මාධ්‍යවේදී රිචඞ් ද සොයිසා මරා දමා 25 වසරක් ගතවීම නිමිත්තෙනි sriavtvnetwork news

මාධ්‍යවේදී රිචඞ් ද සොයිසා මරා දමා 25 වසරක් ගතවීම නිමිත්තෙනි


මාධ්‍යවේදී රිචඞ් ද සොයිසා මරා දමා 25 වසරක් ගතවීම නිමිත්තෙනි

ඒ, අනූව දශකයේ අගභාගයයි. හැම විටම පෙබරවාරිය උදා වූයේ රිචඞ් ද සොයිසා ගැන මතකයන් අවදිකරමිනි. ඔහුගේ මාධ්‍ය භාවිතයන් විමර්ශනය කරමින්, ඔහුගේ කාව්‍ය නිර්මාණ කියවමින්, ඔහු ගැන සමරු සම්මන්ත‍්‍රණ, වැඩසටහන් පැවැත්වීම සඳහා මිතුරන් සමඟ වෙහෙසෙමින් ගෙවූ ඒ කාලය වේගයෙන් ඉපැරණිව ගොස්ය. යළිත් පෙබරවාරියක් පැමිණ තිබේ. ශ‍්‍රියන්ත වල්පොල විසින් ගන්නා ලද, කාලයක් තිස්සේ පොත් රාක්කය මත වන, රිචඞ් ද සොයිසාගේ ප‍්‍රසිද්ධම සේයාරුව දෙස හැරී බලමි. දෑත් නිකටට තබාගත් රිචඞ්, වම්පස බලා හිඳින ආකාරය සටහන් වූ ඒ සේයාරුව ඔහුගේ ජීවිතය පිළිබඳ බොහෝ දෑ නිහඩව දරා හිඳිනු වැනිය.

මීට වසර 25 කට පෙර, එනම් 1990 පෙබරවාරි 18 වැනි දා අලූයම පොලිස් කණ්ඩායමක් විසින් රිචඞ් ද සොයිසා පැහැරගෙන යනු ලැබිණි. ඉන් පැය කිහිපයකට පසු මොරටුව, කොරලවැල්ල මුහුදු වෙරළේ දී රිචඞ් හමුවිණි. එහෙත් ඒ, වධ දී හිසට හා ගෙලට වෙඩි තබා ඝාතනය කරන ලද රිචඞ්ගේ මළ සිරුරය.

1990 පෙබරවාරි 20 වැනි දින පෙරවරුවේ කළුබෝවිල රෝහලේ දී එක් මවක් තම පුතුගේ මරණ පරීක්ෂණයේ දී මෙසේ කියා සිටියාය.

”17 වැනි සෙනසුරාදා රාතී‍්‍ර 10.00ට පමණ මා නින්දට ගියා. ඉරිදාට එළිවීමට පෙර අලූයම 3.00ට පමණ නිවසේ සීනුව නාද කරනු ලැබුවා. මා ඒ අවස්ථාවේ නැ`ගිට නිවසේ කවුළුවෙන් බලන විට අවිගත්, පොලිස් නිල ඇඳුමට සමාන ඇඳුම් ඇඳගත් කෙනෙකුත් කළු ටී ෂර්ට් එකක් හා දිග කලිසමක් ඇඳගත් කෙනෙකුත් සිටිනු දුටුවා. ඒ සමඟ තවත් හතර දෙනෙකුත් සිටි අතර ඔවුන් සියලූ දෙනාම ආයුධ අතැතිව සිටියා. මා ඒ අවස්ථාවේ සිටියේ නිවස තුළයි. පිටස්තර කවුරුවත් නිවස තුළ සිටිනවාදැයි අසා නිවස පරීක්ෂා කරන්න ඕනෑ යැයි ඔවුන් කීවා. මා එවිට ඔවුන්ගෙන්

