ජවිපෙ පොලිසි සහ හමුදා කඳවුරුවලින් ආයුධ පැහැරගත් හැටි sriavtvnetwork news

පොලිසි සහ හමුදා කඳවුරුවලින් ආයුධ පැහැරගත් හැටි



ජවිපෙ සන්නද්ධ අංශයේ පුහුණුව, ශක්තිය, උපක්‍රම සහ ඇතැම් ආරක්ෂක භටයින් සමඟ ගොඩනගා ඇති සබඳතා පිළිබඳව බොහෝ දෙනා මවිතයට පත්වූහ. හමුදා කඳවුරු මෙන්ම පොලිස් ස්ථානවලටද කඩාවැදුණු ජවිපෙ කැරලිකරුවෝ ඒවායේ අවි ආයුධ රැසක් පැහැරගැනීමට සමත් වූහ. හමුදා කඳවුරු සහ පොලිස් ස්ථානවලින් මෙසේ පැහැරගත් අවි ආයුධ අතර ටී 81, ටී 56 ස්වංක්‍රීය රයිෆල්, උපයාන්ත්‍රික තුවක්කු, අර්ධ ස්වයංක්‍රීය රයිෆල්, මැෂින් තුවක්කු, එල්.එම්.ජී. බැරල්, 303 රයිෆල්, රිපීටර් තුවක්කු, මිලි මීටර් 60 මෝටාර් තුවක්කු, ක්ලේමෝ බෝම්බ, එස්.එම්.ජී ගිනිඅවි, පිස්තෝල සහ රිවෝල්වර, සාමාන්‍ය තුවක්කු, පතරොම්, පතරොම් පටි, දුම් බෝම්බ ඇතුළු අවි ආයුධ ගණනාවක්ම විය. ආරක්ෂක අමාතංශය 1988 අගෝස්තු නිවේදනය කළේ කැරලිකරුවන් විසින් පැහැරගත් හෝ තබාගෙන සිටින අවි ආයුධ සහ වෙඩි බෙහෙත් සොයාගැනීමට ඉවහල් වන තොරතුරු සපයන්නන්ට මුදලින් ත්‍යාග පිරිනමන බවය.

මෙවර ජවිපෙ කැරැල්ලට ආරක්ෂක අංශ සහ පොලිසියේ 1,200කට ආසන්න පිරිසක් සෘජු සහ වක්‍ර ලෙස එක් වී තිබිණි. ඇතැම් සෙබළුන් හමුදාව හැර කැරැල්ල වෙත පැමිණියේ තමාගේ ගිනිඅවියද රැගෙනය. එමෙන්ම ජවිපෙ සමඟ හිතවත්කම් පැවැත්වූ පොලිසියේ සහ ත්‍රිවිධ හමුදාවේ පිරිස 5,000 කට ආසන්නය. හමුදාපති හැමිල්ටන් වනසිංහ 1989 මුල් භාගයේදී ජාතික ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී බුද්ධි සේවා අංශයෙන් ලබාගත් තොරතුරුවලට අනුව කියා සිටියේ ප්‍රචණ්ඩ ක්‍රියා ව්‍යාප්තවීමෙන් පසු යුද හමුදාවේ සියයට 6ක් පමණ සෙබළුන් අවි සමඟ පැනගොස් කඩාකප්පල්කාරීන් සමඟ එක්විය හැකි බවය. තත්ත්වය තවත් උත්සන්න වුවහොත් සති ගණනාවකින් පසු එම අනුපාතය සියයට 16 දක්වා වැඩිවිය හැකි බවද ඔහු පෙන්වා දුන්නේය. ජවිපෙ ඔත්තු සේවාවන් අනුව ත්‍රිවිධ හමුදාවේ සියයට 30ක් කැරැල්ලට සහාය දක්වන අතර සියයට 50ක් නිහඬව සිටිනු ඇත. කැරැල්ලට එරෙහි වන්නේ ඉතිරි සියයට 20ක පමණ ප්‍රතිශතයකි. වසර 1971 අප්‍රේල් කැරැල්ලේදී ගුවන් හමුදාවේ 25ක්, නාවික හමුදාවේ 200ක්, යුද හමුදාවේ 100 සහ පොලිසියේ 50කට ආසන්න පිරිසක් සමඟ සබඳතා පැවැත්වීමට ජවිපෙ සමත්වුවද අප්‍රේල් කැරැල්ලට සම්බන්ධ වූයේ ඉතාමත් සුළු පිරිසකි. එහෙත් ජවිපෙ 2 වැනි කැරැල්ලේදී ත්‍රිවිධ හමුදාවෙන් පැමිණි සිය ගණනක් ඉන් ඉවත්ව පූර්ණකාලීනව කැරැල්ලේ වගකීම් දැරූහ.
ඉන්දීය හමුදා 1987 ජුලි මස ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමෙන් පසු උතුරු නැගෙනහිරට පැමිණීමත් සමඟම දකුණේ කැරැල්ල මැඩපැවැත්වීමට එවන ලද පළමු හමුදා භට පිරිස 1 ගැමුණු හේවා බළ ඇණියට අයත් විය. ඔවුහු දකුණු ආඥා ප්‍රදේශ භාර මූලස්ථානය වෙත වාර්තා කිරීමෙන් අනතුරුව පසුදා උදෑසන ඉන් නිලධාරියෙකු ඇතුළු 10 දෙනෙකු වඩාත්ම ප්‍රචණ්ඩකාරී ප්‍රදේශයක් වූ ගාල්ල දිස්ත්‍රික්කයේ තල්ගස්වලට යැවිණි. රාජ්‍ය තේ වතු වගා කිරීමේ සංවර්ධන මණ්ඩලයට අයත් තේ වතුයායක පිහිටි ගොඩනැගිල්ලක ඔවුහු ස්ථානගත වූහ.

