සිග්නල් නැතිව ගස්ගල් නගින දරුවන්ට නාමල්ගෙන් විසදුමක් sriavtv

සිග්නල් නැතිව ගස්ගල් නගින දරුවන්ට නාමල්ගෙන් විසදුමක්..

සිග්නල් නැතිව ගස්ගල් නගින දරුවන්ට නාමල්ගෙන් විසදුමක්..

සන්නිවේදන පහසුකම් නොමැතිකමින් ගස් උඩ, ගල් උඩ නගින, වැව් තාවුල්ලට යන ගමේ දරුවන්ට එම දුෂ්කරතා මගහැරීම සඳහා සති දෙකක් ඇතුළත ග්‍රාමීය සන්නිවේදන පහසුකම් මධ්‍යස්ථාන පිහිටුවන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය සහ ඩිජිටල් හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මේ බව අවධාරණය කළේය.

පාසලක්, මහින්දෝදය විද්‍යාගාරයක්, නැණසලක්, ආගමික ස්ථානයක්, ප්‍රජා ශාලවක් හෝ පුස්තකාලයක් හෝ පෞද්ගලික අංශයේ ධානපතියෙක් මැදිහත්ව ලබාදෙන මධ්‍යස්ථානයක් තුළ පරිගණක හෝ ටැබ් උපරිම 10ක් සහිතව මෙම ග්‍රාමීය සන්නිවේදන පහසුකම් මධ්‍යස්ථානය පිහිටුවීමට නියමිතය.

අදාළ මධ්‍යස්ථාන ඔස්සේ උදෑසන සිට සවස්වනතුරු e-තක්සලාව හරහා අධ්‍යාපනය හැදෑරීමේ අවකාශය දරුවන්ට ලබාදෙන බව කියා සිටි අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා එම දරුවන්ගේ වැඩිදුර අධ්‍යාපනයට වියදම්වන දත්ත සඳහා වැයවන මුදල් රජය විසින් දරණ බව පැවසීය.

e-තක්සලාව මේ වනවිටත් සියයට සියයක් අන්තර්ජාල දත්ත ගාස්තුවලින් ඉවත්කර තිබෙන බව සඳහන් කළ අමාත්‍යවරයා, ලංකාවේ ඕනෑම තැනක සිටින දරුවෙකුට e-තක්සලාව ඔස්සේ කිසිම වියදමකින් තොරව නොමිලේ අධ්‍යාපනය ලැබීමේ හැකියාව ඇති බව පැවසීය.

ඒ අනුව පාසල් දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් සන්නිවේදන පහසුකම් සැපයීම සහ දුෂ්කරතා ඉවත්කිරීමේ කෙටි හා මධ්‍ය කාලීන සහ දිගු කාලීන වැඩපිළිවෙලක් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක වේ.

වසර දෙකක් ඇතුළත රට පුරා සන්නිවේදන කුලුනු ලබාදීම යාවත්කාලීන කොට සියලුම සන්නිවේදන සැපයුම්කරුවන් සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව එකට එක්ව ඒකාබද්ධ ප්‍රවේශයකින් එක් ප්‍රතිඵලයක් ලබා ගැනීමට අපේක්ෂා කරන බව ද අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

යාවත්කාලීන නොකිරීම නිසා ඇතිව තිබෙන රික්තක වලට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ කුලුනු ඉදිකිරීමට පසුගිය කාල සීමාව තුළ දී එක් එක් සමාගම්වල අවශ්‍යතාවයට අනුව පමණක් අවසර ලබා දී ඇති නිසා බව අමාත්‍යවරයා හෙළි කළේය.

2021 ජුනි මාසයේ සිට වීඩියෝ කොම්පරන්ස් පහසුකම e-තක්සලාව හරහා නොමිලේ ලබා දෙන බව අනාවරණය කළ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය නැතිනම් ලර්නින් මැනේජ්මන්ට් සිස්ටම්  (LMS) ජුනි 25 වැනිදා සිට පාසල් 20කින් ආරම්භ කරන බව පැවසීය.

මීළඟ වසර 2ක ඇතුළත මෙරට පාසල් 10000කට වැඩි සංඛ්‍යාවක් 4G වලින් ආවරණය කිරීමට අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශය මේ වනවිට කෙටුම්පත් කර ඇති බව ද අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙහි දී හෙළි කළේය.

අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මෙසේ ද කීවේය.

කොවිඩ් වසංගත තත්ත්වයත් සමඟ වසර 2කට ආසන්න කාලයක් දරුවන්ට පාසල් අහිමිවෙලා තියෙනවා. පළමු රැල්ලේ සිට අද වෙනකොට මාස කිහිපයක් හැර දරුවන්ට පාසල් අධ්‍යාපනය හදාරන්න අපහසුවෙලා තියෙනවා.

