වැසිකිලි ප‍්‍රශ්ණය, රෙදි සේදීම ආදී සිරගෙදර ජීවිතය ගැන විමල් වීරවංශ මුල් වරට හෙළි කරයි srilanka-politics

වැසිකිලි ප‍්‍රශ්ණය, රෙදි සේදීම ආදී සිරගෙදර ජීවිතය ගැන විමල් වීරවංශ මුල් වරට හෙළි කරයි…
විමල් වීරවංශ මහතා සිරගත කිරීම දේශපාලන වශයෙන් අර්ථකථනය කර තිබුණේ ඔහුගේ හඬ නිහඬ කිරීම සඳහා ඔහුව සිරගත කර ඇති බවයි. මාස 3 ක්‌ සිරගත කර තිබූ එම හඬ යළි අවදි වී ඇති අතර, අප ඔහුගේ සිරගත ජීවිතය පිළිබඳව මෙන්ම වත්මන් දේශපාලනය පිළිබඳව ද විමසා සිටියෙමු. ඒ පිළිබඳව ඒ මහතා දැක්‌වූ අදහස්‌ පහත පරිදි වේ.

ප්‍රශ්නය- ඔබගේ හඬ නිහඬ කිරීම සඳහා ඔබ සිරගතකළ බවට චෝදනා එල්ල කළත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මැදිහත් වී ඔබට ඇප ලබාදුන් බවට ප්‍රති චෝදනාවක්‌ එල්ල වී තිබෙනවා.

එම චෝදනාව පිළිබඳව ඔබගේ ස්‌ථාවරය කුමක්‌ද?

පිළිතුර- රනිල් වික්‍රමසිංහ මහතා මැදිහත්වී මට ඇප ලබාදුන්නා නම් ඒ කියන්නේ මට මාස තුනක්‌ ඇප නොදී තබාගෙන ඉඳල තිබෙන්නෙත් රනිල් වික්‍රමසිංහ මහතාම විය යුතුනේ. ආණ්‌ඩුව අපිව හිරේ දැම්මහම කියනව එක කතාවක්‌. ඇප නොදී මාස තුනක්‌ තියාගෙන ඉන්න කොට කියනව තව කතාවක්‌. මාස තුනකට පසු ඇප අරගෙන එළියට ආවට පසු කියනව තව කතාවක්‌. කතා කියන අයට මොනව කරත් කතා කියන්න පුළුවන්.

නමුත් අපි දන්නවා රටේ මතුවූ ජනතා මතය ඇප ලබාදීම සඳහා ප්‍රබල ලෙස හේතුවූ බව. යූඑන්පී පාක්‍ෂිකයන් පවා මාව සිරගත කිරීම පළිගැනීමක්‌ කියන එක පිළිගන්න තත්ත්වයක්‌ ඇති වූවා. එම පළිගැනීමක්‌ කියන මතය තහවුරු වීමත් සමග ආණ්‌ඩුවේ දේශපාලනඥයන්ට සිද්ධ වූවා විමල් වීරවංශට ඇප ලබාදෙන ලෙස නීති අංශවලට උපදෙස්‌ දෙනවා වගේ ප්‍රවෘත්ති නිර්මාණය කිරීමට.

ඇප ලබාදෙන්නේ අධිකරණයෙන්. එසේ නොමැතිව සිරිකොතෙන් ඇප ලබාදෙන්නේ නැහැනේ. සිරිකොතෙන් එµaසීඅයිඩියට කියල හිරේ දාන එක කරනවා. ඇප ලැබෙන එක නොලැබෙන එක අගමැතිට තීරණය කිරීමට පුළුවන් නම් ඔය කියන කතාව හරි වෙන්න පුළුවන්.

ප්‍රශ්නය- ඔබට එල්ල කර තිබෙන චෝදනාවම තිබෙන තවත් පුද්ගලයන් සිටිනවා. නමුත් ඔවුන් සම්බන්ධයෙන් මේ දක්‌වා නීතිය ක්‍රියාත්මක නොවීම පිළිබඳව සඳහන් කිරීමට තිබෙන්නේ කුමක්‌ද?