හැඳුනුම්පත් ඉල්ලා සිටියා. ඒවා දෙන්න වුවමනාවක් නැහැයි ඔවුන් කීවා. හැඳුනුම්පත් නැතිනම් ඔවුන්ට ගෙට ඇතුළුවීමට ඉඩදිය නොහැකි බව මා කියා සිටියා. මා එසේ කී විට ඔවුන් වෙඩි තැබීම සඳහා ගිනි අවියක් සකස් කළා. ඉන් ඇතිවූ බිය නිසා මට දොර අරින්න සිදුවුණා. එයින් කිහිප දෙනකු මගේ කාමරයට ගොස් සෝදිසි කළ අතර, අනෙක් අය පුතාගේ කාමරයට ගොස් ඔහු පිටතට රැුගෙන ආවා. පුතාට පහළට එන්නැයි ඔවුන් කීවා. පුතා ඔවුන්ට කිවුවා ‘පහළට යන්න ඕනේ නැහැ, මෙතැනදී ප‍්‍රශ්න කරන්න කියලා. එවිට ඔවුන් මගේ පුතාව පහළට ඇදගෙන ගියා. එසේ ගෙන ගොස් ජීප් රථයකට නංවා ගත්තා. පැමිණි අයගෙන් දෙදෙනකු මට හඳුනාගන්නට පුළුවන්. පුතා රැුගෙන ගිය කොළපාට ජීප් රථයේ අංකය 32 ශ‍්‍රී 4748 වශයෙන් සඳහන් වුණා. මා වහාම වැලිකඩ පොලිසියට ගොස් සිද්ධිය ගැන පැමිණිලි කළා. සඳුදා රාත‍්‍රී 8.00ට පමණ පොලිසියෙන් පැමිණ මගේ පුතාට සමාන මළ සිරුරක් කළුබෝවිල රෝහල් මෘත ශරීරාගාරයේ තිබෙන නිසා එය හඳුනාගැනීමට ඉදිරිපත්වන ලෙස මට දැන්වූවා. ඒ අනුව මා රෝහලට පැමිණ එම මළ සිරුර මගේ පුතාගේ බව හඳුනාගත්තා. මෙම මරණයට කවර කරුණක් හේතුවුණාද කියා කියන්න මම දන්නේ නැහැ. පුතා පුවත්පත් කලාවේදියකු හා රූපවාහිනී නිවේදකයකු හැටියට කටයුතු කළා. එපමණයි…”

රිචඩ්ගේ මව වෛද්‍ය මනෝරානි සරවනමුත්තු මහත්මිය

ඒ අම්මා මනෝරාණී සරවනමුත්තුය. ඒ රිචඞ්ගේ අම්මාය.

ඉනික්බිති අපේ රටේ සිය දහස් ගණනක් මව්වරුනට රිචඞ් සිය පුතා බඳු විය. තමන් වෙතින් පැහැරගෙන ගොස් ඝාතනය කෙරුණු තම පුතා බඳු විය.

රිචඞ් ද සොයිසා අධ්‍යාපනය ලැබුවේ ගල්කිස්ස, ශාන්ත තෝමස් විද්‍යාලයෙනි. පාසල් අවධියෙහි ඔහු සුවිශේෂී දක්ෂතා රැසක් සහිත ශිෂ්‍යයකු වූයේය. ඒ අවධියේ ඔහුගේ කැපී පෙනෙන දක්ෂතා එළිදුටුවේ කථික, කාව්‍ය නිර්මාණ හා ර`ගපෑම යන අංශ තුනෙනි. එවක විද්‍යාලය මඟින් ඉංගී‍්‍රසි සාහිත්‍යය සඳහා පිරිනැමුණු විදුහල්පති සාහිත්‍ය ත්‍යාගය, පීරිස් සිරිවර්ධන රන් පදක්කම හා ආර්න්ඞ් ත්‍යාගය යන ත්‍යාග තුනම දිනාගැනීමට සමත් වූ එකම ශිෂ්‍යයා වූයේ රිචඞ්ය. එමෙන්ම, ඔහු විද්‍යාලයීය සාහිත්‍ය ස`ගරාවේ සම සංස්කාරකවරයා ද වූයේය. එසේම, අන්තර් පාඨශාලයීය ෂේක්ස්පියර් නාට්‍ය තරගාවලියේ හොඳම නළුවාට හිමි සම්මානය දෙවරක්ම (1973 හා 1975 වර්ෂවල දී) දිනාගැනීමට සමත් වූ එකම ශිෂ්‍යයා වූයේ ද රිචඞ්ය. විද්‍යාලයීය විවාද කණ්ඩායමෙහි නායකයා වූ ඔහු, විද්‍යාලයේ ක‍්‍රියාත්මක කෙරුණු ආදර්ශ පාර්ලිමේන්තුවෙහි නිදහස් සමාජවාදී පක්ෂයේ නායකයා වශයෙන් ද කතානායකවරයා වශයෙන් ද ඇමැතිවරයකු වශයෙන් ද කටයුතු කළේය. ඉංග‍්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබන මධ්‍යම පාන්තික සිසුනට බොහෝවිට නොපිහිටන, ලාංකේය සමාජය පිළිබඳ වෙනස් මානයක දැක්මක් ඔහු තුළ එවක පටන්ම වැඩෙමින් තිබිණ.

