ඇත්ත 2.2ක ආර්ථික වර්ධනය 4.4ක් කළ ආණ්ඩුවේ වංචා හසුවේ srilanka-politics

ඇත්ත 2.2ක ආර්ථික වර්ධනය 4.4ක් කළ ආණ්ඩුවේ වංචා හසුවේ
============================================

මෑතකදී එළි දක්වන ලද 2016 ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවට අනුව, රටේ දළ දේශීය නිශ්පාදිතය (ද.දේ.නි) රුපියල් බිලියන 231 කින් වැඩි අගයකට වංචනික ලෙස පත් කර ගැනීමට රජය කටයුතු කොට ඇත. 

මෙම වංචාව සිදු කර ඇත්තේ, 2015 වසර වෙනුවෙන් වාර්තා වී තිබූ දළ දේශීය නිශ්පාදිතයෙන් රු. බිලියන 231 ක කොටසක්, සාවද්‍ය ලෙස 2016 වසරේ දළ දේශීය නිශ්පාදනයට එකතු කරමිනි. 

එසේ කිරීමෙන්, 2016 වසර සදහා වාර්තා වී තිබූ සත්‍ය වර්ධන වේගය වූ 2.2%, ඉතා වංචාකාරී ලෙස 4.4% දක්වා ඉහල දමන ලදී.  

එම වංචනික ක්‍රියාවෙන් රටේ සියලුම ආර්ථික කේෂ්ත්‍ර‍යන් රජය විසින් මුලා කොට ඇති අතර, ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව යන ජාත්‍යන්තර ආයතනද රවටා ඇත. එපමණක් නොව, ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ සමාගම්ද මෙම මගඩියට රැවටී ඇත. 

එසේ වුවද, මෙම මගඩිය දැන් අනාවරණය වීමෙන් පසුව එම ජාත්‍යන්තර ණය ලබා දෙන ආයතන සියල්ලම පාහේ විවිධ ප්‍ර‍තික්‍රියාමාර්ග වල යෙදෙනු ඇතැයිද, එමගින් රජය සෑහෙන අපහසුතාවයකට පත්වනු ඇතැයිද මත පලවී ඇත. විශේෂයෙන්ම ජාත්‍යන්තර ශ්‍රේණිගත සමාගම්, ශ්‍රී ලංකාවේ දැනට පවතින ණය ශ්‍රේණිය සහ දැක්ම (Rating and Outlook) නොබෝ දිනකින් පහත හෙලීමක් සිදු කිරීමේ විශාල අවධානමක්ද එමගින් මතුවී ඇත. එසේ වන විට, විදේශ ආයෝජකයන් තව දුරටත් ශ්‍රී ලංකා බැදුම්කර වල ඇති තමන්ගේ ආයෝජන නැවත රැගෙන යාමද අනිවාර්යෙන්ම සිදු වනු ඇතැයිද සැක කෙරේ. ඒ හරහා, රටේ විදේශ සංචිත ප්‍ර‍මාණය තව දුරටත් පහත වැටෙනුද නොඅනුමානය. 

2014 අග වන විට, ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ඇ.ඩො. බිලියන 8.2 ක් වූ අතර, ඇ.ඩො.ට සාපේක්ෂව රුපියලේ අගය 130 ක පමණ අගයක පැවතුනි. එහෙත්, 2017 අප්‍රේල් මස අග වන විට ශ්‍රී ලංකා සංචිත ඇ.ඩො. බිලියන 5.0 දක්වා කඩා වැටී ඇති අතර, ඇ.ඩො. ට සාපේක්ෂව, රුපියලේ අගය 154 ඉක්මවා ගොස් ඇත. 

තත්ත්වය මෙසේ තිබියදී, 2016 සදහා ශ්‍රී ලංකාවේ මූර්ත ආර්ථික වර්ධන වේගය දැනට ප්‍ර‍සිද්ධ කරන ලද 4.4% නොව, 2.2% ක් පමණක් බව තොරතුරු අනාවරණයෙන් පසුව, මෙම තත්ත්වය ඉතා සීග්‍ර‍ ලෙස තව දුරටත් අයහපත් මට්ටමකට යොමු වනු ඇතැයි බොහෝ ආර්ථික විශ්ලේෂකයින් විශ්වාස කරති. එසේ වීමෙන්, 2017 ජූලි මස අග වන විට රටේ විදේශ සංචිතය ඇ.ඩො. බිලියන 4 ක පමණ අගයකට පහල බැසිය හැකි බවත්, ඇ.ඩො. ට සාපේක්ෂව රුපියලේ අගය 160 ඉක්මවා යාහැකි බවත් තව දුරටත් විශ්ලේෂකයින් ඇස්තමේන්තු කර ඇත.  

2016 මහ බැංකු වාර්තාවෙන් මේ වන විට හෙලිවී ඇති මෙම මගඩිය ක්‍රියාත්මක කර ඇති ආකාරය විශ්ලේෂකයින් දැන් සොයා ගෙන ඇත. 