පිළිතුර- මෙතැනදී සිද්ධ වෙන්නේ, ඒකාබද්ධ විපක්‍ෂයේ මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිතුමා මූලික කොටගත් දේශපාලන කඳවුරේ තමන්ව අභියෝගයක්‌ වන චරිත තෝරා බේරාගෙන දඩයම් කිරීමේ මෙහෙයුමක්‌ ක්‍රියාත්මක කිරීම. එය පිටපොත්ත විධියට රාජ්‍ය දේපළ අවභාවිතා කිරීම වැනි කුමක්‌ හෝ චෝදනාවක්‌ එල්ල කරනවා. උදය ගම්මන්පිල රාජ්‍ය දේපළ අවභාවිතා කිරීම යන චෝදනාව එල්ලකළ නොහැකි නිසා ඔස්‌ටේ්‍රලියාවේ සිටින සුද්දෙක්‌ව ලංකාවේ වියදමින් අරන් ඇවිත් ඔහුට නඩු දැම්ම. ඔහුව සිරගත කළා. ඒ වගේ මේ කඳවුරේ සිටින අයට ගහන්න කුමක්‌ හෝ හේතුවක්‌ හදාගෙන ඔවුන්ව බිය ගන්වන්න, යටත් කරන්න ආණ්‌ඩුවට අවශ්‍ය වී තිබෙනවා.

මම මාස තුනක්‌ සිරගත කළත් මම බන්ධනාගාරයේ රෝහලට ඇතුළත් වුණේ නෑ. මම සිටියේ සිරකුටිය තුළ. එම කාලය තුළ මට පොත් දෙකක්‌ රචනා කිරීමට හැකි වූවා. ඒ වගේම කාලයකට පසු චිත්‍ර අඳින්නත් පුළුවන් වූවා. ඒ වගේම අපිට හිරේ ඉන්න පමණක්‌ නෙවෙයි හිරේ නොයා ඉන්නත් පුළුවන් කියල පෙන්වන්නත් පුළුවන් වූවා. මේ දේශපාලන දඩයමට එරෙහිව එහිදී අපිට තනිවම වුවත් විරෝධතාව දක්‌වන්න පුළුවන් කියන එකත් පෙන්වන්න පුළුවන් වූවා.

එම නිසා ආණ්‌ඩුව අපේක්‍ෂා කළා නම් අපිව හිරේ දාල නිහඬ කිරීමට එය කිසිසේත්ම ඉෂ්ට වෙලා නෑ. එම දේශපාලන අරමුණින් තමයි මේවා සිද්ධ කරන්නේ. මේ කියන ඊනියා චෝදනා තිබෙන වෙනත් අයට මේ ප්‍රශ්නේ බලපාන්නේ නැත්තේ ඒ නිසා. මේ ආණ්‌ඩුවේ සිටින අය වාහන අවභාවිතා කිරීම් පිළිබඳව ඕනෑ තරම් කරුණු පාර්ලිමේන්තුවේදී අනාවරණය වී තිබෙනවා. ඒ කිසිවකට ක්‍රියා මාර්ග ගෙන නෑ. ඒ නිසා පැහැදිලියි මේ වන විට ආණ්‌ඩුව තමන්ට තර්ජනයක්‌ වන තමන්ට අභියෝගයක්‌ වන චරිත ඉලක්‌ක කරගෙන මර්දනයක්‌ ක්‍රියාත්මක කරන බව.

ආණ්‌ඩුව බෙදුම්වාදීන්ට ඕනී විදියට නටන්න හදන නාඩගම නටන්න නම්, ජිනීවා වලට ඕන නාඩගම නටන්න නම්, ඉන්දියාවට ඕන නාඩගම නටන්න නම් ඊට පෙර මෙම ජාතිකවාදී දේශප්‍රේමී දේශපාලන කඳවුර දුර්මත කරන්න ඕනී. ඒක දුර්මුඛ කිරීමට නම් අවලාද නගලා, බොරු චෝදනා ඉදිරිපත් කරල සිරගතකරල ව්‍යාකූලත්වයක්‌ හදන්න ඕනී. ඒක තමයි මේ සිද්ධ වෙන්නේ.

