"මහවත්තේ චමින්ද" සහ චමින්දගේ කතාව....
************
මේ පිංතූරේ මාත් එක්ක ඉන්නේ චමින්ද. චමින්දව කවුරුත් දන්නේ "මහවත්තේ චමින්ද" කිව්වොත් තමයි.
"මහවත්තේ චමින්ද" කුන්ඩසාල ප්‍රාදේශීය සභාවේ හිටපු ජවිපේ මංත්‍රීවරයා.
ජවිපෙන් අයින් කල මහවත්තේ චමින්ද මේ සැරේ ස්වාධීනව කුන්ඩසාලෙට චන්දේ ඉල්ලනවා.
(චමින්දගේ කතාව තමයි මං දැන් කියන්න යන්නේ)
කුන්ඩසාලේ මහවත්‍ත ගම තමයි ජවිපේ දෙවන කැරුල්ලේදි ලංකාවේ වැඩිම පිරිසක් සමූල ඝාතනය වූ ගම. වැඩිම පිරිසක් එකම තැන ඝාතනය වූ තැන ඉදලා තමයි මං මේ පිංතූරේ ගත්තේ.
**********
චමින්දව මං අදුනන්නේ 1989 මුල් කාලේ විතර ඉදන්. ඒ රටම වෙලාගත් භීෂන කාලේ. අපි දෙන්නම එතකොට පාසල් ශිෂ්‍යයෝ. එතකොට චමින්ද ජවිපේ මෙහෙයපු "ජාතික ශිෂ්‍ය සටන් මධ්‍යස්තානයේ" නායකයෙක්.
1989 සංහාරයෙන් පස්සේ චමින්ද ගැන කිසිම තොරතුරක් මට ආරංචි වෙන්නෙ නෑ. ඒත් චමින්දව ආයිමත් දෙදාහේ මුල් කාලේදි මට හමුවෙනවා. චමින්දව නැවත මට හමුවන්නේ හරිම පුදුම විදිහට. හරිම අහඹු ලෙස.
**********
එතකොට මගේ බිරිද මහනුවර රෝහලේ වෛද්‍යවරියක්. මං මහනුවර අධිකරනයේ නීතිඥයෙක්. දවසක් වැඩ ඉවරවෙලා හවසක මං බිරිදව ගන්න නුවර ඉස්පිරිතාලෙට යනවා
මං මගේ වාහනේ නවත්තන්නේ නුවර ඉස්පිරිතාලේ සර්ජිකල් වොර්ඩ් එක ලග ගහක් යට. එතකොට මං දකිනවා සර්ජිකල් වෝඩ් එක ලග "මෙඩිකල් ස්ටුඩන්ට්ස්" ලගේ කැන්ටිමේ කැෂියර් එකේ ඉන්න කෙනා තියුණු විදිහට මං දිහා බලන් ඉන්නවා. මෙහෙම ඉදලා එයා එලියට එනවා. එයා මගේ ලගට ඇවිදගෙන එනවා.
"ඔයා කිංස්වුඩ් එකේ ඉගෙන ගත්ත හිරන්‍ත නේද?" එයා මගෙන් එහෙම අහනවා.
මගේ මුල් නමින් අමතන රෝහල් කැන්ටිමේ මුදලාලි දිහා මං විමතියෙන් බලන් ඉන්නවා.
"ඔබතුමාට මාව මතකද?" ඒ ඔහු.
මං නිහඩ නිසා එයා ආයිමත් කතා කරනවා.
"මං තමයි මහවත්තේ චමින්ද දැන් මාව මතකද?
ඕ*ත සහොදරයා ඔබතුමා ගැන මට ඔක්කොම විස්තර කිව්වා. පක්ෂෙට කරන උදව්වුත් කිව්වා. මං අපේ අයියත් එක්ක එකතු
වෙලා මේ කැන්ටිම කරනවා."
ටයර් සෑයක ආදාහනය උනා කියලා මං හිතාගෙන හිටපු චමින්දව මට දෙවන පාරට නැවත හමු උනේ ඔන්න ඔහොම.
ඊට පස්සෙ දිනපතාම වගේ චමින්දත් මාත් හමුවෙනවා. මාරයාගේ කට ඇතුලටම ගිහිල්ලා මාරයාගේ ප්‍රමාද දෝශයක් නිසා දහපාරක් විතර මාරයාගෙන් බේරුන හැටි චමින්ද මට විටින් විට විස්තර කරනවා.
