දලදා මාලිගාවටත් බදු.. පිං කැටේටත් බදු.. කැබිනෙට්ටුවේ අනුමතයි. Srilanka-politics

දලදා මාලිගාවටත් බදු.. පිං කැටේටත් බදු.. කැබිනෙට්ටුවේ අනුමතයි..

ශ්‍රී දළදා මාලිගාව භාරකාර අරමුදල ඇතුළු පුණ්‍යායතන අරමුදල්වලින් ද බදු අය කිරීමට නියමිත, මේ රටේ සියලු පුරවැසියන් මත අධික බදු බර පටවන, පසුගිය මැයි 02 වැනිදා කැබිනට් අනුමැතිය ලබාදි ඇති යෝජිත දේශීය ආදායම් පනත වහා හකුළා ගන්නා ලෙස ජාතික නිදහස් පෙරමුණ ආණ්ඩුවට බලකර කියා සිටී.

පිටකෝට්ටේ පිහිටි ජානිපෙ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී එහි නියෝජ්‍ය නායක, ජයන්ත සමරවීර මහතා මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද සඳහන් කළේය.

“2017 මැයි 02 වැනිදා සිරිසේන – වික්‍රමසිංහ හවුල් ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය නව දේශීය ආදායම් පනතක් සඳහා අනුමැතිය ලබා දී තිබෙනවා. අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දි ඇති යෝජිත නව දේශිය ආදායම් පනත හොඳින් අධ්‍යයනය කළාම අපට පෙනෙන්නේ කුමක්ද? ප්‍රධාන අරමුණු 02ක් ඉටු කර ගැනීම පිණිස මෙම යෝජිත පනත රැගෙන එන බවයි. ඉන් පළමුවැන්න තමයි, අපේ රටේ බදු අය කිරීමේ, පරිපාලනය කිරීමේ, කළමනාකරණය කිරීමේ කාර්යයේ නිරත දේශිය ආදායම් දෙපාර්තමේන්තුව මුළුමනින්ම අකර්මණ්‍ය කර එම කාර්යය මුළුමනින්ම පෞද්ගලික අංශයට පැවරීම. දෙවැන්න මේ රටේ සෑම සුරවැසියකු මතම අධික බදු බරක් පැටවීම සඳහා නව බදු ක්‍රමවේද හඳුන්වා දීම. අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති මේ යෝජිත පනත නුදුරේදීම පාර්ල්ිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙම යෝජිත පනත සැකසීම සඳහා දේශිය ආදායම් දෙපාර්තමේන්තුවේ වෘත්තිකයන්, බදු උපදේශකයන්, මෙන්ම පෞද්ගලික අංශයේ කිසිදු දේශීය සම්පත්දායකයකු සම්බන්ධකර ගෙන නැහැ. ඒ සඳහා සම්බන්ධ වී ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයන් සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ගජ මිතුරන් කිහිප දෙනෙකු පමණයි. අප්‍රිකානු කලාපයේ රාජ්‍යයක් වූ ඝානාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් හඳුන්වා දී එම රට අවුලෙන් අවුලට ඇද දැමූ ‘ජාතික බදු ප්‍රතිපත්තිය’ තමයි ඔවුන් ශ්‍රී ලංකාවටත් මේ යෝජිත පනත මගින් රැගෙන ඒමට හදන්නේ.

RAMIS ව්‍යාපෘතියත් අවසන්!

බදු පරිපාලනය අවුලෙන් අවුලට යන මෙම යෝජිත පනත මගින් සිදුවන තවත් ඉතාමත් අනර්ථකාරී ක්‍රියාවක් මෙහිදී පෙන්වා දිය යුතුයි. ඒ තමයි මහින්ද රාජපක්‍ෂ පාලනය විසින් 2011 සිට මේ රටට හඳුන්වා දුන් ආදායම් පරිපාලන සහ කළමනාකරණ තොරතුරු පද්ධති (RAMIS) ව්‍යාපෘතිය අකර්මණ්‍ය කිරීම. මෙම ව්‍යාපෘතිය මගින් අපේක්ෂා කළේ බදු පරිපාලනය ප්‍රතිසංවිධානය කර දේශීය ආදායම් වැඩිකර ගැනීම සහ බදු පරතරය අඩුකර ගැනීමයි.