ආණ්‌ඩුවට අනුබද්ධ විපක්‍ෂයෙන් අර න්‍යාය පත්‍රයට තර්ජනයක්‌ නෑ. ආණ්‌ඩුව ජිනීවාවලට අනුව නටන නැටිල්ලට ආණ්‌ඩුවට අනුබද්ධ විපක්‍ෂයෙන් තර්ජනයක්‌ නෑ. ආණ්‌ඩුව ඉන්දියාවට අනුව නටන නැටිල්ලට ආණ්‌ඩුවට අනුබද්ධ විපක්‍ෂයෙන් තර්ජනයක්‌ නෑ. ඒ වගේම ආණ්‌ඩුව බෙදුම්වාදීන්ට ඕන විධියට නටන නැටිල්ලට ආණ්‌ඩුවට අනුබද්ධ විපක්‍ෂයෙන් තර්ජනයක්‌ නෑ. මීතොටමුල්ල කුණු කන්දේ ඇති වූ සිද්ධිය වගේ සිදුවීමක්‌ මහින්ද රාජපක්‍ෂ යුගයේදී සිද්ධ වූවා නම් ඔය අනුබද්ධ විපක්‍ෂයේ මහත්වරු එම ස්‌ථානයේ පැල් බැඳගෙන විරෝධතා ව්‍යාපාර පවත්වනවා. එම අනුබද්ධ විපක්‍ෂය මේ ආණ්‌ඩුවෙන් කිසිදු තර්ජනයක්‌ නෑ. අනුබද්ධ විපක්‍ෂය හීලෑ වෙලා තිබෙනවා. හීලෑ නොවූ ඒකාබද්ධ විපක්‍ෂයට මර්දනය කරගෙන යනවා. එයට හේතුව තමයි අර න්‍යාය පත්‍රය දිගේලි කිරීමට නම් දේශප්‍රේමී කඳවුර නිහඬ කළ යුතු බව ආණ්‌ඩුව තීරණය කර තිබීම.

ප්‍රශ්නය- ඔබ ඇප ලබා ගැනීම සඳහා ඔබගේ දියණිය පවා යොදා ගත් බවට සමහර පුද්ගලයන් චෝදනා කරනවා.

එම චෝදනාව පිළිබඳව ඔබගේ ස්‌ථාවරය කුමක්‌ද?

පිළිතුර- මහෙස්‌ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබා ගැනීමට නම් සුවිශේෂ හේතුවක්‌ තිබිය යුතුයි. මම දන්න විදියට මීට පෙර ඔය කියන පොදු දේපළ පනත යටතේ අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කළ සියලු දෙනාගේම පාහේ සුවිශේෂ හේතුව වී තිබෙන්නේ තමන්ගේ දරුවන්ට ඉන් ඇතිවී තිබෙන මානසික ව්‍යාකූලත්වය. එම තත්ත්වය තමන්ගේ දරුවකුගේ ඇති වුණහම එම වෛද්‍ය වාර්තා අධිකරණයට ඉදිරිපත් කිරීම නීතිඥයන්ගේ කාර්ය භාරයක්‌. එය තමන්ගේ දරුවන් පාවිච්චි කිරීමක්‌ නොවෙයි. එය තමන්ගේ දරුවකු මානසිකව රෝගී තත්ත්වයට පත්වීමට තිබුණද, අවදානමෙන් ගොඩ ගැනීම සඳහා අධිකරණයෙන් කරන ඉල්ලීමක්‌.

මා අත්අඩංගුවට ගත් පසු මගේ දුවගේ ඇති වන මානසික පීඩන තත්ත්වය වෛද්‍ය වාර්තා අනුව අධිකරණයට ඉදිරිපත් කිරීම වරදක්‌ වන්නේ කොහොමද? ඔය අපව හිරේට දාන මෙහෙයුමේ හිටපු ආණ්‌ඩුවයි, ආණ්‌ඩුවේ අනුබද්ධ විපක්‍ෂයයි නගන බොරු චෝදනා. ඔවුන් සිතුවේ අපි හිරේ දැම්මහම රෝහල් ගත වෙලා, කිසිම පොතක්‌ නොලියා අනෙක්‌ අයගේ තත්ත්වයට පත්වේවි කියල. සිරගත ජීවිතයේ අභියෝගය අපි භාරගත්තා. හිරේ දැම්මහම අපි බඩගින්නේ වුවත් ඉන්න සූදානම් කියන එකත් පෙන්වූවා. එම දේශපාලන ක්‍රියාදාමයේ වටිනාකම කෙලෙසීම සඳහා ඔය සතුරු බලවේග මොන මොනව හරි කියනවා. ඔවුන්ට වෙන ජොබ් එකක්‌ නෑ ඒක කියන එක හැරෙන්න.

