ලංකාවේ අන්තර්ජාල වෘත්තික පරපුර ඉවරයි.. පිටරටින් ගෙන්වන්න නීති හදයි… srilanka-politics

ලංකාවේ අන්තර්ජාල වෘත්තික පරපුර ඉවරයි.. පිටරටින් ගෙන්වන්න නීති හදයි….


විදේශීය තොරතුරු තාක්ෂණ වෘත්තිකයන් ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා වීසා ලබා දීමේ පූර්ණ බලතල ආගමන පාලක වරයා වෙත ලබා දීමට අවශ්‍ය නීතිමය කටයුතු රජය විසින් සම්පාදනය කරමින් සිටින බවට රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතාගේ ප්‍රකාශය හෙළා දකින බව තොරතුරු තාක්‍ෂණ වෘත්තීයවේදීන්ගේ සංගමය පවසයි.

මේ බව සදහන් කරමින් සංගමයේ ලේකම් ලසන්ත වික‍්‍රමසිංහගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති නිවේදනය මෙහි දැක්වෙයි.

රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතාගේ ප්‍රකාශය හෙළා දකිමු.

විදේශීය තොරතුරු තාක්ෂණ වෘත්තිකයන් ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා වීසා ලබා දීමේ පූර්ණ බලතල ආගමන පාලක වරයා වෙත ලබා දීමට අවශ්‍ය නීතිමය කටයුතු රජය විසින් සම්පාදනය කරමින් සිටින බව මෑතකදී රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා පැවසීය. අමාත්‍යවරයා පවසා සිටියේ දැනට පවතින ක්‍රමවේදයට අනුව අදාළ අවශ්‍යතාවය ඇති සමාගම මඟින් ඒ සඳහා අදාළ අමත්‍යාංශයෙන්, ICTA ඒජන්සියෙන් සහ ආගමන-විගමන දෙපාර්තුන්මේන්තුවෙන් අවසර ගත යුතු අතර, මේ සඳහා ගතවන කාලය අවම කරනු පිණිස, තීරණය ගැනීමේ සම්පූර්ණ බලය ආගමන පාලකවරයා වෙත පමණක් පවරන බවයි. ඔහුගේ මෙම වගකීම් විරහිත, අනුවණ ප්‍රකාශය දැක අපි මවිතයට පත්වීමු.

විෂයානුබද්ධ දැනුම පවතින ආයතනවලින් අවසර ලබාගැනීමේ අවශ්‍යතාවය බැහැර කිරීම මඟින් සිදුවන්නේ නොයෙකුත් අවභාවිතාවන් සඳහා ඉඩ නීත්‍යානුකූලවම සපයා දීමයි. කාර්යක්ෂමතාවය වැඩිකරන්නට නොයෙකුත් ක්‍රියා මාර්ග ගත යුතු අතර ඒ සඳහා තොරතුරු තාක්ෂණය මත පදනම් වූ විසඳුම් සොයා ගත හැකිය. මේ සිදු කරන්නට යන්නේ තම රජයේ පවතින අකාර්යක්ෂමතාවයන් ඉවත් කරනු වෙනුවට නිසි ක්‍රමවේදය තුළ අත්‍යාවශ්‍යයෙන්ම අන්තර්ගත විය යුතු ක්‍රියාදාමයන් ඉවත් කිරීම මඟින් රටේ ජාතික ආරක්ෂාව පවා අනතුරේ හෙළීමකි.

ජාත්‍යන්තර වෙළදාම පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සැකසීම සඳහා මහාචාර්ය ලක්ෂ්මන් කොමිසම ඉදිරියේ සිය අදහස් දැක්වීමට මෙරට වෘත්තිකයන් විසින් කළ ආරාධනාව පිළි නොගත් අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා වෙනත් සභාවන් ඉදිරියේ මෙවැනි ආන්දෝලනාත්මක අදහස් ප්‍රකාශ කිරීම අපි තරයේ හෙළා දකිමු.

ශ්‍රී ලංකාවේ වසරකට 7000කට අධික තොරතුරු තාක්ෂණ උපාධිධාරීන් බිහිවන පසුබිමක ජනතා බදු මුදලින් වැටුප් ලබන අමාත්‍යවරුන්ගේ අවධානය යොමු විය යුත්තේ මෙරටට පිට රටින් තොරතුරු තාක්ෂණ වෘත්තිකයන් ගෙන්වන්නේ කෙසේද කියා සොයා බැලීමට නොව, මෙරට තොරතුරු තාක්ෂණ වෘත්තිකයන් දියුණු රටවලට යවා විදේශ විනිමය වැඩියෙන් රට තුළට ගෙන එන්නේ කෙසේදැයි සොයා බැලීමටයි. ඒ මඟින් මැදපෙරදිගට මවුවරුන් විකුණා රටට විදේශ විනිමය උපයන උපායමාර්ගයෙන් ශ්‍රී ලංකාව බේරා ගැනීමට පලදායී වැඩපිළිවෙලක් සකස් කරන ලෙස අපි රජයට යෝජනා කරමු.



අවාසනාවකට රජයේ අවධානය යොමු වී ඇත්තේ මේ රට තුළ කිසිදු හිඟයක් නැති තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා අනෙක් රටවල වෘත්තිකයන්ට ලබා දෙන්නේ කෙසේදැයි සොයා බැලීමටයි.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් අදාළ අමාත්‍යාංශය වන සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශයෙන් කළ විමසීමකදී අපට දැන ගන්නට ලැබුණේ තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ට පමණක් නොව, අනෙක් සියලුම වෘත්තිකයන්ට බලපාන ලෙස මෙම නීතිමය ප්‍රතිපාදන සකස් කරමින් පවතින බවයි. රටේ ආර්ථිකය විනාශ කරන, රට තුළ නොයෙකුත් සමාජයීය ගැටලු ඇති කරන, රටේ ජාතික ආරක්ෂාව අනතුරේ හෙළන මේ දුෂ්ට ප්‍රයත්නයන් පිළිබඳව අවදියෙන් සිටින ලෙස අපි සමස්ත පොදු ජනතාවගෙන් ඉල්ලා සිටිමු.



ලේකම්
ලසන්ත වික‍්‍රමසිංහ
තොරතුරු තාක්‍ෂණ වෘත්තීයවේදීන්ගේ සංගමය

ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network