ඡායාරූපය
ජපානයේ ජවිපෙ සංවිධායකව සිටි සමන් ප්‍රියංකර ජවිපෙ නායක සෝමවංශ අමරසිංහගේ උපදෙස් අනුව පිලිපීනයේ මින්දනාවෝ මාඕවාදී කැරලිකරුවන් සමඟ සබඳතා වර්ධනය කරගැනීමට ගිය අවස්ථාවකදී මින්දනාවෝ දූපත්වල කැරලිකරුවෙකු සමඟින්.

පසුව උතුරු නැගෙනහිරින් පැමිණි අනිකුත් කණ්ඩායම් නුවරඑළිය, අම්පාර, බදුල්ල සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කයන්හි ස්ථානගත වූහ. ඒ අනුව උතුරු ප්‍රදේශයෙන් ඉවත්කර ගත් ගජබා, සිංහ, පාබල යන සෙසු බළඇණිද දකුණේ විවිධ ප්‍රදේශයන්හි ස්ථානගත කරන ලදී. උතුරු නැගෙනහිර තමන් සමඟ සටන්වැදි ප්‍රතිවාදීන් වූ දෙමළ බෙදුම්වාදීන් ත්‍රිවිධ හමුදාව විසින් හැඳින්වූයේ ත්‍රස්තවාදීන් ලෙසය. එහෙත් උතුරේ කැරලිකරුවන් සතු හැසිරීම් රටාව සහ ඔවුන් විසින් ගෙන යන ලද සටන් ස්වභාවයට වඩා දකුණේ ඇතිවූ ප්‍රචණ්ඩත්වය වෙනස් ස්වරූපයක් ගත් හෙයින් ඊට යොමු වූ ක්‍රියාකාරින් යුද මූලධර්මයන්ට අනුව කඩාකප්පල්කාරීන් වශයෙන් සැලකූහ. මෙසේ හැඳින්වීමට හේතු වූයේ දකුණේ කැරලිකරුවන් විසින් යොදාගනු ලබන සමස්ත උපායශීලිත්ව අරමුණ මුල් කරගත් සටන් ස්වභාවය මිස අනෙකක් නොවේ.

ත්‍රිකුණාමලයේ කල්ලාර් හමුදා කඳවුරට 1987 ඔක්තෝබර් 4 කඩාවැදී එහි සියලු ආයුධ පැහැර ගැනීමටද කැරලිකරුවන් සමත්වූ අතර එයට නායකත්වය දුන් ගුවන් හමුදාවේ සෙබළ වනවාසල, ලොකු මහින්ද ඇතුළු කැරලිකරුවන් තිදෙනෙකු ඝාතනයට පත්විය. මීගස්වැව කුඹුකුණාවල සිට කල්ලාර් ප්‍රහාරයට කැරලිකරුවන් ගියේ බෙරවිල කැලේ හරහා කිලෝමීටර් 15ක් පමණ පා ගමනකිනි. දිවා ආහාරයෙන් පසු වියළි ආහාර ද්‍රව්‍ය සහ ජලය රැගෙන එයට එක්වූහ. ප්‍රහාරයෙන් පසු අවි රැගෙන එන විටද ඔවුන් යළි පා ගමනින් පැමිණියේ වෙඩි වැදුණු කැරලිකරුවන් දෙදෙනෙකුද ඔසවාගෙනය.

ඡායාරූපය
අවි පැහැරගැනීමට නායකත්වය දුන් මුල්පෙළේ කැරලිකරුවන් කිහිපදෙනෙක්. වමේ සිට පන්නල ප්‍රහාරයේ නායක හිටපු කෝප්‍රල් ජයන්ත සිරිපාල හෙවත් පීටර් හෙවත් නන්දන, පනාගොඩ හමුදා කඳවුරේ ප්‍රහාරයේදී එහි සැලසුම සකස් කර අවසානයේදී මරුමුවට පත්වූ මාතර වටගෙදර පදිංචි කෝප්‍රල් එස්.ඒ. කුමුදු කුමාර, කටුනායක ප්‍රහාරයේ නායකයෙකු වන මධ්‍යම කාරක සභික සහ හිටපු කොස්තාපල් ඊශ්වරගේ ආරියසේන, ගුවන් හමුදා හිටපු කාර්මික නිලධාරි කඩුවෙල පිට්ටුගල පදිංචි කෙහෙල්වත්ත ගමරාලලාගේ සිරිපාල සහ හිටපු හමුදාභට වනවාසල පදිංචි ආනන්දපාල ගෙදර සරත් ගුණරත්න.