ඉතිං මේ අනුව තව කොතරම් කාලයක් මේ විධියට ගමන් කරන්න වේවි ද යන්න ගැන කිසිවෙකුටත් තක්සේරු කරන්න බැහැ. ඒ අනුව තමයි ගරු අධ්‍යාපන අමාත්‍යතුමා සමඟ සාකච්ඡා කරලා, අධ්‍යාපන අමාත්‍යංශයත් ඩිජිටල් තාක්ෂණ අමාත්‍යංශයත් එක්ව අතිගරු ජනාධිපතිතුමාගෙත් අග්‍රාමාත්‍යතුමාගෙත් උපදෙස් පරිදි මේ රටේ නව සාමාන්‍යට අනුකූලව තීන්දු තීරණ ගන්නෙ.

මෙහි දී ප්‍රධාන ගැටලුව තමයි සිග්නල් නැත්නම් ඩේටා ලබා ගැනීමට තිබෙන අපහසුතාවය. පසුගිය වසර ගණනාවක් කුලුනු ඉදිකිරීමේ දී ජාතික සැළැස්මකට අනුව ඒවා ඉදි නොකොට එක් එක් සමාගම්වල අවශ්‍යතාව මත කුලුනු ලබා දීම මේ ගැටලුවට හේතුවෙලා තිබෙනවා.

ඒ නිසා රටේ බොහෝ  ප්‍රදේශවල අන්තර්ජාල පහසුකම් ලබා ගැනීමේ දී රික්තකයක් ඇතිවෙලා තිබෙනවා. නැතිනම් ජංගම දුරකථනවලට පවා සන්නිවේදන පහසුකම් ලබා ගැනීමේ ගැටලු තිබෙනවා.

පළමුව අපි මේ කාරණය නිවැරදි කොට රටම ආවරණය වන පරිදි ජාතික සැලැස්මක් සමඟ සියලුම ආයතන ඒකාබද්ධව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා

ගමට සන්නිවේදනය අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පය අනුව අපි යාවත්කාලීන කිරීමේ වැඩසටහන දැනටමත් ආරම්භ කරලා තියෙනවා. අපේ ඉලක්කය වසර දෙකක් ඇතුළත මුළු ලංකාවෙම ඒ සන්නිවේදන කුලුනු ලබාදීම යාවත්කාලීන කොට ඒකාබද්ධ ප්‍රවේශයක් සියලුම සන්නිවේදන සැපයුම්කරුවන් සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව එකට එකතුවෙලා ක්‍රියාත්මක කිරීම.

එක වැඩපිළිවෙලක් ඔස්සේ එක ප්‍රතිඵලයක් ලබා ගැනීම තමයි අරමුණ. එහි ප්‍රවේශයක් විධියට මේ වනවිටත් රත්නපුර දිස්ත්‍රික්කයේ කුලුනු ඉදිකිරීම ආරම්භ කර තිබෙනවා. තව සති කිහිපයක් ඇතුළත කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලුනු 49ක් ඉදිකරන්න අපි පටන් ගන්නවා.

මාතර ඇතුළු දිස්ත්‍රික්ක 10ක සිදුවන එවැනි යාවත්කාලීන කිරීම් උදෙසා කුලුනු ඉදිවෙනවා. ඒ තුළ රටේ බහුතරයක් ප්‍රදේශවලට පවතින සන්නිවේදන අපහසුතා විසඳාගැනීමට හැකිවෙතැයි අපේක්ෂා කරනවා.

දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් කෙටි කාලීන විසඳුම තමයි රටේ සන්නිවේදන පහසුකම් නොමැති ග්‍රාමීය ප්‍රදේශ හඳුනාගෙන ඒ ප්‍රදේශවල සන්නිවේදන පහසුකම් ලැබෙන මධ්‍යස්ථාන පිහිටුවීම.

සති දෙකක් ඇතුළත ඒ තැන්වලට අවශ්‍ය පරිගණක හෝ ටැබ් උපරිම 10ක් ලබා දෙමින් උදෑසන සිට සවස්වරුව දක්වා e-තක්සලාව හරහා අධ්‍යාපනය හදාරන්න අවකාශය ලබා දෙනවා.

ඒ තුළ අපි විශ්වාස කරනවා ගමේ දරුවො අපි දකිනවා ගස් උඩ නගිනවා. වැව් තාවුල්ලට යනවා. ගල් උඩ නගිනවා. එහෙම කරන්න අවශ්‍ය නැහැ. අපි මේ හඳුනාගන්න මධ්‍යස්ථානවලට පැමිණීම තුළින් ඒ දරුවන්ට 4G පහසුකම අත්විඳිමින් අධ්‍යාපනය ලබා ගැනීමේ හැකියාව තිබෙනවා.

