“මේක අහිංසක ව්‍යවස්ථා සංශෝධනයක් නොවෙයි. මේ හදන්නේ රණවිරුවන් දිවි පුදා රැකගත් ඒකීයභාවය අවසන් කරන අන්තිම ඇණයත් මිනී පෙට්ටියට ගහලා රටත් ජාතියත් පෝරකයට යවන්න srilanka-politics

“මේක අහිංසක ව්‍යවස්ථා සංශෝධනයක් නොවෙයි. මේ හදන්නේ රණවිරුවන් දිවි පුදා රැකගත් ඒකීයභාවය අවසන් කරන අන්තිම ඇණයත් මිනී පෙට්ටියට ගහලා රටත් ජාතියත් පෝරකයට යවන්න 
                        
                                                                                                 - ජානිපෙ නායක, විමල් වීරවංශ

සිරිසේන- වික්‍රමසිංහ අාණ්ඩුව රැගෙන එන්නේ අහිංසක ව්‍යවස්ථා සංශෝධනයක් නොවන බවත් එමගින් රණවිරුවන් දිවි පුදා රැකගත් ඒකීයභාවය අවසන් කිරීමට අන්තිම ඇණයත් මිනී පෙට්ටියට ගසා රටත් ජාතියත් පෝරකයට යවනු ඇති බවත් ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි. 

ඒ මහතා මේ බව පෙන්වා දුන්නේ අද (03) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය. මෙම මාධ්‍ය හමුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව පදනම් කර ගනිමින් ජාතික නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ සහ පිවිතුරු හෙළ උරුමයේ නායක, උදය ගම්මන්පිල යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය. 

“ඒකාබද්ධ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමට තුඩු දෙන හේතුවක් රට තුළ උද්ගත වී තිබෙන බව ජාතික නිදහස් පෙරමුණ සහ පිවිතුරු හෙළ උරුමය දකිනවා. ඒ අනුවයි මෙම මාධ්‍ය සාකච්ඡාවට සහෝදර මාධ්‍යවේදී ඔබ සැමට ඇරයුම් කළේ. මේ ආණ්ඩුව බලයට පත් වූ පසු අපේ රාජ්‍යය දුර්වල කිරීමේ ක්‍රියාමාර්ග රැසක් අරගෙන තිබෙනවා. 

“ජිනීවා මෙහෙයුම පෙරටම...”

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට 2015 ඔක්තෝබරයේදී ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ගෙන ආ ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවලියට ශ්‍රී ලංකා රජයේ විදේශ අමාත්‍යවරයා සම අනුග්‍රාහකත්වය දැක්වූවා. යම් රටකට එරෙහිව මානව හිමිකම් කවුන්සිලයට වෙනත් පාර්ශ්වයක් විසින් ඉදිරිපත් කළ යෝජනාවලියකට ඒ රටේ විදේශ අමාත්‍යවරයා සම අනුග්‍රාහකත්වය දැක්වීම ලෝක ඉතිහාසය තුළ මුල්වරටයි සිදු වුණේ. මෙම ඇමෙරිකා එක්සත් ජනපද යෝජනාවලියේ මුල සිට අගට වන සෑම යෝජනාවක්ම විමසා බැලුවාම පෙනෙනවා ‘ඒවා සියල්ල ශ්‍රී ලංකා රාජ්‍යය දුබල කිරීමේ සහ බෙලහීන කිරීමේ යෝජනා’ කියා. දැන් ඒ යෝජනාවලිය අනුව යමින් ශ්‍රී ලංකා රාජ්‍යය දුර්වල කිරීමේ ක්‍රියාමාර්ග රැසක් දියත් වෙමින් තිබෙනවා. 

ඒ අනුව එක් පැත්තකින් ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදාවන්හි බුද්ධි අංශ අද සම්පූර්ණයෙන්ම අකර්මණ්‍යකර තිබෙනවා. ජාතික ආරක්‍ෂාව වෙනුවෙන් සුවිශාල මෙහෙවරක් කරපු යුද හමුදා සහ නාවික හමුදා බුද්ධි අංශ නිලධාරීන් අද සතුරා හමුවේ අනාවරණය කරමින් ඇතමුන් අභූත චෝදනා යටතේ සිරගත කිරීම මේ යටතේ සිදු වෙනවා. තවත් පැත්තකින් තීරණාත්මක ස්ථානවල පිහිටුවා ඇති උතුරේ හමුදා කඳවුරු පවා අද ඉවත් කරමින් තිබෙනවා. නිදසුනක් ලෙස පලාලි ගුවන් හමුදා කඳවුර සාමාන්‍ය ගුවන් තොටුපළක් බවට පත් කරමින් තිබීම පෙන්වා දිය හැකියි. ඒ අනුව ජාතික ආරක්‍ෂාවට බලපාන වැදගත් සාධක රැසක් අද බිඳවට්ටමින් ඇති බව පෙනෙනවා. 

