‘සමලිංගික’ විෂය පෙර පාසැල් හා පාසැල් පද්ධතියට ඇතුළු කිරීමට රජය එකග වේ sriavtvnetwork news

‘සමලිංගික’ විෂය පෙර පාසැල් හා පාසැල් පද්ධතියට ඇතුළු කිරීමට රජය එකග වේ..

                  

බුද්ධාගම, කතෝලික යන ආගම්වලින් ද මෙරට නීතියෙන් ද ප්‍රතික්ෂේප කොට ඇති සමරිසි චර්යාවන් පෙර පාසලේ සිට උගන්වන්නට ජාතික එකඟතාවක් (National Commitment) ලබා දුන්නේ කවුදැයි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ කපිල ගමගේ මහතා ප්‍රශ්න කර සිටී.
පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක දී ඒ මහතා මෙසේ ප්‍රශ්න කර සිටියේය.
එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ නීතිඥ කපිල ගමගේ මහතා මෙසේ ද ප්‍රකාශ කළේය.
“පෙර පාසල් සහ පාසල් දරුවන්ගේ විෂය නිර්දේශයට අලුත් විෂයක් ඇතුළත් කරන්න යන බවට මේ දිනවල සංවාදයක් ඇති වී තිබෙනවා. මේ කටයුත්ත මෙහෙයවනු ලබන්නේ ‘තින්ක් ඊක්වල්’ (Think Equal) නමැති සංවිධානයක් බව ද ඉංග්‍රීසි පුවත්පත් කිහිපයකම වාර්තා කොට තිබෙනවා.
මේ ‘තින්ක් ඊක්වල්’ සංවිධානය කියන්නේ, ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක වන, සමරිසි අයිතීන් (LGBT rights) වෙනුවෙන් පෙනී සිටින, ඒ බව පැහැදිලිව ප්‍රකාශ කරන සංවිධානයක්. අපට දැන ගැනීමට ලැබී ඇති ආකාරයට එම සංවිධානය විෂය නිර්දේශයට එකතු කිරීමට හදන කරුණුවලට ශ්‍රී ලංකා රජය එකඟ වී තිබෙනවා. එසේම එම ව්‍යාපෘතිය සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලය අනුග්‍රහය දක්වනවා.
Think Equal අරමුණ
අපි දැන් බලමු, මේ ‘තින්ක් ඊක්වල්’ සංවිධානයේ අරමුණ කුමක්ද, කියා. ඔවුන් පිළිබඳව Daily Mirror පුවත්පත පළ කළ විශේෂාංග ලිපියක් ඇසුරෙන් මා එය පැහැදිලි කරන්නම්. ඔවුන්ගේ මූලික අරමුණ වී ඇත්තේ ‘ලිංගිකමය වශයෙන් වෙනස් වන අයගේ අයිතීන්’ (Lesbian, Gay, Bisexual and Transgender rights) වෙනුවෙන් පෙනී සිටීම, ඔවුන්ට මේ සමාජයේ සම අයිතිය, අවස්ථාව ලබා දීමට කටයුතු කිරීම.
‘පාසල්වලට අලුත් විෂයක්’
මෙම සංවිධානයේ වෙබ් අඩවියේ පළමු පිටුවේ තිබෙන්නේ ‘Think Equal – A New Subject In Schools‘ කියන ලිපියයි. ඒ අනුව ඔවුන් පෙර පාසල් සහ පාසල් දරුවන්ට අලුත් විෂයක් හඳුන්වා දීමට හදන බව පැහැදිලියි. එතැනදී ඔවුන් ඍජුව කියන්නේ නැහැ ‘අපි සමරිසි අයිතිය විෂයක් විදිහට පාසල්වලට හඳුන්වා දෙනවා’ කියා. එය ඔවුන් කියා ඇත්තේ වෙනත් වචනවලින්. යම් යම් මානව ගුණාංගයන් (Develops Empathy, Critical Thinking Skills… etc) පිළිබඳ පැහැදිලි කරමින් තමයි ඔවුන් මේ නව විෂය හඳුන්වා දෙන්න හදන්නේ. ඒ වගේම ඔවුන් පවසනවා, ‘අපි මේ විෂය හඳුන්වා දීමට රටවල් 15කින් ජාතික එකඟතාව ලබා ගෙන තිබෙනවා’ (Think Equal have already secured national commitments from 15 countries) කියා. ඒ රටවල් 15ට ශ්‍රී ලංකාව ද ඇතුළත් බව එහි කියැවෙනවා. එසේම මේ නව විෂය ඉගැන්වීම සඳහා නියමු වැඩසටහන් (Pilot Programmes) ඇරඹීමට නියමිත රටවල් 7ට ශ්‍රී ලංකාව ද ඇතුළත් බව ‘Think Equal’ වෙබ් අඩවිය පෙන්වා දෙනවා.
ජාතික එකඟතාව ලබා දුන්නේ කවුද?