ඉන්පසු ඔහු බි‍්‍රතාන්‍ය මණ්ඩලය සමඟ නිෂ්පාදනය කළ වේදිකා නාට්‍ය ගණනාවකින් ද ‘යුගාන්තය’ හා ‘සත්‍යග‍්‍රහණය’ යන සිනමා නිර්මාණවලින් ද ‘යශෝරාවය’ ටෙලි නාට්‍යයෙන් ද සිය රංගන කුසලතා විදහා දැක්වීය. එමෙන්ම, ඉංග‍්‍රීසි පුවත්පත් කලාවේදියකු ලෙසත් රූපවාහිනී නිවේදකයකු ලෙසත් ජනමාධ්‍ය ක්ෂේත‍්‍රයේ සිය භූමිකාව අනන්‍යතාවක් සහිතව ගොඩන`ගා ගැනීමට ඔහු සමත් විය. රිචඞ් ජනමාධ්‍ය ක්ෂේත‍්‍රයේ ජාතික තලය ඉක්මවා ජාත්‍යන්තර තලයට ද ප‍්‍රවිෂ්ට විය. රෝමය මූලස්ථානය කරගනිමින් ස්ථාපිත, ‘ඉන්ටර්ප්‍රෙස් ප‍්‍රවෘත්ති සේවයේ’ ශ‍්‍රී ලංකාවේ හා ආසියානු කලාපයේ නියෝජිතයා වශයෙන් සේවය කළේ රිචඞ්ය. ඉන්ටර්ප්‍රෙස් ප‍්‍රවෘත්ති සේවයේ රෝමයේ ඉංග‍්‍රීසි සේවා සංස්කාරක හා රිචඞ්ගේ මුල්ම වෘත්තීය පුහුණුකරු වූ ෆිල් හැරිස් රිචඞ්ගේ මරණයෙන් පසු මෙසේ පවසා තිබිණි.

”ඉන්ටර්ප්‍රෙස් ප‍්‍රවෘත්ති සේවයේ වැඩකරන කිසිවෙකුත් ලෝකයේ ලොකු වැටුප් ලබන්නේ නැහැ. රිචඞ් මේ ප‍්‍රවෘත්ති සේවයට බැඳුනේ මේ ආයතනය තුන්වැනි ලෝකයේ ඕනෑ එපාකම් ගැන කටයුතු කරන බව ඔහු විශ්වාස කළ නිසයි.”

සැබැවින්ම රිචඞ්ට සිය ජනමාධ්‍ය වෘත්තිය වෙනස් හා පුළුල් ක්ෂේත‍්‍රයක දියත් කරන්නට සමාජ දේශපාලන පසුබිමක් ඒ වනවිට ශ‍්‍රී ලංකාවෙහි නිර්මාණය වී තිබිණි. එ.ජා.ප. ආණ්ඩුව විසින් මුදා හැරුණු රාජ්‍ය ත‍්‍රස්තවාදය මෙරට සමාජය බිහිසුණු තත්වයකට ඇද දමා තිබිණ. අත්අඩංගුවට ගැනීම්, අතුරුදන්වීම්, ඝාතන දස දහස් ගණනින් සිදුකෙරෙමින් පැවතිණි. රිචඞ් සිය සම්බන්ධතා සූක්ෂ්ම ලෙස යොදාගනිමින් ගවේෂණාත්මක පුවත්පත් කලාවේදියකු ලෙස එවක ආණ්ඩුවේ අත්තනෝමතික ක‍්‍රියාකාරීත්වයට අදාළ තොරතුරු ජාත්‍යන්තරයට හෙළි කරමින් සිටියේය. විශේෂයෙන්ම, මෙරට තුළ සිදුවෙමින් පැවැති මානව හිමිකම් කඩවීම් සම්බන්ධව ඔහු තොරතුරු වාර්තා කළේය. ඔහු ‘ඉන්ටර්ප්‍රෙස්’ ප‍්‍රවෘත්ති සේවය වෙත 1990 පෙබරවාරි 15 වැනිදා සැපයූ වාර්තාවෙහි, පරීක්ෂණයක් නොපවත්වා මළ සිරුරු බැහැර කිරීමට අවසර දෙන 55 වැනි හදිසි අවස්ථා රෙගුලාසිය ආණ්ඩුව විසින් ඉවත්කරනු ලැබීම සම්බන්ධව ලියමින් මෙසේ සඳහන් කළේය. මෙය රිචඞ් සැපයූ අවසන් වාර්තාවයි.