ඊට පස්සේ; රනිල් වික්‍රමසිංහ අගමැති උන, ගිවිසුමකින් ප්‍රභාකරන්ට ලංකාවෙන් බාගයක් ලියලා දෙන්න හදපු, වසර දෙකේ ආන්ඩුව එලවන්න ජවිපේ චමින්දත් පොදු පෙරමුණේ මාත් චන්ද්‍ර්කාගේ නුවර ජනාධිපති මංදිරේ ඉදන් ක්‍රියාකරනවා. ඊට පස්සේ මහින්ද ජනාධිපති කරන්නත් අපි දෙන්නා එකට කටයුතු කරනවා.
*********
චමින්ද දැන් මැණික්හින්න නගරේ හෝටලයක් කරන සාර්තක ව්‍යාපාරිකයෙක්. හැබැයි මහින්ද ජනාධිපතිවෙලා ජවිපේ මහින්දව අත ඇරියායින් පස්සේ අපි දෙන්නට දෙන්නා දේශපාලනේ කතා කරන්න යන්නෙ නෑ.
ඒත් මං ලංකාවට ගියාම හැම පාරකම චමින්දව මුන ගැහෙන්න අමතක කරන්නෙත් නෑ.
**********
මේ සැරේ ලංකාවට ගිහාම මං චමින්දට කෝල් කලා. පැයකින් විතර චමින්ද එයාගේ ට්‍රේල් බයික් එක අරං අපේ ගෙදර ආවා.
"ඔබතුමාට කතාවක් ලියන්න මං තොරතුරක් පෙන්නන්නම්, බෑ කියන්නෙ නැතුව මාත් එක්ක යන්න එන්න".
මෙහෙම කියපු චමින්ද මාවත් දාගෙන නුවර නගරේ පහුකරන් තැන්නෙකුඹුර පාලම එහෙම පහුකරන් මහවත්ත ගමට ගියා.
"එතකොට ප්‍රේමදාස පාලන කාලේ නුවර ඩීඅයිජී "උඩුගම්පොල."
උඩුගම්පොල මේ ගම සමූල ඝාතනය කරා. ගමේ ගෙවල් 124ක් ගිණි තියලා සුන්නත් ධූලි කලා. මිනිස්සු සිය ගානක් මරලා දැම්මා." චමින්ද කියාගෙන කියාගෙන යනවා.
"මල්ලි මෙහෙ වරෙන්"
මේ පිංතූරේ ගත්ත තැනට ඉස්සරහින් තියෙන ත්‍රීවිලර් පාර්ක් එකේ ඉන්න ටිකක් මහත තරුනෙයෙක්ට චමින්ද අඩගහනවා.
"අපේ ෆොටෝ එකක් ගනින්" චමින්ද ඔහුට කියනවා. ඔහු ෆොටෝ එක ගන්නවා.
"මල්ලි මේ මං දන්න මහත්තයෙක්. උඹලෑ තාත්තටයි බාප්පටයි උනදේ මේ මහත්තයට කියපං" චමින්ද අර තරුනයට කියනවා.
"එතකොට මට අවුරුදු අටයි. අපේ තාත්තවයි බාප්පයි ගමේ මිනිස්සුන්වයි නුවරින් ආපු උඩුගම්පොලගේ ටීම් එකකින් ඉස්සුවා."
"පහුවදා මෙතන තාත්තව වෙඩි තියලා මරලා දාලා තිබුනා. ඒත් බාප්පට තියපු වෙඩිල්ල නිකටෙන් ඇතුල්වෙලා කම්මුල කඩාගෙන ගිහින්. එයා මැරිලා හිටියෙ නෑ."
"අපි උදේ යනකොට එයා කෑ ගහනවා. වතුර ඉල්ලනවා. කවුරුත් වතුර දුන්නෙ නෑ. මේ චමින්ද අයියා තමයි වතුර වීදුරුවක් පෙව්වේ. එයාට ඒක බොන්න බෑ. වතුර ඔක්කොම කට පල්ලේ පෙරුනා." ඒ තරුනයා කියවගෙන යයි.
ඔහුව නැවැත්වූ චමින්ද නැවත කතා කරයි. " ඒ කාලේ ත්‍රී වීල් නෑ. මං හිතුවා ඒ මාමව කොහොම හරි සනීප කරනවා කියලා. එහෙම හිතාන පක්ෂෙට හිතවත් කෙනෙක්ගෙ ජිකි ජිකි ඩෙලිකා වෑන් එකක් අරං ආවා. ඒ එනකොට කුන්ඩසාලේ ආමි කෑම්ප් එකෙන් ඇවිත් බොඩීස් ටිකයි අර නොමැරුන මාමවයි අරං ගියා. ඒ ගොල්ලන්ව අපි අන්තිමටම දැක්කෙ එදා."
චමින්ද තව කතා ගොඩාක් කියයි එකක්වත් මගේ හිතට ඇතුලු නොවෙයි. මට මෙතනින් ඉක්මනින්ම යා යුතුය.