ප්‍රශ්නය- මහානායක හිමිවරුන්ගේ මැදිහත් වීමෙන් ඔබ උපවාසය අවසන් කිරීමෙන් පසුව ඔබගේ පැරැණි මිතුරකු වූ ලාල් කාන්ත මහතා ප්‍රකාශ කළා කාගේ හෝ මැදිහත්වීමෙන් ඔබ උපවාසය අවසන් කරන බව ඔවුන් දැන සිටිය බව.

ඔබගේ පැරැණි මිතුරාගේ ප්‍රකාශය පිළිබඳව මොනවද කියන්න තියෙන්නේ.

පිළිතුර- ලාල් කාන්ත මහතා කරන ප්‍රකාශවලට පිළිතුරු ලබාදීම වැදගත් කියල මම නම් සිතන්නේ නෑ. ජනතා විමුක්‌ති පෙරමුණ මේ වන විට දේශපාලන වශයෙන් වල්මත් වෙලා සිටින්නේ.

කවුරු හරි මැදිහත් වෙලා නෙවෙයි, උපවාසය නතර කරන ලෙස ඉල්ලා සිටියේ මහානායක හිමිවරු සහ අනුනායක හිමිවරු. අනික උපවාසය නතර කළේ 9 වන දිනයේදී දින 8 ක්‌ එක දිගට නිරාහාරව සිටියා. මම හිතන්නේ නැහැ ජනතා විමුක්‌ති පෙරමුණේ සිටින ඔය එක හාදයකුටවත් දින 8 ක්‌ නෙවෙයි දින 4 ක්‌වත් නිරාහාරව ඉන්න පුළුවන් කියලා. එළියේ ස්‌ථානයක කළා නම් කියයි හොරෙන් කෑවා කියලා. බන්ධනාගාරය කියන්නේ ආණ්‌ඩුවේ මධ්‍යස්‌ථානයක්‌. බන්ධනාගාරය තුළ අප සිටියේ ඔවුන්ගේ විපරම යටතේ. මම උපවාසය ආරම්භ කළ අවස්‌ථාවේ සිට නිලධාරියෙකුගේ අධීක්‍ෂණය යටතේ සිටියේ. එම නිසා පූර්ණව නිරාහාරව දින 9 ක්‌ ගත කළාට පසු මහානායක හිමියන්ගේ ඉල්ලීම, අනුනායක හිමියන්ගේ ඉල්ලීම, එම ස්‌ථානයට වැඩම කළ ස්‌වාමිපාදයන් වහන්සේලාගේ ඉල්ලීම අනුව තමයි උපවාසය නතර කළේ.

උපවාසයෙන් අපේක්‍ෂා කළේ ඇප ලබා ගැනීම නොවෙයි. එයින් අප අපේක්‍ෂා කළේ මෙම දඩයමට එරෙහිව ජනතා මතය අවදි කිරීම. එය සිද්ධ වූවා.

ප්‍රශ්නය- ඔබ නීතිඥයන්ගේ සහයෙන් තොරව අධිකරණය හමුවේදී දීර්ඝ කරුණු දැක්‌වීමක්‌ කළ බව මාධ්‍ය වාර්තා කර තිබුණා.

එයට අධිකරණයෙන් ලැබුන ප්‍රතිචාරය කුමක්‌ද?

පිළිතුර- මහෙස්‌ත්‍රාත්තුමිය මට අවසර ලබා දුන්නා නීතිඥ සහයෙන් තොරව කරුණු ඉදිරිපත් කිරීමට. පුරා පැයක පමණ කාලයක්‌ කරුණු ඉදිරිපත් කරමින් මම ප්‍රධාන තර්ක කිහිපයක්‌ මතු කළා.