‘රාජ්‍යය දුර්වල කරන අණපනත්’

ඒ වගේම ශ්‍රී ලංකා රාජ්‍යය දුර්වල කෙරෙන අණපනත් කිහිපයක් ද මේ ආණ්ඩුව විසින් ගෙනවිත් තිබෙනවා. ඒ අනුව අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ පනත සම්මතකර ගෙන තිබෙනවා. මෙම කාර්යාලය රණවිරුවන්ට එරෙහිව චෝදනා ඉදිරිපත් කරනු ලබන ෆැක්ටරියක් බවට පත්වේවි. ඒ වගේම අතුරුදහන්වීම් වැළැක්වීම සඳහා වන ජාත්‍යන්තර ප්‍රඥප්තිය ශ්‍රී ලංකාවේ නීති පද්ධතියට ඇතුළු කිරීමට ද මේ වන විටත් කටයුතු යොදා තිබෙනවා. ඊට අදාළ පනත් කෙටුම්පත මේ වන විටත් සම්මතකර ගැනීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. එය සම්මත වූවාට පසුව ශ්‍රී ලංකාව තුළ අතුරුදහන්වීම් පිළිබඳ නඩු අහන වෙනම අධිකරණයක් පිහිටුවිය හැකියි. ඒ අධිකරණයට බලය ලැබෙනවා අතුරුදහන්වීමකට සැක කරන නිලධාරියාට පමණක් නොවෙයි, ඔහුට නියෝග ලබාදුන් නිලධාරියාගේ සිට සේනාධිනායකයා දක්වා චෝදනා ගොනු කරන්න. ඒ වගේම ඒ ජාත්‍යන්තර ප්‍රඥප්ති පනත බලාත්මක වූවාට පසුව අතුරුදහන්වීමකට සම්බන්ධ බවට සැක කෙරෙන මෙරට ආරක්‍ෂක අංශ නිලධාරියකුට විරුද්ධව වෙනත් රටක අධිකරණයක ද නඩු පැවරීමේ අයිතිය හිමි වෙනවා. නිදසුනක් ලෙස කැනඩා අධිකරණයක මෙරට හමුදා නිලධාරියකුට එරෙහිව නඩුවක් පැවරුවහොත් ඒ නිලධාරියා අත්අඩංගුවට ගෙන කැනඩා රජයට භාර දීමට ශ්‍රී ලංකා රජය බැඳී සිටිනවා.

‘අතුරු වාර්තාව’ 

ඒ ජිනීවා මෙහෙයුම ශ්‍රී ලංකා රාජ්‍යය එසේ දුබල බෙලහීන කරමින් සිටියදීම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන බව පවසමින් මුළු පාර්ලිමේන්තුවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් බවට පත් කරමින් ඇරඹි මෙහෙයුම ද දැන් තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. මේ යටතේ පාර්ලිමේන්තුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් බවට පත් කළා විතරක් නොවෙයි, ඊට අදාළ මෙහෙයුම් කමිටුව මගින් අනුකමිටු 06ක් පත් කරලා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට අදාළ නිර්දේශ ලබා ගෙන දැන් ‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව’ නමින් වාර්තාවක් ඉදිරිපත්කර තිබෙනවා. ඒ වාර්තාව පදනම්කර ගෙනයි අපි මේ මාධ්‍ය හමුවේදී ජනතාව දැනුම්වත් කරන්නේ. (වාර්තාව මාධ්‍ය වෙත දක්වයි) 

මෙම අතුරු වාර්තාව ද පදනම්කරගෙන මෙහෙයුම් කමිටුව විසින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට (පාර්ලිමේන්තුවට) ඉදිරිපත් කළ යුතුයි. එය පාර්ලිමේන්තුවේ සාකච්ඡා කිරීමෙන් අනතුරුව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යුතුයි. අවසන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත ඊළඟට කැබිනට් අනුමැතිය ද සහිතව පාර්ලිමේන්තුවට ගෙනවිත් සම්මතකර ගත යුතුයි. එයයි මෙම මෙහෙයුමේ මාර්ග සිතියම. ඒ අනුවයි මේ අතුරු වාර්තාව ඉදිරිපත් කිරීම තීරණාත්මක, වැදගත් අවස්ථාවක් බව අප පැවසුවේ. මේ අතුරු වාර්තාව පිළිබඳව තම ස්ථාවරය ඒකාබද්ධ විපක්‍ෂය විසින් මෙහෙයුම් කමිටුවට මේ වන විටත් ඉදිරිපත්කර තිබෙනවා. 