පන්නල ජාතික සහායක බළකා පුහුණු කඳවුරට 1988 නොවැම්බර් 1 අලුයම 1.25ට ප්‍රහාර එල්ල කිරීමේදී 9 දෙනෙකු මිය ගිය අතර ඉන් 4 දෙනෙක් ජවිපෙ කැරලිකරුවන් විය. කුරුණෑගල දිස්ත්‍රික්කයේ පන්නල පිහිටි මෙම ජාතික සහායක බළකායේ යුද පුහුණු කඳවුරේ ඒ වෙන විට 250ක් පුහුණුව ලබන සෙබළුන් සිටියහ. කැරලිකරුවන් ටී 56 තුවක්කු 19 ක් 303 වර්ගයේ තුවක්කු 178 ක් රිපීටර් වර්ගයේ තුවක්කු 21 ක් එල්.එම්.ජී. වර්ගයේ තුවක්කු 8 ක් සහ පතොරම් 30,000ක් පැහැරගත් අතර මෙය කැරලි සමයේ එක් ප්‍රහාරයකින් ලබාගත් විශාලතම අවි ආයුධ තොගය විය.  

පනාගොඩ යුද හමුදා මූලස්ථානයට 1989 මැයි 2 අලුයම 1.30ට කැරලිකරුවන් ප්‍රහාරයක් එල්ල කළ අතර එය ව්‍යාර්ථ කිරීමට හමුදාව සමත් විය. එහෙත් අවි කිහිපයක් පැහැරගැනීමට කැරලිකරුවන් සමත් වූහ. කඳවුරේ සේවය කළ හමුදා කෝප්‍රල් එස්.ඒ. කුමුදු කුමාරද කැරලිකරුවන්ට එක්වූ අතර එහිදී ඔහුද තවත් කැරලිකරුවන් දෙදෙනෙකු වූ මුලටියන සීනිපැල්ලේ දහනායක සහ මහරගම දඹහේන පාරේ සුගත් පුෂ්පකුමාර හෙවත් රංජිද ඝාතනයට ලක්විය. මාතර වටගෙදර පදිංචි සුදුවැල්ල කංකානම්ගේ කුමුදු කුමාරගේ පියා කච්චේරියේ ලිපිකරුවෙකි. මව නාදුගල මහා විද්‍යාලයේ ගුරුවරියකි. සිව්දෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමලා කුමුදුය. මාතර ශාන්ත තෝමස් විදුහලේ 1983 උපප්‍රධාන ශිෂ්‍ය නායකයාද වූ කුමුදු 1963 දෙසැම්බර් 12 උපන්නෙකි. අ.පො.ස. උසස් පෙළදී නන්දරත්න මගින් ජවිපෙට එක්වූ කුමුදු 1982 ධවල පත්‍රිකා විරෝධයේදී ගැමුණු නමින් මාතර දිස්ත්‍රික් සංවිධායකවරයෙකු ලෙස කටයුතු කළේය. කෝප්‍රල් කුමුදු කුමාර සමඟ ජවිපෙ සබඳතා පැවැත්වූ නාදුගල විමලාරාමයේ පොඩි හාමුදුරුවන්ද 1989 අගභාගයේදී ඝාතනයට ලක්විය.  

කැරලිකරුවන් ආයුධ ලබාගැනීමට කළ ප්‍රහාරයන් කිහිපයක් අවසාන මොහොතේ අසාර්ථක විය. එවැනි එක් ස්ථානයක් වූයේ වැලිකන්ද කන්දකඩුව හමුදා කඳවුරට කඩාවැදී අවි ආයුධ පැහැර ගැනීමේ ප්‍රහාරයයි. අවි ගබඩා භාරකරු බව කියන සාමාන්‍ය සෙබළ අම්පාරේ බණ්ඩාර විසින් සියලු අවි ගෙනයෑමට පහසුවන සේ දරමිටි සේ බැඳ තිබූ අතර එහෙත් හදිස්සියේ සැලැස්ම අවුල් වූයේ රාත්‍රී 10ට පෙර කැරලිකරුවන් ඇතුළුවීමට තිබුණද විනාඩි 15ක් පසුවී ඇතුළුවීම හේතුවෙන් වෙනත් අය මුරසේවාවල යෙදීම නිසා බව කියති. මුරසේවයේ යෙදී සිටි වෙනත් හමුදා භටයෙක් විසින් කැරලිකරුවෙකු දැක වෙඩි තබා නළාව නාදකිරීමෙන් පසු හමුදාව ප්‍රතිප්‍රහාර එල්ලකළ අතර කැරලිකරුවන්ට පසුබසින්නට සිදුවිය.  