***********
එතනින් පිටත්වෙමි. හිත යකාගේ කම්මල මෙනි. හිත සැහැල්ලු කර ගත යුතුය. පිටත්වෙන ගමන් Chinthka Ratnayake ට කෝල් එකක් ගනිමි.
"වරෙන් අඩියක් ගහන්න."
"මේ මහ දවල්... පිස්සුද..?" ඒ චින්තක.
"පොඩි කතාවක් කියන්නත් එක්ක. තමුසේ එනවකෝ රෝයල් මෝල් එකට." ඒ මං.
ඔහුත් සමග රෝයල් මෝල් පබ් එකට යමි. චියර්ස් කියන්නත් කලින් උදේ මා ඇසූ දුටු කතාව ඔහුට කියමි.
"මටත් ආසයි ඩයල් එක දකින්න." ඒ චින්ටා.
මම කෝල් එකක් දී මහවත්තේ චමින්දව රෝයල් මෝල් එකට ගෙන්වා ගමි.
චමින්දට චින්තක හදුන්වා දෙමි.
"උදේ කතාව චින්ටට කියහංකො" ඒ මම.
"ඒ කතා වැඩක් නෑ ඒක හිරන්ත බොස්ගෙන් අහගන්න. චින්තක මේක අහපන්. චින්තක, මචං මේ කතාව හොදට අහපන්" චමින්ද කතා කරයි.
"89 සංහාරයෙන් පස්සේ අපි අමාරුවෙන් ජවිපෙ ගොඩ ගත්තා. මං ෆුල් ටයිම් උනා".(පූර්න කාලීන)
"මං බැන්දේ උත්සව තියලා නෙවෙයි. එයාගේ තාත්තා ප්‍රින්සිපල් කෙනෙක්. අම්මා ගුරුවරියක්. මං එයාව කච්චේරියේ අත්සන් කරලා එක්ක ආවා. ඒ තමයි මගේ මගුල් ගේ."
"බැදලා ටික කාලෙකින් එයා ප්‍රෙග්නන්ට් උනා. එයා මට හැමදාම උදේට කියනවා එයාට ඇපල් ගෙඩියක් මිදි ටිකක් කන්න ඕන කියලා. ජවිපෙ පූර්නකාලිනයෙක් වූ මට ඒවා ගන්න එදා සල්ලි නෑ. හැමදාම ගෙදර ඇවිත් මං අමතක උනා කියනවා. මහවත්තේ චමින්දගේ ඇස්දෙක දිලිසෙයි. මට මේවා මතක් වෙනකොට හිතට හරිම දුකයි. අදටත් මං ඇපල් මිදි කන්නෙ නෑ.
අද මට මිදි පෙට්ටියක් ඇපල් පෙට්ටියක් හැමදාම උනත් අරන් යන්න පුලුවන්. ඒත් එදා අපි බස් එකේවත් නොගිහින් පයින් ගිහින් පක්ෂෙට සල්ලි හෙව්වේ."
"මට නෝනට විටමින් ගන්න සල්ලි තිබුනෙ නෑ. එතකොට ජවිපෙට හිතවත් පස්සෙ විමල්ලට කැඩුන කුන්ඩසාලේ පශුවෛද්‍ය ජගත්ගෙන් බල්ලන්ට දෙන විටමින් මං ඉල්ල ගත්තා."
"මිනිස්සුන්ට මේවා දුන්නට කමක් නැත්ද කියලා ඩොක්ටර් ජගත්ගෙන් මං ඇහුවා. එයා හරි උත්තරයක් දුන්නේ නෑ. ඒකාලේ එයත් අමාරුවෙන් හිටියේ. මේ ලගදිත් මං එයාට මේක මතක් කලා."
"ඒ බල්ලන්ට දෙන විටමින් තමයි මම නෝනට ගිහින් දුන්නේ."
"පක්ෂෙන් මට කිව්වා පක්ෂෙට හිතවත් මෝලකින් මාසෙකට හරියන්න හාල් ගන්න කියලා."
"මචං චින්තක කුන්ඩසාලේ කියන්නේ අනුරාධපුර පොලොන්නරුව වගේ හාල් තියෙන පැත්තක් නෙවෙයි නේ."
"මං මෝලට ගිහින් උදේ ඉදන් ඉන්නවා. වරුවක් ගියත් හාල් කිලෝ දෙකක්වත් එකතු වෙන්නෙ නෑ." "මං යන්න හදද්දි මෝලේ සහෝදරයා කියනවා තව පොඩ්ඩක් ඉන්න දැන් හාල් එකතුවෙයි කියලා." මොකද එයාටත් පක්ෂෙට දන්වන්න ඕන හාල් දුන්නා කියලා.