‘රටට අහිතකර කරුණු රැසක්’ 

මේ අතුරු වාර්තාවේ රටට අහිතකර කරුණු රැසක් තිබෙනවා. ඇතැම් කරුණු පිළිබඳ උදය ගම්මන්පිල මැතිතුමාත් කරුණු දක්වාවි. මම මෙහිදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්නේ, මෙම අතුරු වාර්තාවෙන් දක්වා ඇති කරුණු අනුව ජනතා පරමාධිපත්‍ය බලය හිමි පාර්ලිමේන්තුව හෙවත් ව්‍යවස්ථාදායකය ඉතාමත් බෙලහීන තත්වයකට පත්කර ඇති බව පෙන්වා දීමටයි. රටක් ඒකීය වන්නේ ඒ බව කොතැනක හෝ ලියැවී තිබීමෙන් නොවේ. ‘ව්‍යවස්ථාදායකය බලය එනම් නීති හැදීමේ බලය එක බලකේන්ද්‍රයකින්ද සිදුවන්නේ නැතිනම් බලකේන්ද්‍ර කිහිපයකින්ද සිදු වෙන්නේ?’ කියන පැනයට ලැබෙන පිළිතුරු අනුවයි. දැන් තිබෙන ආකාරය අනුව පළාත් සභා ලැයිස්තු විෂයකට අදාළ වන නීතියක් පාර්ලිමේන්තුව තුළ සම්මතකර ගැනීමේදී ඊට යම් පළාත් සභාවක් විරුද්ධ වුවොත් පාර්ලිමේන්තුවේ 2/3ක බලයෙන් එය අබිබවිය හැකියි. නමුත් මේ අතුරු වාර්තාවෙන් නිර්දේශ කොට තිබෙනවා, ‘ඒක ප්‍රමාණවත් නැහැ’ කියා. මේ අතුරු වාර්තාවෙන් දෙවන මන්ත්‍රණ සභාවක් පිහිටුවීමට යෝජනා කොට තිබෙනවා. එය පළාත් සභා මන්ත්‍රීවරුන් 45කින්ද(9x5) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 10කින්ද සමන්විත වන බවත් මුළු සාමාජික සංඛ්‍යාව 55ක් බවත් සඳහන් වෙනවා. මේ දෙවන මන්ත්‍රණ සභාව, පළාත් සභා ලැයිස්තුවේ විෂයකට අදාළව පාර්ලිමේන්තුව විසින් නීති සම්පාදනයේදී ඉතා වැදගත් කොට දක්වා තිබෙනවා. ඒ අනුව පළාත් සභා ලැයිස්තුවේ විෂයකට අදාළ වන නීතියක් පාර්ලිමේන්තුව තුළ සම්මතකර ගැනීමේදී ඊට සියලු පළාත් සභා එකඟ නොවන විට, පාර්ලිමේන්තුවේ 2/3ක බලයක් ලබා ගැනීමට අමතරව, දෙවන මන්ත්‍රණ සභාවේ 2/3ක බලයක් ලබාගැනීම හා දෙවන මන්ත්‍රණ සභාවේ සිටින පළාත් සභා නියෝජිතයන්ගේ සරල බහුතරය ලබා ගැනීම මෙම අතුරු වාර්තාවෙන් නිර්දේශකර තිබෙනවා. ඒ අනුව ඉතා පැහැදිලියි, පාර්ලිමේන්තුවට ඉහත ආකාරයේ නීතියක් සම්මතකර ගැනීමට නොහැකි වන බව. මේ අතුරු වාර්තාවෙන් නිර්දේශ කරන්නේ එවැනි තත්වයක්. 

සමගාමී ලැයිස්තුව ඉවත් කරලා පළාත් සභාවට බලතල හරියට දෙකට බෙදලා දීමත් මේ නිර්දේශ තුළ තිබෙනවා. ඉඩම් බලතල, පොලිස් බලතල පමණක් නොවෙයි රාජ්‍ය සේවයේ ඉහළම නිලධාරීන් කිහිප දෙනෙකු හැර ග්‍රාම නිලධාරී දක්වා වූ සෑම රාජ්‍ය නිලධාරියකුම පළාත් රාජ්‍ය සේවා කොමිසමට භාර දෙන ව්‍යවස්ථා සංශෝධනයක් තමයි මේ අය යෝජනා කරන්නේ.