මෙතැනදී අපට වැදගත් ප්‍රශ්නයක් මතු වෙනවා. ඒ තමයි ‘මෙවැනි විෂයක් ශ්‍රී ලංකාවේ පෙර පාසල්වලට සහ පාසල්වලට හඳුන්වා දීමට ජාතික එකඟතාව (National Commitment)ලබා දුන්නේ කවුද?’ කියා. ඒ වගේම ‘Think Equal’ සංවිධානයේ වෙබ් අඩවියේ සඳහන්ව ඇති කරුණු, Daily Mirror පුවත්පතේ පළව ඇති තවත් විශේෂාංග ලිපියකින් වැඩිදුරටත් තහවුරු කර තිබෙනවා. ‘අපි මේ විෂය හඳුන්වා දීමට ඉලක්ක කර ගන්නේ පෙර පාසල්වල වයස අවුරුදු 03 සිට 07 දක්වා සිසුන්වයි’ (We are targeting pre-schools with children between ages 3-7) කියා එහි සඳහන්.
‘අග්‍රාමාත්‍ය කාර්යාලයේ පහසුකම් සැපයීම’
ඒ වගේම ඉහත ලිපියෙහි තවත් තැනක තිබෙනවා, ‘මේ කටයුත්ත සඳහා ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය කාර්යාලය පහසුකම් සපයනවා’ (While in Sri Lanka I will be supporting the local programme and the entire effort will be facilitated by the Prime Minister’s office) කියා. ඒ අනුව ඉතා පැහැදිලියි. ජාතික එකඟතාවයකින් යුතුව, අග්‍රාමාත්‍ය කාර්යාලයේ පහසුකම් සැපයීම මත මේ නව විෂය මේ රටේ පෙර පාසල් හා පාසල්වල ඉගැන්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව.
ඔවුන් මේ උගන්වන්නට යන විෂය තුළ ‘සමරිසි අයිතීන්’ (LGBT rights) වැනි වචන පාවිච්චි කරන්නේ නැහැ. ඔවුන් ඒ සඳහා පාවිච්චි කරන්නේ වෙනත් වචනයි. ළමයින් සහ මිනිසුන් තුළ තිබෙන මානව ගුණාංගවලට (Human Values) අදාළ වචන ඊට යොදා ගන්නවා. කවර වචන හරඹයක් තුළින් වුවත් මේ විෂය හඳුන්වා දෙන්නේ LGBT rights වෙනුවෙන් පෙනී සිටින Think Equal සංවිධානය බව අප වටහාගත යුතුයි.
අපි වචන හරඹ නිසා බොහෝ අවස්ථාවල අමාරුවේ වැටුණා. ‘යහපාලනය’ කියන වචනය හොඳ දෙයක්. නමුත් යහපාලනය නාමයෙන් මේ රටට ලැබුණේ හොඳ දෙයක් නොවෙයි.‘තොරතුරු දැන ගැනීමේ අයිතිය’ කියන වචන හොඳ දෙයක්. නමුත් තොරතුරු දැන ගැනීමේ පනත නිසා පහසුවෙන් දැනගත හැකි තොරතුරුවලටත් සම්බාධක පැනවුණා. මෙතැනදී වෙන්නේ මානව ගුණාංග කියන වර්ගීකරණයට අයත් වචන ටිකක් යොදා ගෙන සමලිංගික අයිතීන් හා වෙනත් විෂමලිංගික අයිතීන් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායමක් වන Think Equal, තමන්ගේ න්‍යාය පත්‍රයක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීම. එම කණ්ඩායමේ අරමුණ සමඟ බැලුවම ඔවුන් මේ නව විෂය හඳුන්වා දෙන්නේ සිසුන් තුළ යහපත් මානව ගුණාංග ඇති කිරීමට කියා කිසිසේත්ම පිළිගන්න බැහැ.
‘මේ විෂය රටේ අනාගතයට බලපාන්නේ කෙසේද?’
සමරිසි චර්යාවන්හි යෙදෙන පිරිස්වලට අදාළව මෙවැනි ඉගැන්වීමක් සිදු කළා නම් අපට ගැටළුවක් නැහැ. ඒ වගේම පැහැදිලිව කියන්න ඕනෙ, අපි මෙතැනදී සමරිසි අයිතීන්වලට පක්ෂව හෝ විරුද්ධව නොවෙයි අපේ මේ අදහස් දැක්වීම සිදු කරන්නේ. ඒක අපි මෙතැනදී අදාළ කර ගත යුතු නැහැ. ඒ පිළිබඳව විවිධ මත තිබෙන්න පුළුවන්. නමුත් අපි කථා කරන්නේ, ’සමරිසි අයිතීන් පිළිබඳව පෙනී සිටින කණ්ඩායමක් අග්‍රාමාත්‍ය කාර්යාලයේ ද අනුග්‍රහය ඇතිව අවුරුදු 03 සිට 07 දක්වා දරුවන්ට ඉගැන්වීමට හදන විෂය, මේ රටේ අනාගතයට කෙබඳු ආකාරයට බලපාවි ද?’ කියන කාරණය.