2016 මහ බැංකු වාර්තාවට අනුව, 2016 අග වන විට “පවත්නා වෙළදපොළ මිල අනුව ශ්‍රී ලංකා දළ දේශීය නිශ්පාදිතය” (Gross Domestic Product at Current Market Prices) රුපියල් බිලියන 11,839 ක් ලෙස ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව ගණනය කොට ඇත. ඒ ආකාරයටම, 2015 මහ බැංකු වාර්තාවට අනුව, 2015 අග වන විට, පවත්නා වෙළදපොළ මිල අනුව, ද.දේ.නි. වාර්තා වී තිබුනේ රුපියල් බිලියන 11,183 වශයෙනි. එසේ නම්, 2016 වසර තුළදී “පවත්නා වෙළදපොළ මිල අනුව ද.දේ.නි.” යේ වැඩිවීම රුපියල් බිලියන 656 කි. එම අගය, “පවත්නා වෙළදපොළ මිල අනුව”, 2016 වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ද. දේ. නි. යේ වර්ධන වේගය වන අතර, ප්‍ර‍තිශතයක් වශයෙන් එය 5.9% ක් විය. ඉන් පසුව, එම අගයෙන්, 2016 වසර සදහා “ද.දේ.නි. යේ අවධමනකය” (GDP Deflator) වන 3.6% සහ මිල සංශෝධිතය වන 0.1% අඩුකල විට, 2016 වසර සදහා ශ්‍රී ලංකාවේ මූර්ත දළ දේශීය නිශ්පාදිත ප්‍ර‍තිශතය වශයෙන් 2.2% අගයක් සටහන් වනු ඇත. මෙම ගණනය කිරීම, පහත දක්වා ඇති වගුවේ (ආ) කොලමයේ පෙන්වා දී ඇත.  

එහෙත්, ඉහත සදහන් ගණනය කිරීමට පටහැණිව, රජය සහ ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව (ජ.සං.දෙ) කර ඇත්තේ, 2015 වසර සදහා පසුගිය වසරේදී “පවත්නා වෙළදපොළ මිල අනුව ද.දේ.නි.” වෙනුවෙන්, පෙර වාර්තා කළ අගය වූ රුපියල් බිලියන 11,183 වෙනුවට, රුපියල් බිලියන 10,952 ක පමණක් වන අගයක්, කිසිදු පිළිගත හැකි පැහැදිලි කිරීමකින් තොරව හොර රහසේම ආදේශ කිරීමය. මෙසේ කිරීමෙන්, රුපියල් බිලියන 231 ක දැවැන්ත අගයක් 2015 වසර ද.දේ.නි. න් අඩුකර, 2016 වසර ද.දේ.නි. එකතු කර ගනිමින්, 2016 අගය අයුතු ලෙස පිම්බීමට ඔවුන් කටයුතු කොට ඇත. එසේ කිරීමෙන්, පවත්නා වෙළදපොළ මිල අනුව 2016 ද.දේ.නි. රුපියල් බිලියන 887 කින් වංචනික සහ වැරදි ලෙස වාර්තා කිරීමට ඔවුන් සමත්වී ඇත. ඉන් පසු, එම වැඩිවීමේ ප්‍ර‍තිශතය 8.1% ක් ලෙස ගණනය කොට, එම ප්‍ර‍තිශතයෙන් 2016 ද.දේ.නි. යේ අවධමනකය වන 3.6% සහ මිල සංශෝධිතය වන 0.1% අඩු කරමින්, 2016 සදහා ශ්‍රී ලංකා මූර්ත ද.දේ.නි. 4.4% ක් බවට ප්‍රෝඩාකාරී ලෙස වාර්තා කිරීමට ඔවුන් කටයුතු කොට ඇත. 

ශ්‍රී ලංකා ඉතිහාසයේ කිසි විටෙක, මෙවැනි ආර්ථික ඉලක්කම් විජ්ජාවක් ජ.සං.දෙ. විසින් කර නැතැයි එම දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරීන් පවසන අතර, එම ප්‍රෝඩාකාරී ඉලක්කම් විජ්ජාවෙන් සිදුවිය හැකි අයහපත් ප්‍ර‍ථිපල ඉමහත් බවද පවසා ඇත්තේ මහත් සංවේගශීලීවය. 

මෙම ඉලක්කම් මගඩිය තුළින් රටේ ආර්ථිකයේ කීර්ති නාමයට එල්ලවී ඇති පහර ඉතා දරුණුය. රාජ්‍ය තොරතුරු වල විශ්වසනීයභාවයේ පලුදු වීමෙන් සිදුවී ඇති හානිය දැවැන්තය. මේ සදහා වර්තමාන රජයේ සියලු වගකිව යුතු නායකයින් වගකීම භාරගෙන ඉල්ලා අස්විය යුතුය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආර්ථික පර්යේෂණ විශ්ලේෂකයෙකු විසිනි.

ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network