෙරිකාව සහ යුරෝපා සංගමය එක්වී සැලසුම් කරන ලද දේශපාලන ව්‍යාපෘතියක ඵලයක් බවට දැන් බොහෝ සාක්ෂි ලැබී තිබේ. මෙයින්ද රාජපක්ෂ ආණ්ඩුවේ අධිකාරිවාදී, නීතියේ පාලනය හෑල්ලු කළ, නාස්තිකාරී, දූෂිත සහ අහංකාර පරවශ ක්‍රියාකලාපය නිසා ජනතාවගෙන් විශාල පිරිසක් ඊට අනුගත කරගැනීමට ඔහුනට හැකි විය. මේ ව්‍යාපෘතියට බටහිර මුදලින් යැපෙන සිවිල් සමාජය ලෙස හඳුන්වා ගන්නා කණ්ඩායම් ඇතුළු දෙස් විදෙස් බලවේගවලට නොමඳ සහය ලැබිණ.

අනාගත දිනක් එක්සත් ජාතික පක්ෂසයට තර්ජනයකින් තොරව සිය පිළිවෙත් ඉදිරියට ගෙනයාම සඳහා ශක්තිමත් බලයක් ලැබෙන තුරු ජනවාරි 8 සහ අගෝස්තු 17 අත්කරගත් බලය අඛණ්ඩව පවත්වාගැනීම 19 වැනි සංශෝධනයේ මුඛ්‍ය අරමුණ වූයේය. සෝභිත හිමියන් කී මල් වට්ටිය පූජා කිරීමටත් පෙර පර වී තිබිණ.
මොහාන් සමරනායක

-යුතුකම සංවාද කවය
www.yuthukama.com 
Like us on facebook :https://www.facebook.com/yuthukama


මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
පසුගිය අඟහරුවාදා සවස ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායකයන්ගේ විශේෂ රැස්වීමක් හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 07, විජේරාම මාවතේ පිහිටි ඔහුගේ නිල නිවසේදී පැවැත්විණි. 

මෙම රැස්වීමට මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන. ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ සභාපති රාජා කොල්ලුරේ, ලංකා සම සමාජ පක්‍ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරමින් ප්‍රසන්න රණතුංග, කෙහෙළිය රඹුක්වැල්ල, පවිත්‍රා වන්නිආරච්චි, බැසිල් රාජපක්‍ෂ ඇතුළු ඒකාබද්ධ විපක්‍ෂයේ නායක නායිකාවෝ රැසක් එක්ව සිටියහ. 

එහිදී මුලින්ම අවධානය යොමු වූයේ පළාත් පාලන මැතිවරණය කල් දැමීමට එරෙහිව හිටපු පළාත් පාලන මන්ත්‍රීවරුන් විසින් අරඹා ඇති විරෝධතා ව්‍යාපාරය පිළිබඳවය. පළාත් පාලන මැතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාගෙන් ඒකාබද්ධ විපක්ෂය ඉල්ලා තිබූ සාකච්ඡාව පසුදිනට එනම් බදාදාට ලැබී තිබිණි. එම රැස්වීමට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ, මහාචාර්ය ජී.එල්. පීරිස් හා පිවිතුරු හෙළ උරුමයේ නායක, නීතිඥ උදය ගම්මන්පිල යන මහත්වරුන් සහභාගී කරවීමට එහිදී තිරණය විය. 

“පළාත් පාලන මැතිවරණය ලබා ගැනීමට සටන් කිරීම වැදගත්. නමුත් අපේ අවධානය වඩාත්ම යොමු විය යුතු කාරණය තමයි ගෙන ඒමට නියමිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාළ ජනමතවිචාරණය. පසුගිය දිනවල රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා උතුරේදි පැවසුවා ‘නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත නොවැම්බරයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා’ කියලා. මේ කාරණය මීට ඉහතදී විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ද අවධාරණය කොට තිබුණා. ව්‍යවස්ථා කෙටුම්පත නොවැම්බරයේදී පාර්ලිමේන්තුවට දැම්මොත් 2017 ජනවාරි - පෙබරවාරි අතර ඊට අදාළව ජනමතවිචාරණයක් තියන්න වෙනවා. ඒ අනුව දැන් මේ ආණ්ඩුව සැරසෙන්නේ පළාත් පාලන ඡන්දය නොපවත්වා ජනමතවිචාරණයක් පවත්වන්න. 2015 ජනවාරි 08 වැනිදා කළා වගේ ‘පාට පාට පෙරමුණක්’ හදාගෙන ජනමතවිචාරණය දිනාගන්න. 