‘බුද්ධාගමෙන් – කතෝලික ආගමෙන් – නීතියෙන්’
බෞද්ධ දර්ශනයේ පන්සිල්, විනය සූත්‍රවල මේ සමරිසි චර්යාවන් ගැන කතා කොට ඇත්තේ සෘණාත්මක අර්ථයෙන්. ඒ වගේම කතෝලික ආගමේ දස පනතින් සමරිසි චර්යාව ගැන කතා කොට ඇත්තේ ද සෘණාත්මක අර්ථයෙන්. මේ රටේ දණ්ඩ නීති සංග්‍රහයේ 365 වැනි වගන්තිය ඇත්තේත් මේ සමරිසි අයිතීන්වලට අදාළව සෘණාත්මක අර්ථයෙන්. ඒ වගේම මැල්කම් රංජිත් කාදිනල්තුමන් මේ කාරණය සම්බන්ධයෙන් දැක්වූ අදහසට යුද ප්‍රකාශ කිරීමට ද මේ සමරිසි චර්යාවන් ප්‍රවර්ධනය කරන කණ්ඩායම කටයුතු කොට තිබුණා.
‘කවුද මේ බලවතා?’
මේ සියලු කාරණාවලින් පැහැදිලි වෙනවා, අපේ ආගමික, නෛතික, සංස්කෘතිකමය පැවැත්මට එරෙහිව යමින් තමයි මේ කණ්ඩායම තම ප්‍රවර්ධන කටයුතු කරන්න කියා. ඒ අනුව අපේ රටේ ආගමික, නෛතික, සංස්කෘතිකමය පැවැත්මට එරෙහිව යන කණ්ඩායමක් තමයි වයස අවුරුදු 03 සිට 07 දක්වා දරුවන්ට මේ විෂය උගන්වන්න හදන්නේ. ඒ වගේම අපේ රටේ ආගමික, නෛතික, සංස්කෘතිකමය පැවැත්මට එරෙහිව වන කණ්ඩායමකට තමයි අග්‍රාමාත්‍ය කාර්යාලය මෙසේ අනුග්‍රහය දක්වන්නේ. ඒ වගේම අපේ රටේ ආගමික, නෛතික, සංස්කෘතිකමය පැවැත්මට එරෙහි කණ්ඩායමක යෝජනාවකට තමයි අපේ රටේ කවුරුන් හෝ ඉහළ බලධරයෙකු ‘ජාතික එකඟතාව’ (National Commitment) ලබා දී තිබෙන්නේ.
‘මේ එන්නේ මොකාටද?’
මේ ආණ්ඩුව මේ එන්නෙ මොකාටද? අපි දන්නවා, මේ ආණ්ඩුව මේ රටේ පූජ්‍ය පක්ෂයට වෛර කරනවා. අපි දන්නවා, මේ ආණ්ඩුව මේ රටේ රණවිරුවන්ට වෛර කරනවා. ඔවුන් මේ රටේ ආර්ථික මර්මස්ථාන මහ දවල් මංකොල්ලකමින් ආර්ථිකයට වෛර කරනවා. දැන් මේ නරුම ආණ්ඩුවේ ඒ වෛරය මේ රටේ අනාගත දරු පරම්පරාව දක්වා දිවෙනවා. ඒ දිවෙන වෛරය ප්‍රකාශ වීමක් ලෙසයි අපි මෙය දකින්නේ. අපි විශ්වාස කරනවා ‘මේ තත්වයට ඉඩ දී නිහඩ විය යුතු නැහැ’ කියා. ඒ නිසා මේ රටට වෛර කරන ආණ්ඩුව ගෙදර යැවීම හැර අපට වෙනත් විකල්පයක් නැහැ.
‘අපේ දරුවන් පරීක්ෂණාගාර මීයන් ද?’
අනෙක මේ නව විෂය ඉගැන්වීම නියමු වැඩ වැඩසටහනක් (Pilot Programme) ලෙසයි සිදු කරන්නේ. එය සාර්ථක හෝ අසාර්ථක වීම විමසා බලන්නේ තව වසර 20කින්. අපේ දරු පරපුර පරීක්ෂණාගාර මීයන් ලෙස යොදා ගෙන සිදු කරන පරීක්ෂණය අසාර්ථක වුවහොත් ඒ වාර්තාව අර ගෙන මේ කණ්ඩායම අපේ රටෙන් යාවි. නමුත් එදාට අපේ අනාගත තරුණ පරපුර එම අසාර්ථක පරීක්ෂණයේ ගොදුරු බවට පත්වෙනවා. අතීතයේ සිට බටහිරයන් අපේ යහපැවැත්මට වින කළා. මෙයත් එවැන්නක් මිස වෙන යමක් නොවෙයි”
මෙම මාධ්‍ය හමුවට ‘අනාගතයේ අපි’ තරුණ ව්‍යාපාරයේ ජාතික සංවිධායක සහන් අබේසේකර, ත්‍රිකුණාමල දිස්ත්‍රික් සංවිධායක සුනිල් අමරසිංහ, කඩුවෙල නාගරික මන්ත්‍රී ශෂී පෙරේරා යන මහත්වරු ද එක් ව සිටියහ.
අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network