විදුලි බිල ඉහළ දමන්නයි - ඩීසල් විදුලි බලාගාර මාෆියාවට වැඩියෙන් ගෙවන්නයි මේ ආණ්ඩුව හදන්නේ sriavtvnetwork news

විදුලි බිල ඉහළ දමන්නයි - ඩීසල් විදුලි බලාගාර මාෆියාවට වැඩියෙන් ගෙවන්නයි මේ ආණ්ඩුව හදන්නේ



 - ජාාතික නිදහස් පෙරමුණ කිසිදු ස්ථීර විසඳුමකින් තොරව විදුලිය කප්පාදුව පවත්වා ගෙන ගොස් ‘පැය 24ම විදුලිය ලැබෙනවානම් බිල වැඩි වුවත් කමක් නැහැ’ කියන මනසට විදුලි පාරිභෝගිකයා ඇද දමා විදුලි බිල වැඩි කිරීමත් එසේම ඩීසල් විදුලි බලාගාර මාෆියාවෙන් වැඩි මිලට විදුලිය මිලදී ගැනීමත් ආණ්ඩුවේ අරමුණ වී ඇතැයි ජානිපෙ පෙන්වා දෙයි. අද (28) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ දී පැවැති මාධ්‍ය හමුවක දී එහි ප්‍රචාරක ලේකම් මොහොමඞ් මුසම්මිල් මහතා එසේ පෙන්වා දුන්නේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද සඳහන් කළේය. “විදුලිබල හා බලශක්ති අමාත්‍ය රවි කරුණානායක මහතා කියනවා, ‘වැඩිවන විදුලිය ඉල්ලුමට අවශ්‍ය සැපයුම ලබාදීමට ගෙවී ගිය වසර 04 තුළ ආණ්ඩුවට වැඩපිළිවෙළක් තිබුණේ නැහැ’ කියා. මේ සතියේ රැස්වුණු කැබිනට් මණ්ඩලය මේ විදුලි අර්බුදයට පිළියමක් ලෙස අපූරු යෝජනාවක් සිදු කර තිබෙනවා. එනම්, ‘එක් නිවසකින් විදුලි පහන් දෙකක් නිවා දමන්න’ කියා. ඊළඟ සතියේ තවත් දෙකක්. එහෙම සති දෙක තුනක් ගියාම කියාවි, ‘මේන් ස්විච් එකෙන් ඕප් කරන්න’ කියලා. මේ අනුව පෙනී යනවා, ප්‍රතිපත්තිමය තීරණ ගත යුතු කැබිනට් මණ්ඩලය අද ජනතාවට විහිළු සපයන ස්ථානයක් බවට පත්ව තිබෙන බව. එදා මහින්ද රාජපක්ෂ පාලන සමයේ විදුලි අර්බුදය පිළිබඳව කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා වුණු අවස්ථාවල දී තීන්දු කළේ නොරොච්චෝලේ, කෙරවලපිටිය, සම්පූර් වැනි ජාතික විදුලි පද්ධතිය ශක්තිමත් කෙරෙන නව විදුලි බලාගාරය ඉදිකිරීමටයි. ‘රට යළි කුප්පි ලාම්පු යුගයට’ දිනකට අමතරව අවශ්‍ය මෙගාවොට් 340ක විදුලිය ධාරිතාව සම්පූර්ණ කර ගැනීමට ගෙවී ගිය වසර 04 තුළ මේ ආණ්ඩුව කිසිවක් සිදුකර නැහැ. ආර්ථිකය බිඳ වට්ටපු, සංවර්ධනයට අඩ තියපු මේ ආණ්ඩුව අද මේ රට යළි කුප්පි ලාම්පු යුගයකට ඇදගෙන යනවා. ‘සූර්ය බල සංග්‍රාමයට මොකද වුණේ?’ ගෙවී ගිය වසර හතර තුළ මේ ආණ්ඩුව බොරු කයිවාරු ගැහුවා. ‘හිරුඑළිය යොදා විදුලිබල ප්‍රශ්නයට විසඳුම් දෙනවා’ කියා. නමුත් අද ඒක පුස්සක් බව පෙනී යනවා. සුනිත්‍ය බලශක්ති අධිකාරියේ ෆෝම් ගොඩගැහුණු එක විතරයි අවසානයේ සිදු වුණේ. කිසිම බැංකුවක් මේ සඳහා ණය ලබා දුන්නේ නැහැ. ‘ඩීසල් විදුලි බලාගාර මාෆියාව’ අද විදුලි බල මණ්ඩලය තනිකරම පාලනය වන්නේ ඩීසල් විදුලි බලාගාර මාෆියාවට වුවමනා අන්දමට. නව විදුලි බලාගාර, සූර්ය බලශක්තිය යොදා ගැනීම් වැනි නව ව්‍යාපෘති කිසිවක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ජල විදුලි බලාගාරවල සැපයුම් අඩාල වූ වහාම තම හිතවතුන් සතු ඩීසල් විදුලි බලාගාරවලින් ඉතාමත් අධික මිලට විදුලිය මිලදී ගෙන කෝටි ගණනින් කොමිස් ගිලීමයි මේ මාෆියාව සිදු කරන්නේ. ‘එක ගලෙන් කුරුල්ලෝ දෙකයි’ මේ ආණ්ඩුව උත්සාහ ගනිමින් ඉන්නේ විදුලිය කපමින් ඉදලා ‘එක පැත්තකින් වැඩි මිලට හෝ පැය 24ම විදුලිය ලැබුණට කමක් නැහැ’ කියන මතය විදුලි පාරිභෝගිකයා තුළ හදන්න. එවිට ඒ මුවාවෙන් විදුලි බිල වැඩි කරන්න. අනිත් පැත්තෙන් ඩීසල් විදුලිබලාගාරවලින් මිලදී ගන්නා විදුලි ඒකකයක් සඳහා ගෙවන මුදල වැඩි කර දෙන්න. එක ගලෙන් කුරුල්ලන් දෙන්නෙක් මරන්නයි මේ අය හදන්නේ. ‘නව ජාතික ආණ්ඩුවක්’ රටම අඳුරේ තබපු මේ ආණ්ඩුව ආයෙත් ජාතික ආණ්ඩුවක් සඳහා සූදානම් වෙනවා. පැවති ජාතික ආණ්ඩුව රටට ලබාදුන් ‘අපූරු ප්‍රතිලාභ’ ඔබ දන්නවා. ඒ ආණ්ඩුව ණය බරතාව 2014 අග සිට 2018 දක්වා 71% සිට 91% දක්වා ඉහළ දැම්මා. රට කුප්පි ලාම්පු යුගයට ගෙන ආවා. ආර්ථිකය බිඳ වැට්ටුවා. ටැබ්, ෆ්‍රී වයි-ෆයි ලැබීම තියා අද පාසල් දරුවන්ට විභාගවලට පාඩම් කරන්න, පෙළපොත බලන්න වෙලා තියෙන්නේ කුප්පි ලාම්පු එළියෙන්. එහෙම තැන්කට රට ඇදලා දාපු ජාතික ආණ්ඩුවක් ගැන අඳුරු මතකයක් රටට තිබියදී දැන් යළිත් එවැන්නක් ගැන කතා කරන්න පටන් අරන්. දැන් තොණ්ඩමන් මහතාගේ පක්ෂය එක්ක එකතුවෙලා හරි ජාතික ආණ්ඩුවක් අටවා ගන්නයි මේ ආණ්ඩුව හදන්නේ. එජාපයේ ගැටුම් ගොඩයි. ඒ ගැටුම් නිරාකරණය කරගන්නේ ඇමති සැප දීලා. රංගේ බණ්ඩාරලාට, සරත් ෆොන්සේකාලාට ඇමති සැප දීලා හරි බලය රැකගන්නයි රනිල් වික්‍රමසිංහ හදන්නේ. විදුලි අර්බුදය විසඳන්න, ඡන්ද තියන්න එයාට උවමනාවක් නැහැ.” අනුරුද්ධ බණ්ඩාර රණවාරණ මාධ්‍ය ලේකම් ජාතික නිදහස් පෙරමුණ 2019/03/28

ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network