බදු පරිපාලනය ඉතා හොඳින් සිදුවන රටවල අත්දැකීම් ලබාගෙන, විශේෂ පරිගණක මෘදුකාංගයක් නිර්මාණය කොට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සියලු කාර්යාල සම්බන්ධකරගත් පරිගණක ජාලයක් නිර්මාණය කරමින් තමයිඒ RAMIS ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළේ. ඒ සඳහා වැය කළ ජාතික ධනය රුපියල් බිලියන 06ක්. මෙම ව්‍යාපෘතියෙන් ක්‍රමිකව ප්‍රතිඵල ලබා දෙමින් තිබුණා. 2016දී දේශීය ආදායම් වැඩි කරමින් මේ රටට රුපියල් කෝටි 44,000ක බදු ආදායමක් ලැබුණේ එහි ප්‍රතිඵලයක් ලෙසයි. මේ ව්‍යාපෘතියේ හොඳම ප්‍රතිඵලය ලැබීමට තිබෙන්නේ 2017 වසරේදීයි.

එසේම ජාතියේ සුජාත දූපුතුන්ගේ දැන ගැනීම පිණිස, දේශීය ආදායම් වැඩිකර, බදු පරතරය අඩු කිරිමට සමත් මේ ව්‍යාපෘතිය අකර්මණ්‍ය කිරීමට හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක කටයුතු කළ ආකාරයත් මෙහිදී සඳහන් කළ යුතුයි. 2015දී මේ ව්‍යාපෘතිය සඳහා පරිගණක 500ක් අවශ්‍යව තිබුණා. එය ලබාදීම රවී කරුණානායක මහතා හිතාමතා ප්‍රමාද කළා. එසේම 2016 දී පරිගණක 250ක් අවශ්‍යව තිබුණා. එයත් ලබාදී තිබුණේ නැහැ. රවී කරුණානායක හිටපු මුදල් අමාත්‍යවරයාට අවශ්‍යව තිබුණේ (RAMIS) ව්‍යාපෘතිය මුළුමනින්ම අකර්මණය කරලා, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව බදු ආදායම් ලබා ගැනීමේ කාර්ය නිසි පරිදි සිදු නොකරන බවටත්, බදු පරතරය අඩු කිරීමට අසමත් බවටත් දුර්මතයක් හැදීම. ඉන්පසු මේ රටේ ආදායම් බදු එකතු කිරීමේ කාර්යය තම සහචරයන් කිහිප දෙනෙකුගේ අතට ගැනීමටයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් මත ක්‍රියාත්මක කිරීමට යෝජිත මෙම පනත මගින් හඳුන්වාදී ඇති බදු ප්‍රතිපත්තිය පොදු රාජ්‍ය මණ්ඩලයේ සෑම රටක්ම ප්‍රතික්ෂේප කරපු එකක්. එම බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළ ඝානාවත් අවුලෙන් අවුලට ගියා.

මේ යෝජිත දේශීය ආදායම් පනත පාර්ලිමේන්තුවේ සම්මත වී අදාළ ගැසට් නිවේදනය නිකුත් කළ විට 2017 අප්‍රේල් 01 වැනිදා සිට බලපැවැත්වෙන ආකාරයට මේ බදු බර, මහා පරිමාණ ව්‍යාපාරිකයාගේ සිට පෙට්ටි කඬේ බුලත්විට විකුණන ව්‍යාපාරිකයා දක්වාත් පැටවෙනවා. වෘත්තිකයන්, ඒ වගේම අමාත්‍යාංශ ලේකම්වරයාගේ සිට කාර්යාල කාර්ය සහයකයා දක්වාත් විවිධ ප්‍රතිශතවලින් උපයන විට ගෙවීමේ බද්ද පැටවෙනවා.