‘ශ්‍රී ලංකාව ෆෙඩරල් රාජ්‍යයක් බවට පත්වීම’

ඒකීයභාවයට අදාළ නිර්දේශ කිහිපයක් ද ‘නමට’ මේ අතුරු වාර්තාවේ ඇතුළත්කර තිබෙනවා. නමුත් ඉතාම පැහැදිලියි මේ අනුව බලකේන්ද්‍ර 03ක් හැදෙනවා. ඒ බලකේන්ද්‍ර තුනෙන් දෙකක් තියෙන්නේ පළාත් සභාව අතේ. පළාත් සභාව සහ ඊට යටත්කර ඇති පළාත් පාලන ආයතන එම බලකේන්ද්‍ර 02යි. මේ නිර්දේශ අනුව ජනාධිපතිවරයා පළාත් ආණ්ඩුකාරවරයා පත් කළ යුත්තේ මහ ඇමතිවරයා සමඟ සාකච්ඡා කරලයි. ඒ වගේම ආණ්ඩුකාරවරයා මගින් පළාත් සභාවට කළ හැකි බලපෑම ද බොහෝ දුරට අඩුකොට තිබෙනවා. ඒ අතරේ පළාත් සභා ලැයිස්තුවේ විෂයයන් සම්බන්ධයෙන් නීති හැදීමේ පුළුල් බලයක් පළාත් සභාවලට ලබාදී තිබෙනවා. 

මේ සියල්ල සහිත ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලියකින් අන්තිමේදී සිදු වන්නේ ශ්‍රී ලංකා රාජ්‍යය ෆෙඩරල් රාජ්‍යයක් බවට පත්වීමයි. 13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් බලාත්මක කරලා මේ අතුරු වාර්තාවේ සඳහන් නිර්දේශ ද ක්‍රියාත්මක කළාම දෙමළ ජාතිවාදී බෙදුම්වාදීන්ට ඉතිරි ටික කරන්න ඉතාම පහසුයි. සිවිල් උද්ඝෝෂණ මගින් ජාත්‍යන්තර මැදිහත්වීමකට පොට පාදා ගන්න ඔවුන්ට පුළුවන්. 

මේක අහිංසක ව්‍යවස්ථා සංශෝධනයක් නොවෙයි. නව ව්‍යවස්ථාවක් ගෙන එනවා කියලා දැන් මේ දේශද්‍රෝහී සිරිසේන - වික්‍රමසිංහ ආණ්ඩුව කරන්න හදන්නේ රණවිරුවන් දිවිපුදලා රැකගත් ඒකීයභාවය අවසන් කරන අන්තිම ඇණයත් මිනී පෙට්ටියට ගහලා රටත්, ජාතියත් පෝරකයට යවන්න. 

මේකට ඉඩ දෙන්න බැහැ. මහා නායක ස්වාමීන්වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නයෙන් අපි ඉල්ලනවා ‘කරුණාකරලා මේ කෙටුම්පත අධ්‍යයනය කරන්න. මෙහි තිබෙන බැරෑරූම්කම තේරුම් ගන්න. මේ කෙටුම්පතේ සඳහන් කරුණුවලින් 50%ක්වත් ක්‍රියාවට නැංවුවහොත් හැදෙන්නේ ෆෙඩරල් රාජ්‍යයක් බව තේරුම් ගන්න. ඒ ෆෙඩරල් රාජ්‍යය හැදුනට පස්සේ ඊළාම්වාදීන්ට ඉතිරි දුර යන එක එතරම් දෙයක් නොවන බව වටහා ගන්න’ කියලා. ඒ නිසා අපි මේ පියවර වහාම වළක්වන්න ඕනෙ. මේ ව්‍යවස්ථා සංශෝධනය 2/3න් සම්මත කරන එක වළක්වන්න ඕනෙ. ඒ සඳහා අපි අපට කළ හැකි සියල්ල කරනවා. ඒ වගේම අපි මේ රටේ වගකිව යුතු රටවැසියන්ගෙන්, සමාජ සංවිධානවලින් ඉල්ලනවා ‘මේ අනතුර තේරුම් ගෙන එය වැළැක්වීම සඳහා ගත හැකි සෑම පියවරක්ම ගැනීමට පෙරමුණ ගන්න’ කියා”

මෙම මාධ්‍ය හමුවට පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ද සහභාගී විය. 

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
2017-05-03



ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network