”… එහෙත් ජනවාරි 10 වැනි දින පනවන රෙගුලාසි තවමත් බල පවත්වයි. ගැටුම්වලින් පීඩාවට පත් රටේ, නැවත සාමාන්‍ය තත්වය උදා කරන බවට දෙන ලද පොරොන්දුව පරිදි ආණ්ඩුව කි‍්‍රයා නොකරන්නේය යන චෝදනා ඉන් ඉස්මතු වෙයි.

වැඩකරන ස්ථානවල හෝ අධ්‍යාපන ආයතනවල හෝ යථා කි‍්‍රයාකාරීත්වය කෙරෙහි හානිකර අන්දමින් බලපැවැත්වීමට ඉඩ ඇති දේශපාලන හෝ වෙනත් සියලූ කි‍්‍රයාකාරකම් හෝ 1990 අංක 01 දරන (හානිකර දේශපාලන කටයුතු වැළැක්වීමේ) හදිසි අවස්ථා රෙගුලාසියෙන් තහනම් වෙයි. එසේම ඉන් මෙම ස්ථානවල සියලූ අන්දමේ රැුස්වීම්, ඒකරාශීවීම් පෙළපාළි, පෙරහැර හෝ පෝස්ටර් ප‍්‍රදර්ශනය ද තහනම් වෙයි.

දේශපාලන හෝ වෙනත් සියලූ කි‍්‍රයාකාරකම් යන්නෙහි ‘වෙනත්’ යන පදයට සාමාන්‍ය වෘත්තීය සමිති කටයුතු ද ඇතුළත් වෙතැයි, සමිති ක‍්‍රියාකාරීහු චෝදනා කරති. මෙම නීතිය සම්මත කිරීමේ දී ආණ්ඩුවට සහයෝගය දක්වන අතළොස්සක් හැර, අන් සෑම වෘත්තීය සමිතියක්ම වාගේ විරෝධය පළ කළේය.”

(උපුටා ගැනීම- ‘රිචඞ් ද සොයිසා: ඝාතනය, පරීක්ෂණය හා නිගමනය’- බැටී වීරකෝන්)

ඒ වන විට රිචඞ් ඉන්ටර්ප්‍රෙස් ප‍්‍රවෘත්ති සේවයේ යුරෝපීය සේවාවේ අධ්‍යක්ෂවරයා ලෙස පත්කරනු ලැබ තිබූ අතර, නොබෝ දිනකින් එම තනතුරෙහි වැඩ භාරගැනීම සඳහා ඔහු ලිස්බන් නගරය වෙත යාමට නියමිතව තිබිණ. ඔහු එසේ ගියහොත්, තම රජයට මුහුණ දීමට සිදුවන අභියෝගාත්මක තත්වය පිළිබඳව පේ‍්‍රමදාස ජනාධිපතිවරයාටත් ඔහුගේ සමීපතමයන්ටත් වැටහී තිබුණා නිසැකය. රිචඞ්ගේ මාධ්‍ය භාවිතය තමන්ට හීලෑ කරගත හැකි එකක් නො වූයෙන්, රිචඞ් ඝාතනය කිරීමෙන් මෙපිට ඔහුගේ මාධ්‍ය භාවිතයෙන් ගැලවීමේ ම`ගක් තමන්ට නොමැති බව පේ‍්‍රමදාස ජනාධිපතිවරයා ඇතුළු පිරිස වටහා ගන්නට ඇත. ඔවුහු ඉස්සර වූහ. රිචඞ් ඝාතනය කිරීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යෙදවුණු අතර, එහි ප‍්‍රධානියා වූයේ පේ‍්‍රමදාස ජනාධිපතිවරයාගේ සමීපතමයකු වූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොනී ගුණසිංහය. මෙම කාර්යය සඳහා ඔහු විසින් තෝරාගනු ලැබූ කණ්ඩායමට කොටුව පොලිසියේ ස්ථානභාර නිලධාරී පොලිස් පරීක්ෂක රංචාගොඩ, කොම්පඤ්ඤ වීදිය පොලිසියේ පොලිස් පරීක්ෂක දේවසුරේන්ද්‍ර සහ සරත්චන්ද්‍ර යන පොලිස් නිලධාරීන් ඇතුළු පිරිසක් අයත් වූහ.