‘වෘත්තිකයන් හාන්සියි’

අපි දැන් මේ බදු බර පැටවෙන ආකාරය සලකා බලමු. වෘත්තිකයකු, වර්ෂයකට රුපියල් ලක්‍ෂ 05කට වඩා, එනම් මාසිකව රුපියල් 41,666කට වඩා, දෛනිකව රුපියල් 1,388කට වඩා එක රුපියලක් උපයනු ලැබුවොත් උපයන විට ගෙවීමේ බද්දට යටත් වෙනවා. ඒ අනුව වෘත්තිකයකු උපයන ආකාරය අනුව 4% සිට 24% දක්වා වූ බද්දකට යටත් කොට තිබෙනවා.

ඒ වගේම විදෙස්ගත ශ්‍රී ලාංකික වෘත්තිකයන් උපයන සෑම රුපියලකටම බද්දක් අය කිරීමට ද මේ යෝජිත දේශීය ආදායම් පනතින් ප්‍රතිපාදන සලසා දී තිබෙනවා. 2006 අංක 10 දරන දේශිීය ආදායම් පනතින් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ විදේශ විනිමය. බද්දෙන් නිදහස් කොට තිබුණා. දැන් වෛද්‍යවරුන්, ඉන්ජිනේරුවන්, තොරතුරු තාක්‍ෂණවේදීන්, වාස්තු විද්‍යාඥයන් ඇතුළු සියලු විදෙස්ගත ශ්‍රී ලාංකිකයකුම උපයන සෑම රුපියලකින්ම බද්දක් ලබා ගැනීමටයි සූදානම.

‘සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවලට අරුම පුදුම බද්දක්’

ඒ වගේම මේ රටේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ක්‍ෂේත්‍රය මත ද අරුම පුදුම බදු බරක් පටවා තිබෙනවා. මේ රටේ රැකියා නියුක්තියෙන් 64%ක් සපුරාලන්නේ, මේ රටේ රැකියා වියුක්තිය අඩු කිරීමට මහඟු දායකත්වයක් ලබා දී ඇත්තේ මෙම ක්‍ෂේත්‍රයයි. ස්වයං රැකියාවල නිරත වී සිටින පිරිස අයත් වන්නේ ද මේ ක්‍ෂේත්‍රයටයි. ඒ සියලු පිරිස් ඇතුළත් වන සේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ක්‍ෂේත්‍රයට උපයන ලාභයෙන් 14%ක බදු මුදලක් අය කිරීමට මේ යෝජිත පනතින් ප්‍රතිපාදන සලසා දි තිබෙනවා. රුපියල් 100ක ලාභයක් ලබන විට රජයට ඉන් රුපියල් 14ක් ගෙවන්න වෙනවා. ඒකයි මම කීවේ මේක අරුම පුදුම බද්දක් කියා. මේ විදියට බදු ගහපුවාම සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවලට මොකද වෙන්නේ? කිසිදු සැකයක් නැහැ, ඒ සියල්ල කඩා වැටිලා මේ රටේ හිතාගන්නට බැරි රැකියා වියුක්තියක් ඇති විමයි.

පිං කැටේටත් බද්දක්!

මෙතෙක් කලක් ශ්‍රී දළදා මාලිගාව භාරකාර අරමුදල, කළුතර බෝධිය භාරකාර අරමුදල වැනි ඒවා ද ඇතුළු මේ රටේ බෞද්ධාගාමික මෙන්ම අන්‍යාගමික පුණ්‍යායතන ආදායම් බද්දෙන් නිදහස් කොට තිබුණා. නමුත් මේ යෝජිත දේශීය ආදායම් පනතින් සියලු පුණ්‍යායතනවලට ‘පුණ්‍යායතන බද්දක්’ පනවා තිබෙනවා. අපි කියනවා, ‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් අනුව අපේ හාමුරුවනේ ඔන්න මේ සිරිසේන – වික්‍රමසිංහ පාලනය පිං කැටේට වැටෙන රුපියල් 05-10ටත් බද්දක් ගහන්න සූදානම් වෙනවා’ කියලා. මේක තමයි රටකට අපමණ අගයක් දෙන්න ආපු පාලකයන් ලබා දෙමින් තිබෙන ‘අපමණ අගය’