ඡයාරූපය
අවි පැහැරගැනීමට නායකත්වය දුන් මුල් පෙළේ කැරලිකරුවන් කිහිපදෙනෙක්. වමේ සිට කරාටේ ශූරයෙකු වන කුලියාපිටියේ දණ්ඩගමුවවේ පදිංචි ජාතික සහායක බළකායේ සෙබළ ඩබ්ලිව්.පී. එමානුවෙල්, රාගම ඇල්පිටිවල පදිංචි කොන්ගනිගේ ඩග්ලස් ඇන්තනි. කෑගල්ලේ අජිත් ප්‍රේමසිරි, හම්බන්තොට පන්නගමුවේ ප්‍රේමචන්ද්‍ර කොඩිතුවක්කු සහ රත්නපුරයේ සමන් වීරරත්න

අවි පැහැර ගැනීමේ ප්‍රහාරයන්ට සම්බන්ධ වූ කැරලිකරුවන් සති තුනක හෝ දෙසතියක රහසිගත පුහුණුවක් ජවිපෙ විසින් රක්ෂිත වනයන්හි තාවකාලිකව ඉදිකරන ලද අවි පුහුණු කිරීම් කඳවුරු 100 කදී පමණ සිදුකරන ලදී. එහි පුහුණුව භාරව බොහෝ විට කටයුතු කළේ ආරක්ෂක අංශ වෙතින් පලාවිත් ජවිපෙට සම්බන්ධ වූ හමුදා භට පිරිස්ය. පුහුණු කඳවුරු මොණරාගල, පොතුවිල්, අම්පාර, ත්‍රිකුණාමලය, හම්බන්තොට, රත්නපුර, දඹුල්ල, මාතලේ, සිංහරාජ, හම්බේගමුව ඇතුළු ප්‍රදේශ ගණනාවක ක්‍රියාත්මක විය. විශේෂ​ෙයන් දකුණේ කැලෑබදවද රජරට රක්ෂිතයන්හිදීද, ශ්‍රී පාදයේ එරත්න දිසාවේද සහ මාතලේ නකල්ස් පිහිටා තිබූ කඳවුරු වඩාත් හොඳින් ක්‍රියාත්මක විය. පුහුණු කඳවුරු භාරව වික්‍රම, ආතර්, දිනේෂ් ඇතුළු කිහිප දෙනෙක්ම විය.  

ජවිපෙ කැරලිකරුවන්ට එම වකවානුව තුළදී විදේශ රටවලින් පුහුණුවක් ලැබූ බවට නිල වාර්තා නොතිබුණද රහස් තොරතුරුවලින් හෙළි විය. දේශීය වශයෙන් මාන්කුලමේ සිට මන්නාරම් පාරේ යනවිට කුංජිකුලම් එල්.ටී.ටී.ඊ කඳවුරේද, ප්ලොට් සංවිධානයේ වව්නියාවේ ඇතුළු කඳවුරු 2කද ජවිපෙ කැරලිකරුවන් පුහුණුව ලබාගෙන තිබුණේ මුදල් ගෙවමිනි. විශේෂයෙන් බිම් බෝම්බ තාක්ෂණය මෙහිදී හැදෑරූ බව කියති. සංවිධානයේ පැවැත්ම සහ ප්‍රවීණත්වය සඳහා ජවිපෙ විසින් දෙමළ බෙදුම්වාදීන් ගේ ශක්තිය ලබාගත් නමුත් ඔවුනට හීලෑ නොවූවකු බව ප්ලොට් සංවිධානයේ නායක උමා මහේෂ්වරන් 1988 අප්‍රේල් මස 16 වැනිදා වැල්ලවත්ත රොක්සි සිනමාහල අසල නිවසකදී ලේඛකයා සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය. විදේශීය වශයෙන් කැරලිකරුවන් දෙදෙනෙකු ලෙබනන්හි පලස්තීන විමුක්ති සංවිධානයේ පුහුණුව එතෙරදී 1985දී ලබාගත් බව කියනු ලැබේ. ඉන් එක් අයෙකු ලෙස එච්.බී. හේරත් හැඳින්වේ. පිලිපීනයේ මින්දානෝ දූපත්වල සන්නද්ධ කණ්ඩායම් යටතේ පුහුණුවට 1989 කැරලිකරුවන් කණ්ඩායම් 2ක් ගිය අතර මෙය සෝමවංශ අමරසිංහ ගේ මැදිහත්වීම මත සිදුවූවකි.  

ජවිපෙ සන්නද්ධ අංශය මගින් 1989 අගෝස්තු 22න් පසු හමුදා සෙබළුන්ගේ පවුල් ඝාතනය ඇරඹිය. එය රට පුරා එක් සතියක් තුළ ස්ථාන 25කදී සිදුවිය. ඉතා සුළු පිරිසක් ඉල්ලා අස්වූවද සියයට 99 ක පමණ පිරිසක් සේවයේ නිරතව සිටියහ. ආරක්ෂක හමුදා පවුල් ලොකු කුඩා භේදයකින් ඥාති නිවෙස්වලට සහ ආරක්ෂක හමුදාව මගින් විශේෂ ස්ථානවල පිහිටුවන ලද හමුදා කදවුරුවලට යොමුවිය. මෙය ජවිපෙට මෙතෙක් අනුකම්පාවක් දැක්වූ බහුතර හමුදා සෙබළුන්ගේ ප්‍රබල කෝපයට ලක්වූ අතර ඔවුන් ජවිපෙ මරාගෙන මැරෙන මෙහෙයුමකට ඉබේම තල්ලු වී ගියේය.