ඒක පරාජයට පත් කිරීම සඳහා වූ වැඩපිළිවෙලකට අපි දැන් සිටම සූදානම් විය යුතුයි. සංවිධානාත්මකව සහ අනෙකුත් සියලු පැතිවලින් අපි අපේ බලවේගය ඊට සූදානම් කළ යුතුයි. ඒ වෙනුවට වෙන වෙන මාතෘකාවලට බර තැබුවොත් වැදගත් දේට අපේ අවධානය අඩු වේවි” විමල් වීරවංශ මහතා මාතෘකාව අතිශය බරපතළ පැත්තකට හරවමින් පවසා සිටියේය. 

“විමල් කියන දේ ඉතාමත් පැහැදිලියි, අපට සූදානම් වීමට අවස්ථාවක් හෝ නොතියා මේ අය හොර රහසේම මේ ජනමතවිචාරණයට සූදානම් වන බවයි පෙනෙන්නේ. මේ ආණ්ඩුවේ ප්‍රබලතම චරිත තුනෙන් දෙකක් වන රනිල් වික්‍රමසිංහ සහ චන්ද්‍රිකා කුමාරතුංග යන අයගේ කටින් මේ බව දැනටමත් එළියට පැන අවසන්.” උදය ගම්මන්පිල මහතා ද විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ අදහස් අනුමත කරමින් එසේ පැවසුවේය. 

 “නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අපි කටයුතු කරන්න ඕනෙ. ආණ්ඩුව ඒ පිළිබඳව ගෙන එන යෝජනා අනුව නේද?” හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා එම අදහස්වලට සාවධානව ඇහුම්කන් දීමෙන් අනතුරුව පෙන්වා දුන්නේය. වාසුදේව නානායක්කාර මහතා ද එහිදී ඊට සමාන අදහසක් ඉදිරිපත් කළේය.

“නමුත් ගෙන එන්නේ කවර ආකාරයේ ව්‍යවස්ථාවක්ද, කියන එක සම්බන්ධයෙන් අපට අපැහැදිලිකමක් නැහැනේ. ඒක පරාජය කිරීමට මිස ඒක පිළිගැනීමට නම් අපට හේතු තියෙන්න විදියක් නැහැ” විමල් වීරවංශ මහතා අවධාරණය කළේය. 

මේ පිළිබඳව දීර්ඝ වශයනේ සාකච්ඡා වන අතර බැසිල් රාජපක්‍ෂ මහතා යෝජනා කළේ නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් විමසා බැලීමටත් ඊට අදාළව ගත යුතු පියවර සම්බන්ධයෙනුත් කටයුතු කිරීමට කමිටු කිහිපයක් පිහිටුවීමටය. 

එසේම ‘නව ව්‍යවස්ථාවෙන් අත නොතිබිය යුතු පැති’ හඳුනාගෙන එම කරුණු රට හමුවේ තැබීමටත් එහිදී තීරණය විය.
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව



සියලු සංශෝධන [2001 ඔක්තෝබර් මස 03 වැනි දින දක්වා කරන ලද] සහිත ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉලෙක්ට්‍රොනික පිටපත නිර්මාණය කරන ලද්දේ ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රතිපත්ති පර්යේෂණ හා තොරතුරු ඒකකය විසිනි. එය වසර 2004 දී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් නැවත මුද්‍රණය කරන ලද 'ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව' මත පදනම් වේ.

දහනව වැනි සංශෝධනය දක්වා වූ සංශෝධන ඇතුළත් කරන ලද ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධිත මුද්‍රණයේ මෘදු පිටපත මෙතැනින්
 ලබා ගත හැකිය.

ඔබට රජයේ නිල වෙබ් අඩවිය මඟින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මුල් පිටපත ද ලබා ගත හැකිය.

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network