‘පිරිවෙන් සහ උපකෘත පාසල්වලටත් බදු’

2006 අංක 10 දරන දේශීය ආදායම් පනතින් අධ්‍යාපන ආයතනවලින් බදු අය කළේ නැහැ. නමුත් ඒවා මත ද මේ යෝජිත පනතින් බදු බර පටවා තිබෙනවා. නව බදු පනතින් ‘උපකෘත අධ්‍යාපන ආයතනවල’ ආදායමටත් බදු පනවා තිබෙනවා. උපකෘත අධ්‍යාපන ආයතනවලට මේ රටේ පිරිවෙන් ටිකත් අයත් වන බව පෙන්වා දෙන්න ඕනෙ. පිරිවෙන් වගේම, කොළඹ මියුසියස් විද්‍යාලය, කළුතර හෝලි ක්‍රොස් විද්‍යාලය, ශාන්ත බි්‍රජට් කන්‍යාරාමය, මහනුවර ත්‍රිත්ව විද්‍යාලය, ශාන්ත අන්තෝනි විද්‍යාලය වැනි අර්ධ රාජ්‍ය පාසල්වලට පවා මෙම යෝජිත දේශීය ආදායම් පනතින් බදු බර පටවා තිබෙනවා.

‘සණස සමිතියට – සමුපකාර සමිතියට බදු’

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක ඇතුළු ඔහුගේ සහචරයන් එතැනින් නතර වී නැහැ. ගමේ සක්‍රියම මූල්‍ය ආයතන වී ඇති සණස වැනි ණය දෙන සමිති, විවිධ සේවා සමූපකාර සමිති, නිෂ්පාදන සමුපකාර සමිති යන ඒවා 2006 අංක 10 දරන දේශීය ආදායම් පනතින් ආදායම් බදුවලින් නිදහස් කොට තිබුණා. නමුත් යෝජිත පනතින් ඒවා මතත් බදු බර පටවා තිබෙනවා. මහා පරිමාණ කොම්පැනි සහ හිටපු මුදල් අමාත්‍යවරයාගේ සහචරයන් අතට ක්‍ෂුද්‍ර මුල්‍ය වෙළඳපොළ මුළුමනින්ම ලබාදීමේ කුමන්ත්‍රණයත් මේ බදු පැනවීම තුළ තිබෙනවා.

මේ අනුව ඉතා පැහැදිලියි, ‘මේ රටේ සියලු පුරවැසියන්ගේ ගෙල, බදු බරින් සිර කරන දේශීය ආදායම් පනතක් තමයි මේ යහපාලකයන් රැගෙන ඒමට හදන්නේ’ කියලා. ඒ වගේම එක පිරිසක් පමණක් මේ යෝජිත පනතින් බදුවලින් නිදහස් කොට තිබෙනවා. ඒ කවුද? අන්තරාල වෙළඳාම පිළිබඳ ආයතන. ඒ කියන්නේ, මේ රටට පිටරටින් භාණ්ඩ ගෙනල්ලා, රේගුව සතු ගුදම්වල තබාගෙන යළි පිටරට යවන ආයතන බදුවලින් නිදහස් කර තිබෙනවා. මේ ව්‍යාපාරයේ නියැලෙන අය මේ යහපාලන අෘණ්ඩුවේ සහචරයෝ. ඒ නිසයි ඔවුන්ට මේ බදු සහනය ලැබී ඇත්තේ. මේ යෝජිත බදු පනත හකුළා ගන්නා ලෙස අපි මේ සිරිසේන – වික්‍රමසිංහ පාලනයට බලකර කියා සිටිනවා. ඊට සූදානම් නැත්තම් මෙහි ඇති භයානකම දකින සියලු ජන බලවේග සමඟ එක්ව එය පැරදවීමට සටන් වැදීමට ජාතික නිදහස් පෙරමුණ සූදානම්”

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ

ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network