ඡායාරූපය
අවි පැහැරගැනීමට එක් වූ මුල් පෙළේ කැරලිකරුවන් කිහිපදෙනෙක්. වමේ සිට මහරගම දඹහේනේ සුගත් පුෂ්පකුමාර, හෝකන්දර හඳගම තිලක් කුමාරතුංග, සූරියවැව ගුණේ, කළුතර පයාගල ටාසන් වීරසිංහ හෙවත් හේරත් සහ අකුරැස්සේ ආරියපාල කොඩිතුවක්කු.

ජවිපෙට සම්බන්ධ බවට සැක කරමින් ආරක්ෂක අංශවල සහ පොලිසියේ භට පිරිස්ද අත්අඩංගුවට ගෙන හමුදාව මගින් විශේෂිත රැඳවුම් කඳවුරුවල රඳවාගෙන තිබිණි. හමුදා භටයින් සඳහා එවැනි කඳවුරු 2 ක් පනාගොඩ හමුදා කඳවුරේ ගල් පල්ලියේ සහ මින්නේරිය හමුදා කඳවුරේ විශේෂ රැඳවුම් ඒකකයක් වශයෙන් ක්‍රියාත්මක වූ මින්නේරියේ වසා දැමූ පේෂකර්ම ආයතනයේ පිහිටුවා තිබිණි. එහි සැකපිට රඳවා සිටි හමුදා භටයින් ගණන 121 කි. එසේ අත්අඩංගුවට ගත් හමුදා භටයින්ට තාඩන පීඩන සිදුකිරීම සම්බන්ධයෙන් මින්නේරිය හමුදා කඳවුරේ ඇතැම් නිලධාරින් සහ භටයන්ට එරෙහිව කැරලිකරුවන්ගෙන් චෝදනා එල්ල විය. එවැනි චෝදනාවට ලක් වූ මින්නේරිය හමුදා කඳවුරේ භටයින් දෙදෙනෙකු වූ බී.එස්.එස්. පෙරේරා (25) සහ ඩබ්ලිව්. ධර්මපාල (21) 1989දී කැරලිකරුවන් විසින් මින්නේරිය නගරයේදී රාත්‍රී 8.30ට පමණ කළ වෙඩි තැබීමකින් මරුමුවට පත්විය. ඒ පිළිබඳව මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කරන ලද්දේ පොළොන්නරුව දිසා විනිසුරු රංජිත් සිල්වා විසිනි. ජවිපෙ යැයි සැකකළ හමුදා භටයින් රැඳවූ මින්නේරිය යුද හමුදා කඳවුරේ විශේෂ ඒකකය 1990 ජුනි 18 වසා දමා එහි සිටි ඇතමුනට එරෙහිව හමුදා නීතියට අනුව කටයුතු කරන ලද අතර සෙසු අය පනාගොඩ හමුදා මූලස්ථානයට එවන ලදී. එම කාලය තුළ ජවිපෙට සම්බන්ධ යැයි චෝදනා ලැබූ ත්‍රිවිධ හමුදාවේ 174 දෙනෙක් පමණ සේවයෙන් පහකර තිබිණි.  

ජවිපෙ කැරලිකරුවන්ට සහාය දැක්වූ බව කියමින් ආරක්ෂක අමාත්‍යංශය මගින් අත්අඩංගුවට ගත් ඉහළම නිලධාරියෙකු වූයේ යුද හමුදාවේ කපිතාන් ධර්මසිරි නිශ්ශංකය. කොළඹ තර්ස්ටන් විදුහලේ අධ්‍යාපනය ලත් නිශ්ශංක 1961 අප්‍රේල් 23 උපන්නෙකි. සෝමවංශ අමරසිංහට රැකවරණය දුන් බවට සහ ඉන්දියාවට පලායෑම සඳහා උදව් කළ බවට ඔහුට එල්ල වූ චෝදනාව විය. වසර 4කට ආසන්න කාලයක් අත්අඩංගුවේ සිටි කපිතාන් ධර්මසිරි නිශ්ශංක 2017 වෙනවිට ජෝර්දානයේ ඇඟලුම් කම්හලක විධායක රැකියාවක නිරත විය.  

කැරැල්ල නිමාවෙන් පසු එනම් 1990 මාර්තු යවන විට ආරක්ෂ අංශවලින් කැරලිකරුවන් පැහැර ගන්නා ලද ටී 56 ගිනිඅවි 172ක්, එස්.එම්.ජී. අවි 2, රිපීටර් තුවක්කු 162, පතොරම් තුවක්කු 250, ගල් කටස් 1257, පිස්තෝල 63ක්, රිවෝල්වර 54ක් සොයා ගත් බව ආරක්ෂක අමාත්‍යාංශය හෙළි කළේය.