රිචඞ්ගේ මව මනෝරාණී සරවනමුත්තු මහත්මිය, 1990 ජූනි මස 05 වැනි දින පොලිසියට ප‍්‍රකාශයක් කරමින් මෙසේ සඳහන් කළාය.

”මා පළමුවෙන් ඔහු දුටුවේ 1990 මැයි 10 වැනි දින රූපවාහිනී ප‍්‍රවෘත්තිවලින්. ඉන්පසු අයි.ටී.එන් ප‍්‍රවෘත්තිවල දීද ඔහු දුටවෙමි. සුදු පාට ටී ෂර්ට් එකක් හා සුදුපාට කොට කලිසමක් හැඳ සුදු පාට කැප් එකක් ද දමාගෙන එම අවස්ථාවේ මගේ නිවසට පැමිණි පුද්ගලයා ඔහු බවට මට සැකයක් නැත. රූපවාහිනියේ දැක මවිසින් හඳුනාගනු ලැබූ එම පුද්ගලයා රොනී ගුණසිංහ මහතාය. ඔවුන් මගේ පුත‍්‍රයා ගෙනයාමට උත්සාහ කරද්දී, එක් අවස්ථාවක මම මගේ පුතාත් ඔහුත් අතර සිට ගත්තෙමි. එවිට ගුණසිංහ මහතාත් මාත් සිටියේ මුහුණට මුහුණ ලා ගෙනය. ඔහු අත හරස් කොට මගේ පිටුපසින් සිටි පුතා මෑතට ඇද ගත්තේය. මට ඔහු හොඳින් හඳුනා ගැනීමට පුළුවන. රූපවාහිනියෙන් ඔහු දුටු හැටියේම, මගේ නිවසට පැමිණ මගේ පුතා රැගෙන ගිය පුද්ගලයා ඔහු බව මම හඳුනාගත්තෙමි. ඔහු තවත් පොලිස් නිලධාරීන් පිරිසක් සමඟ සිටින ඡායාරූපයක් ද පුවත්පතක මම දුටුවෙමි.”

රිචඞ් ඝාතනය කරනු ලැබීම ජාතික හා අන්තර්ජාතික වශයෙන් දැඩි ආන්දෝලනයකට තුඩු දුන්නේය. ඔහු ජාත්‍යන්තර ජනමාධ්‍ය ක්ෂේත‍්‍රය හා සම්බන්ධව සිටීම ඊට විශේෂයෙන්ම බලපෑවේය. රිචඞ් ද සොයිසා පැහැරගෙන ගොස් ඝාතනය කරනු ලැබීම සම්බන්ධව 1990 අපේ‍්‍රල් 23 වැනිදා ‘TIME’ සගරාවේ ලිපියක් පළවිය. වහාම කි‍්‍රයාත්මක වූ මෙරට රජය ශී‍්‍ර ලංකාව තුළ ‘TIME’ සගරාව අලෙවි කිරීම තහනම් කළේය. එම ‘TIME’ සඟරාවේ පළවූ ලිපියෙහි මෙසේ සඳහන් වේ.