ඒ මධ්‍යස්ථානවලට දත්ත සඳහා යම් වියදමක් යනවා නම් එය අපි දරාගන්න බලාපොරොත්තුවෙනවා. ඒ තුළ පර්යේෂණ කාරණාවලට දරුවො පෙළඹෙනවා නම් ඒ මධ්‍යස්ථාන ප්‍රධානීන්ගේ අධීක්ෂණය ඔස්සේ අමතර දත්ත භාවිතා කළ හැකියි.

e-තක්සලාව මේ වනවිටත් නොමිලේ ලබා දෙන්න අප කටයුතු කරලා තියෙනවා. දළ වශයෙන් මිලියන හයකට අධික ප්‍රමාණයක් හිට්ස් දෛනිකව e-තක්සලාව ලැබෙනවා.

සන්නිවේදන ආයතන සමඟ සාකච්ඡා කරලා e-තක්සලාව සියයට සියයක් අන්තර්ජාල දත්ත ගාස්තුවලින් ඉවත්කර තිබෙනවා. ඒ තුළ අද ලංකාවේ ඕනෑම තැනක සිටන දරුවෙකුට e-තක්සලාව ඔස්සේ අධ්‍යාපනය හදාරන්න ඒ දරුවගෙ දෙමාපියන්ට මුදල් වැය වෙන්නෙ නැහැ.

මේ තුළ රටේ දරුවන්ට තම අධ්‍යාපනය සඳහා විශාල සහනයක් ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා

e-තක්සලාව හරහා ප්‍රයිවට් වීඩියෝ කොම්පරන්ස් තාක්ෂණය පිළිබඳ දැනට සළකා බලමින් සිටිනවා.

දැනට තිබෙන ප්‍රධානම ගැටලුවක් තමයි දරුවන් වීඩියෝ කොම්පරන්ස්වලින් අධ්‍යාපනය හදාරනවා නම් මුදල් වැයවීමක් වෙනවා. ඒ හින්දා තොරතුරු තාක්ෂණ ආයතනය සමඟ එක්ව අපි මේවනවිට වීඩියෝ තාක්ෂණ පහසුව  e-තක්සලාවට ගෙනවිත් තිබෙනවා.

අපි විශ්වාස කරනවා මේ මාසේ ඉඳන් ඒ වීඩියෝ කොම්පරන්ස් පහසුව e-තක්සලාව හරහා ලබා දෙන්න පුළුවන් කියලා.ඒ අනුව යම්කිසි හෙයකින් ගුරුවරයා හෝ දරුවට අධ්‍යාපනය හදාරන්න වීඩියෝ කොම්පරන්ස් හරහා ප්‍රවිශ්ට වීමට අවශ්‍ය නම් අපි e-තක්සලාව ඇතුළට අපේ වීඩියෝ කොම්පරන්ස් පැසිලිටි එක අනුයුක්ත කරනවා. ඒ තුළ දරුවන්ට ඩේටා හෝ දායකත්ව ගාස්තුවකින් තොරව වීඩියෝ කොම්පරන්සින් පහසුකම හරහා අධ්‍යාපනය ලබාගන්නත් අවකාශය ලැබෙනවා.

ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය නැතිනම් ලර්නින් මැනේජ්මන්ට් සිස්ටම්  (LMS) ක්‍රියාවලියත් මේ මාසේ 25 වැනිදා පාසල් 20කින් අපි ආරම්භ කරනවා.

ජූලි මාසේ 25 වෙනකොට පාසල් 200ක් ලර්නින් මැනේජ්මන්ට් සිස්ටම්  එක හරහා සම්බන්ධ කිරීමට නියමිතයි. ඒ තුළ ග්‍රාමීය පාසලක ඉඳලා රටේ ප්‍රසිද්ධයි කියන පාසලක ගුරුවරයෙකුගෙන් අධ්‍යාපනය හදාරන්න හැකිවෙනවා.

මීට අමතරව අපේ ඉලක්කය ලංකාවේ පාසල් 10000 කට වැඩි සංඛ්‍යාවක් මීළඟ වසර 2ක ඇතුළත 4G වලින් ආවරණය කරන්න. ඊට අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශය මේ වනවිට කෙටුම්පත් කරලා තියෙනවා යැයි අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහත්වරු සහ සූම් (Zoom) යෙදුම ඔස්සේ එක්වූ මාධ්‍යවේදී මහත්ම මහත්මීහු පිරිසක් එක්ව සිටියහ.

මාධ්‍ය ඒකකය
තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය

ඇඩ්මින් - Amila ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network