ඡායාරූපය
අවි පැහැරගැනීමට එක්වූ මුල්පෙළේ කැරලිකරුවන් කිහිපදෙනෙක්. වමේ සිට ත්‍රිකුණාමලය කල්ලාර් හමුදා කඳවුරෙන් අවි පැහැරගැනීමේදී ඝාතනයට ලක්වූ මීගස්වැව කුඹුකුණාවල පදිංචි වර්ණපුර හෙවත් තඩි මහින්ද, රද්දොළුගම කේ.ආර්. ශාන්තිකුමාර්, මීගමුව කුරණ වික්‍රමසිංහ ආරච්චිගේ ජස්ටින් පෙරේරා. කෑගල්ලේ දිසානායක මුදියන්සේලාගේ ගුණරත්න සහ පිළියන්දල ආගිරිස් කොස්තා.  


ආරක්ෂක අමාත්‍යංශ තොරතුරු අනුව කැරලිකරුවන් විසින් පැහැරගත් සොයා ගැනීමට නොහැකි වූ විශාල අවි ප්‍රමාණයක්ද 1990 අවසානය වනවිට විය. එසේ සොයා නොගත් අවි අතර ටී 56 අවි 78, එස්.එල්.ආර්. 60, එස් 84 අවි 36, එස්.එම්.ජී. 13, ටී 81 අවි 8, එල්.එම්.ජී. අවි 11, එෆ්.එන්.සී 6, එම්.පී. 5 අවි 3, එස්.ඒ.ආර්. 4, පිස්තෝල 2, රිවෝල්වර 31, 22 රයිෆල් 11, 303 රයිෆල් 360, රිපීටර් 305, ෂොට්ගන් 223ක් ඇතුළු අවි 2,136ක් විය. බොහෝ විට සිදු වූයේ අත්අඩංගුවට පත් කැරලිකරුවන්ගේ තොරතුරු මත අවි ආයුධ සැඟවූ තැන්වලින් සොයාගැනීමය.  

කැරැල්ලේ පරාජයෙන් පසු අවසාන කාලයේ ඉතිරිව සිටි කැරලිකරුවන් ගණනාවකට එරෙහිව නීතිපති විසින් නඩු පවරන ලද්දේ 1993 වසරේදීය. කොළඹ මහාධිකරණ බලසීමාව තුළ විභාගයට ගත් නඩු බොහෝමයක පැමිණිලි ඉදිරිපත් කර තිබුණේ කොළඹ 7 ආරක්ෂක සම්බන්ධීකරණ කොට්ඨාසය මගිනි. ඒ සඳහා පැමිණිල්ලේ සාක්ෂිකරුවන් ලෙස ඉදිරිපත් වූයේ සහකාර පොලිස් අධිකාරි කේ.ඩී.එල්. දල්පතාදු, පොලිස් පරීක්ෂක ඇල්ෆ්‍රඩ් අල්විස්, උපපොලිස් පරීක්ෂකවරුන් වූ පියදාස, මුණසිංහ, මෙන්ඩිස්, කදුරුගමුව සහ පොලිස් කොස්තාපල් උපාලි විසිනි. නඩු භාණ්ඩ වශයෙන් පාපොච්චාරණ, පතරොම්, උණ්ඩ, තුවක්කු ඉදිරිපත් කර තිබිණි.  
මෙම නඩු බොහෝමයක් ඩී.බී. විජේතුංග ජනාධිපති වූ පසු සාක්ෂි ප්‍රමාණවත් නැතැයි කියමින් නීතිපතිවරයා විසින් ඉල්ලා අස්කර ගන්නා ලදී. ජවිපෙ යළි 1994 මහ මැතිවරණයේදී දේශපාලන ප්‍රවේශයට ගැනීම සඳහා ජනාධිපති ඩී.බී. විජේතුංග විසින් එම ක්‍රියාමාර්ගය ගනු ලැබීය.  

දෙවැනි කැරැල්ලට ක්‍රියාකාරීව සම්බන්ධ වූ සන්නද්ධ කැරලිකරුවන්ගෙන් අවසානයේදී ජීවත්වීමට හැකි වූයේ සීයට 25ක පමණ පිරිසකට පමණි. සෙසු සියලු දෙනා කැරැල්ලේදී සහ අත්අඩංගුවේදී ඝාතනයට පත්විය. ඉතිරි සියයට 25න් සියයට 15ක් පමණ විදේශීය වශයෙන්ද සියයට 7 ක් පමණ දේශීයව අප්‍රකටවද වාසය කරයි. වසර 2017 වෙනවිට දේශපාලනයේ ක්‍රියාකාරීව නිරත වෙන්නේ 2 වැනි කැරැල්ලේ සන්නද්ධ කැරලිකරුවන්ගෙන් සියයට 3 ක පමණ පිරිසක් වේ. විදේශ රැකවරණය ලබමින් පලාගිය සන්නද්ධ කැරලිකරුවන්ගෙන් බහුතරයක්ම වාගේ ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ කිහිපයක් සමඟ සම්බන්ධතා පවත්වාගෙන යමින් පවතී.  
කැරැල්ල ආරම්භ වෙන විට යුද හමුදාපති වූයේ ලුතිනන් ජෙනරාල් නලීන් සෙනෙවිරත්නය. ඔහු 1985 සිට 1988 දක්වා එම තනතුර දැරූ අතර 1988 සිට 1991 දක්වා යුද හමුදාපති වූයේ ලූතිනන් ජෙනරාල් හැමිල්ටන් වනසිංහය. පසුව 1991 සිට 1993 දක්වා හමුදාපති වූයේ ජවිපෙ කැරැල්ලට එරෙහිව 1989 අගෝස්තු 04 ඒකාබද්ධ මෙහෙයුම් ඒකකය පිහිටුවා එහි නායකත්වය ගත් එවකට හමුදා කාර්ය මණ්ඩල ප්‍රධානී මේජර් ජනරාල් සිසිල් වෛද්‍යරත්නය.