”ආණ්ඩුවේ ඝාතක කල්ලිවල කටයුතු විදහාපාන ප‍්‍රවෘත්ති ලිවීම මෙන්ම විදේශවල මානව හිමිකම් සංවිධාන සඳහා තොරතුරු රැුස්කිරීම ද කළ, ද සොයිසා බලවත් තර්ජනයක් ලෙස සැලකිණි. තවත් දින කිහිපයකින් ඔහු අලූත් තනතුරක වැඩ භාරගැනීම සඳහා ලිස්බන් බලා පිටත්ව යාමට සිටි බවත් ඔහු මරා දමනු ලැබුවේ ඊට පෙර විය හැකි බවත් ඔහුගේ මිතුරෙක් අනුමාන කරයි. එසේ ගියේ නම් මානව හිමිකම් උල්ලංඝනය කිරීම් වඩාත් හොඳින් ලෝක අවධානයට යොමු කිරීමට ඔහුට හැකි වනවා ඇත.

… ද සොයිසා තවත් ආකාරයකින් අනතුරුදායක තත්වයක සිටියේය. පේ‍්‍රමදාසගේ පෞද්ගලික කෝපයට හේතුවන අන්දමේ වැඩපිළිවෙළකට ඔහු සම්බන්ධ විය. ඔහු කළේ වාර්තා කිරීම හා ලිවීම පමණක් නොවේ. ‘මේ කවුද? මොනවද කරන්නේ? නමැති වේදිකා නාට්‍යයේ රචකයා ද ඔහු විය. එය පේ‍්‍රමදාසගේ පාලන කලාව හා සම්බන්ධව ගෙතුණු දේශපාලන උපහාසාත්මක නාට්‍යයකි. පෙබරවාරියේ දී නාට්‍යය මුලින්ම පෙන්වීමට බලාපොරොත්තු වූ දිනට පෙරදින එහි නිෂ්පාදකයා පැහැරගෙන යන ලදී. ඔහු, ද සොයිසාගේ මිතුරකු විය. ඔහු මියයන්නට ඇතැයි සිතනු ලැබේ. සති තුනකට පසු ද සොයිසා ඝාතනය කෙරිණි.”

මෙම ඝාතනය සම්බන්ධව පාර්ලිමේන්තුවේ දී විපක්ෂ මන්ත‍්‍රීවරුන් කතා කරන විට, ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරු රිචඞ් සමලිංගිකයකු, කුඩුකාරයකු යැයි ඔහුට පරිභව කරමින් ඝෝෂා කළහ. ඔහු ඝාතනය කිරීමෙන් නොනැවතී ඔහුට නින්දිත ලෙස අපහාස කරන්නට ද එජාප ආණ්ඩුව කටයුතු කළේ ය. රිචඞ් ද සොයිසා ඝාතනය කරනු ලැබීම සම්බන්ධව කොමිසමක් පත් කළ යුතු බවට විපක්ෂය විසින් ඉල්ලා සිටි අවස්ථාවේ එවක ආරක්ෂක ඇමැති රන්ජන් විජේරත්න හා ශී‍්‍ර ල.නි.ප. පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිමල් සිරිපාල ද සිල්වා අතර සංවාදයක් ඇති විය. එය 1990 මාර්තු 20 වැනි දින හැන්සාඞ් වාර්තාවෙහි සඳහන් වන්නේ මෙලෙසිනි.

”සිල්වා මහතා : මගේ ප‍්‍රශ්නය මේ පිළිබඳව කොමිසමක් පත් කරනු ලැබේද යන්නයි.

විජේරත්න මහතා : සෑම මිනී මැරුමකටම කොමිසමක් පත් කරන්න බැහැ.

සිල්වා මහතා : නමුත් මා අසා සිටියේ මේ මරණය ගැන සොයා බැලීමට කොමිසමක් පත් කරනවද කියන එකයි.