ඔන්න ඔහොම චමින්ද කතා ගොඩාක් මාත් චින්තකත් ඉස්සරහ කියාගෙන කියාගෙන යයි.
*************
ඔන්න ඔහොමයි මචං අපි පක්ෂෙ වෙනුවෙන් කැප උනේ. මට හිතට හරිම වේදනයි මචං. මං ගිය මාසේ වෙනකල් හිටියේ ජවිපෙ. පක්ෂෙට හතුරු කිසිම දෙයක් අපි කලේ නෑ.
හදුන්නෙත්ති සහොදරයා චන්දෙට ඉල්ලන අය දැනුවත් කරන රුස්වීමක් තිව්වා. එයා කිව්වා මේ පාර මනාප වැඩියෙන් ගන්න අයයි දිනන්නේ ඒ නිසා ඕගොල්ලො කැමති දෙයක් කරන්න කියලා.
ගමේ මිනිස්සු පෝස්ටර් ගැහුවා. "ගමට ඕන චමින්ද"කියලා.
ඔය අතරේ පක්ෂෙන් මං විනය කඩ කලා කියලා චෝදනා පත්‍රයක් දුන්නා. ඒ චෝදනා මාරයි.
1. පෙරටුගාමීන් හා නැවත එක්විය යුතුයැයි කියමින් පක්ෂය විවේචනය කිරීම.
2. පහුගිය චන්දයේදී මයිත්‍රීපාල සිරිසේන ජනාධිපති කිරීමට උදව් කිරීම.
3. සීනුව නොදමා පක්ෂ අනුදැනුමක් නැතිව පොස්ටර් ගැසිම.
*********
අපේ ජීවිතේ පරදුවට තියලා, ගෙවල්වල ගෑනු ගැනවත් නොහිතා, අපේ ජීවිත කාලකන්නි කරගනිමින් අපි ආදරයෙන් රුක බලාගත් පක්ෂෙ අපිට ආපහු දුන්න දායාදේ ඔන්න. මං තීරනය කලා ස්වාධීනව කුන්ඩසාලෙට චන්දෙ ඉල්ලන්න.
***********
චමින්ද අපෙන් සමුගෙන යාමට සැරසෙයි.
"චන්දෙට වියදම් ඇති නේද? හවස ඇවිත් මාව හම්බෙනවද?" මං චින්ටට හොරෙන් චමින්දගෙන් එහෙම ඇහුවා.
"බොහෝම ස්තූතියි.
වියදම් ගැන කියලා වැඩක් නෑ. කඩෙත් වහලා දැන්.
අද බෑ හෙට එන්නම්" චමින්ද අපෙන් සමුගෙන යයි.
***********
චන්දය ඉල්ලන චමින්දට ආධාරයක් කල යුතුය. දශකයක් පමන රටේ නැති මට, චන්දය ඉල්ලන අයෙකුට කොපමන මුදලක් දිය යුතුදැයි වැටහීමක් නැත. මට දැන් ලංකාවේ චෙක් පොතක්ද නැත.
අක්කාගේ මහත්තයා ලලිත් අයියාට කතා කලෙමි.
"ලලිත් අයියා මට ඕපන් චෙක් එකක් දෙන්න. ගාන කීයක් උනත් මං සල්ලි දාන්නම්."
කියූ සැනින් ලලිත් අයියා අත්සන පමනක් ගැසූ එයාගේ හිස් චෙක් පතක් මට ලබා දෙයි.
"මෙන්න මගෙන් චන්දෙට තෑග්ගක්. කැමති ගානක් දාගන්න." හිස් චෙක්පත මම චමින්දට බාරදෙමි.
හිනාමුසු මූනින් මුව නොසෑහෙන ස්තූතියෙන් චමින්ද චෙක්පත මගෙන් බාර ගනියි.
අවමය රුපියල් විසිපන්දාහක්වත් ඔහු ලියාගනු ඇතැයි සිතුවෙමි.
විශ්වාස කරන්න චමින්ද ලියාගෙන තිබුනේ රුපියල් දෙදාහක් පමනි.
පෝස්ටර් ගහන්න පාප්ප හදන්න පාම්පිටි වලටවත් ඒ මුදල ප්‍රමානවත් නැත.
ඒ තමයි නියම "මහවත්තේ චමින්ද".
ඒ තමයි මුදලට නොවිකුණුනු නියම මිනිස්සු.
ඒ තමයි අපි දන්න සැබෑ ජේවීපි කාරයෝ.
-හිරන්ත හේරත්-
(අවසන් පිංතූරය මහවත්තේ මහමග මරා දමා සිටි පුද්ගලයින්: චායාරූප ප්‍රවීන මාධ්‍යවේදී ධර්මන් වික්‍රමරත්න මහතාගෙනි)
ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න