ඡායාරූපය
යාල කැලේ අවගැටියාව කන්දේ කැරලිකරුවන්ගේ ආයුධ ගබඩාකර තිබූ ගල් ගුහා කිහිපයක්. මුර ක්‍රමයට 1989 මැද භාගයේදී බලාගන්නා කැරලිකරුවන් තිදෙනෙක්. මොවුන්ගෙන් දෙදෙනෙකු වර්තමානයේ බස්නාහිර පළාතේ සරසවියක කථිකාචාර්යවරයෙක් සහ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි. දකුණු පස කෙරවලේ තුවක්කුවක් අතැතිව සිටින්නේ තිස්සමහාරාමයේ අමරකෝන්ය. වනජීවි දෙපාර්තමේන්තුවේ රැකවලෙකු ලෙස සේවය කරමින් සිටියදී රැකියාව අතහැර කැරැල්ලට එක්වූ අමරකෝන් පසුව ඝාතනයට පත්විය. මෙම ගුහාවල ටී 56 තුවක්කු 40ක් පමණ, ෂොට්ගන් 91, ග්‍රනේඩ් බෝම්බ 330ක් ගබඩාකර විවිධ ප්‍රදේශවලට අවශ්‍යතා පරිදි බෙදාහැරි බව කියති. යාල හීන්කැලේ සිට කිලෝමීටර් 3ක් පමණ අඩිපාරක් ඔස්සේ ගිය විට ස්ථානයට ළඟාවිය හැක.  

ඉන් පසුව හමුදාපතිවරුන් වශයෙන් පත්වූ ලූතිනන් ජෙනරාල් ජෙරී සිල්වා (1993-96), ලුතිනන් ජෙනරල් රොහාන් දලුවත්ත (1996-98), ලුතිනන් ජෙනරල් ශ්‍රී ලාල් වීරසූරිය (1998-2000), ලුතිනන් ජෙනරල් ලයනල් බලගල්ල (2000-04), ලුතිනන් ජෙනරල් ශාන්ත කෝට්ට්ගොඩ (2004-05), ලුතිනන් ජෙනරල් සරත් ෆොන්සේකා (2005-09), ලුතිනන් ජෙනරල් ජගත් ජයසූරිය (2009-2013), ලුතිනන් ජෙනරල් දයා රත්නායක දක්වා සියළු දෙනා ජවිපෙ 2 වැනි කැරැල්ල මැඩපැවැත්වීමට ක්‍රියාකාරීව දායක වූ අය වෙති.  

ජවිපෙ 2 වැනි කැරැල්ලේදී පොලිස් ස්ථාන සහ හමුදා කඳවුරුවලට 1987 සිට 1989 දක්වා ජවිපෙ කැරලිකරුවන් කඩාවැදී ප්‍රහාරයන් සිදුකොට එම ස්ථානවලින් ගිනිඅවි පැහැරගත් ආකාරය මෙසේ දැක්විය හැකිය.  
ජවිපෙ කැරලිකරුවන් විසින් පොලිස් ස්ථාන/ හමුදා කඳවුරුවලින් ගිනිඅවි පැහැරගත් ආකාරය 1987 අප්‍රේල් 15 නුවර පල්ලේකැලේ හමුදා කඳවුර ටී 56 ගිනිඅවි 12, සබ් මැෂින් ගන් 07 පැහැරගනු ලැබීය. පැමිණි කැරලිකරුවන් ගණන 14කි. ඉන් 8ක් පේරාදෙණිය සරසවියේ ඉංජිනේරු, වෛද්‍ය, දන්ත වෛද්‍ය, පශු වෛද්‍ය සහ කෘෂි පීඨ සිසුන්ය. එහි නායකත්වය ගත්තේ හිටපු ගුවන් හමුදා සෙබළ වනවාසල ලොකු මහින්දය.  
1987 අප්‍රේල් 15 අනුරාධපුර යාපනය මාර්ගයේ සාලියපුර හමුදා කඳවුර ආරක්ෂක අංශ ප්‍රතිප්‍රහාර නිසා ප්‍රහාරයට පැමිණි කණ්ඩායම පලාගොස් තිබිණි. 1987 අප්‍රේල් 15 වැල්ලවාය කුඩාඔය හමුදා කඳවුර ප්‍රහාරය මුළුමනින් මැඩපැවැත්වීමට ආරක්ෂක අංශය සමත්විය. කැරලිකරුවන් 9ක් මරුමුවට පත්විය. 1987 අප්‍රේල් 15 ගාල්ල කොටුව හමුදා කඳවුර මීටියාගොඩ පොලිසිය අසල මාර්ග බාධකයකදී ප්‍රහාරයට පැමිණි කැරලිකරුවන් කණ්ඩායමක් අත්අඩංගුවට පත්විය. කැරලි නායකයා ග්‍රාමාරක්ෂකයින්ට පහරදී පොලිසියෙන් පැනගිය අතර අත්අඩංගුවේ සිටි පිටිගල පියල් විජේසිංහ, කුමාරලාල් මානවඩු, මල්ලියාවඩු ඇතුළු පිරිසට මාස 3කට පසු ඇප ලබාදෙන ලදී. එදිරිවාදී කණ්ඩායමක පිරිසකට පහරදීමට ගිය බව ඔවුහු එහිදී ප්‍රකාශකර තිබිණි.  