විජේරත්න මහතා : එම කාරණය ගැන වෙහෙසවීම වැඩක් නැහැ. මේ රටේ බොහෝ මරණ සිදුවී තිබෙනවා. ඒ ඔක්කොම විශේෂ ලෙස සිදුවූ මරණ. එකක් අහුලාගෙන, මට මේකට කොමිසමක් ඕනෑ කියන්න ඔබට බැහැ. රිචඞ් ද සොයිසාගේ මිනී මැරුමත් එයින් එකක් විතරයි…”

කෙසේ වෙතත් මෙම ඝාතනය සම්බන්ධව සොයාබැලීමට කොමිසමක් පත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තුවේ විපක්ෂය විසින් ඒකාබද්ධ යෝජනාවක් 1990 සැප්තැම්බර් මාසයේ දී ඉදිරිපත් කරන ලදී. එම යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත්වීම වැළැක්වීමට ආණ්ඩු පක්ෂය දැඩි උත්සාහයක් ගත්තේය. අවසානයේ එම යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් වූ නමුත් ඒ කිසිදු කි‍්‍රයා මාර්ගයකින් යුක්තිය ඉටු නොවීය. වැරදිකරුවන් හඳුනාගැනීමට හෝ ඔවුන්ට දඩුවම් පැමිණවීමට හෝ අවශ්‍ය පසුබිමක් පවා නිර්මාණය නොවීය.

රිචඞ් ඝාතනය කිරීමට සම්බන්ධ පොලිස් කණ්ඩායමේ ප‍්‍රධානියා වූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොනී ගුණසිංහ, 1993 මැයි 01 දා ආමර් වීදියේ දී පිපිරූ බෝම්බයෙන් පේ‍්‍රමදාස ජනාධිපතිවරයාත් සමඟම මරණයට පත්විය.

රිචඞ් ද සොයිසාගේ මරණය සම්බන්ධව සොයා බැලීම පිණිස විපක්ෂය විසින් ඉල්ලා සිටි ස්වාධීන පරීක්ෂණ කොමිසම, එවක පැවැති එ.ජා.ප. ආණ්ඩුව 1994 දී බිඳ වැටෙන තුරුත් පත් කෙරුණේ නැත. එ.ජා.ප. ආණ්ඩුව පරාජය කොට පොදු ජන එක්සත් පෙරමුණට බලයට පත්වීම සඳහා රිචඞ්ගේ ඝාතනය විශාල ඉල්ලමක් වූ අතර, රාජ්‍ය නොවන සංවිධාන ද විදේශ අරමුදල් ගරාගැනීම සඳහා රිචඞ්ගේ ඝාතනය ඉවහල් කොට ගත්හ.

රිචඞ්ගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණයක් කරන්නන් වාලේ සිදු කෙරෙමින් පැවැති අතර, අදාළ සැකකරුවන්ගෙන් කිහිප දෙනකුම ඒ කාලය ඇතුළත මියගොස් තිබිණ. රිචඞ්ගේ මව වූ මනෝරාණි සරවනමුත්තු මහත්මිය ද දැනට වසර කිහිපයකට ඉහත දී මිය ගියාය. අවසානයේ රිචඞ් ද සොයිසාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණය නවතා දමන්නට තීරණය කර ඇති බවට පුවතක් වසර කිහිපයකට පෙර පුවත්පතක පළ වී තිබිණි.

1993 පෙබරවාරියේ මනෝරාණී අම්මා මෙසේ කීවා ය.

”මුහුද මගේ පුතා ආපහු මා ළගට ගෙනාවා. සමහරක් විට ? ජාමෙට මම හිතනවා දෙවියන්ට මගේ පුතාව බේරගන්න බැරි වුණත් මහ මුහුද මගේ පුතා මා ළගට ගෙනාවේ මට සටන් කරන්න හැකි වෙන්න කියලයි.”

සැබැවින්ම ඇය සටන් කළාය. ඇගේ සටනින් ඵල නෙළාගත් දේශපාලකයෝ බලයට පත්වූහ. නමුත් රිචඞ් ඝාතනය කරනු ලැබූ ඝාතකයන්ට දඩුවම් නොලැබිණි.

මැතිවරණ වේදිකාවලදී, රාජ්‍ය නොවන සංවිධානවල මාධ්‍ය සංදර්ශනවලදී අදටත් රිචඞ්ගේ මරණය යහමින් වෙන්දේසි වේ.

රිචඞ්ගේ සේයාරුව දෙස යළිත් වරක් හැරී බලමි. රිචඞ් විසින් ලියන ලද Parting Gift (සමුගැනීමේ තිළිණය) නමැති කවියෙහි අවසානය මගේ සිහියට නැගෙයි.





ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network