ඡායාරූපය
කැරැල්ල අවසාන භාගයේ කැරලිකරුවන් සොයා වැලිමඩ, නුවරඑළිය ප්‍රදේශයන්හි සැරිසරන හමුදා කණ්ඩායමක පිරිසක්. මංජුල මනතුංග, අතුල කොඩිප්පිලි, ලසන්ත සමරකෝන්, නිශාන්ත ගජනායක, ඇතුලත්මුදලි, තුවාන් නිෂාම් මුතාලිෆ් සහ දේවමිත්‍ර දිසානායක වේ.


වසර 1987 ජුනි 07 කටුනායක ගුවන් හමුදා කඳවුරට එල්ල කළ ප්‍රථම ප්‍රහාරය කණ්ඩායම් 8 වශයෙන් කැරලිකරුවන් 65 ප්‍රහාරයට එක් විය. ටී 56 ප්‍රහාරක රයිෆල් 14, උපයාන්ත්‍රික තුවක්කු 53, සැහැල්ලු යාන්ත්‍රික තුවක්කු 2, පිස්තෝල 6, පතොරොම් 3,300ක් පැහැරගනු ලැබීය. කැරලිකරුවන් වූ තණමල්විල රණසිංහ, පිටබැද්දර මල්පුදනඇල්ලේ ගුණපාල සහ අකුරැස්සේ ආරියපාල කොඩිතුවක්කු මරුමුවට පත් විය. එහි නායකත්වය ගත්තේ මධ්‍යම කාරක සභික ඊශ්වරගේ ආරියසේනය. 1987 ජුනි 07 රත්මලාන කොතලාවල ආරක්ෂක පීඨය ටී 56 තුවක්කු 15, සබ් මැෂින් ගන් 15, සැහැල්ලු එල්.එම්.ජී තුවක්කු 2ක්, මැෂින් තුවක්කුවක් සහ පතොරොම් විශාල තොගයක් පැහැරගනු ලැබීය. කැරලිකරුවන්ගේ වෙඩිතැබීමකින් හමුදා භට සිරිල් එදිරිසිංහ (22) මරුමුවට පත් විය. එහි නායකත්වය ගත්තේ තිස්සමහාරාමයේ සරත්ය.  

ඡායාරූපය 1

අතුරුගිරිය වානේ සංස්ථාවේ හමුදා මුරපොළේ භටයින්ට වෙඩිතබා එහි අවි පැහැරගෙන යෑමට තැත්කළ එහිම සේවය කරන සෙබළෙකු වූ එච්.ආර්. රංජිත් හමුදා වෙඩි පහරින් මරුමුවට පත්ව සිටි අයුරු. රංජිත්ගේ වෙඩි පහරින් හමුදාවේ තිදෙනෙක්ද මරුමුවට පත්වූහ.

ඡායාරූපය 2

අවි පැහැරගැනීමට නායකත්වය දුන් මුල් පෙළේ කැරලිකරුවන් කිහිපදෙනෙක්. වමේ සිට මධ්‍යම කාරක සභික රාගම හලන්දාරුවේ උපන් සමරප්පුලිගේ සෝමසිරි හෙවත් රාගම සෝමේ, හම්බන්තොට ගුණසේන වර්ණපටබැඳි, වැලිසර යූස්ටස් දිලිප් චන්ද්‍ර ප්‍රනාන්දු හෙවත් පතී, ලබුකැලේ කළුආරච්චි ටී.එස්. දේවානන්ද හෙවත් මහේෂ් සහ ගම්පහ ෂෙල්ටන් රාජපක්ෂ.

"ජවිපෙ දෙවැනි කැරැල්ල"
ධර්මන් වික්‍රමරත්න

 **මතුසම්බන්ධයි**



ඇඩ්මින් - Dissa ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network