එකක්‌ තමයි පොදු දේපළ පනතේ 8.1 වගන්තිය අනුව නොව, වැරදි විදියකට මම අත්අඩංගුවට ගෙන ඇති බව පොදු දේපළ පනතේ 8.1 වගන්තියේ සඳහන්වනවා. සහකාර පොලිස්‌ අධිකාරිවරයකු සහතිකයක්‌ දෙන අවස්‌ථාව වන විට අදාළ සැකකරුවා අධිකරණයට භාරවී හෝ අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කර තිබිය යුතු බව. මට අදාළ බී වාර්තාවේ සහතිකය සහකාර පොලිස්‌ අධිකාරිවරයා අධිකරණයට ඉදිරිපත් කරල තිබෙන්නේ සැප්තැම්බර් මාසයේදී. නමුත් මාව අත්අඩංගුවට ගත්තේ ජනවාරි 10 වැනිදා. නීතියට අනුව එම කටයුත්ත වැරදියි. එම වැරැද්ද මම පෙන්වා දුන්නා.

දෙවනුව මා පෙන්වා දුන්නා මේ කියන ඊනියා චෝදනාව මගේ හිටපු නියෝජ්‍ය ඇමැතිවරයාටත්, හිටපු සභාපතිවරයාටත් තිබෙන බව. ඔවුන්ගේ රියෑදුරන් ලබාදුන් කටඋත්තර මගේ බී වාර්තාවේ සඳහන් වී තිබෙනවා. එක්‌ රියෑදුරකු සඳහන් කර තිබෙනවා මහර ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ශාඛාවේ කටයුතු සඳහා එම වාහන යොදාගත් බව. එසේ තිබියදී ඔවුන් සම්බන්ධයෙන් මෙම නීතිය ක්‍රියාත්මක කර නොමැති බවත් මම පෙන්වා දුන්නා.

තුන්වනුව මම පෙන්වා දුන්නා, මම මහජන නියෝජිතයකු බවත්, එය ඇප ලබාදීම සඳහා විශේෂ හේතුවක්‌ විය යුතු බවත්. මහෙස්‌ත්‍රාත්වරයකු වීම යන කාරණය විශේෂ හේතුවක්‌ ලෙස සලකා තිළිණ ගමගේ විනිසුරුතුමන්ට ඇප ලබා දුන්නා. මට මතක විදියට ඒ මහතා අත්අඩංගුවට ගත්තේ වනජීවී පනත යටතේ. එහිදීත් ඇප ලබාදීම සඳහා විශේෂ හේතුවක්‌ තිබිය යුතුයි. එම අවස්‌ථාවේදී සුවිශේෂ හේතුව වූයේ මහෙස්‌ත්‍රාත්වරයකු වීම. මම ඉදිරිපත් කළ තර්කය තමයි මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන බව. මම නියෝජනය කරනවා තුන් ලක්‍ෂයකට වැඩි මහජන මනාපයක්‌. මාස ගණනක්‌ තිස්‌සේ මට ඔවුන්ව මුණ ගැසීමට නොහැකි වී තිබුණා. එම නිසා මගේ ඡන්ද දායකයාගෙත් අයිතිය අහිමි වී තිබුණා. තෝරාගත් මන්ත්‍රීවරයකුට ආදේශක නැහැ. වෙන වෘත්තිකයකු නම් ඔහු වෙනුවට ආදේශකයක්‌ යොදන්න පුළුවන්. නමුත් ඡන්ද දායකයන් සේවය බලාපොරොත්තු වන්නේ තමන් පත්කර යවපු නියෝජිතයාගෙන්. එමනිසා මන්ත්‍රීවරයකු වීම සුවිශේෂ හේතුවක්‌ ලෙස සලකා මට ඇප ලබාදෙන ලෙස ඉල්ලා සිටියා. නමුත් මම ඉදිරිපත් කළ කරුණු සලකා බලා මහෙස්‌ත්‍රාත්තුමිය ඇප ලබාදීමක්‌ සිදුකළේ නෑ.

ප්‍රශ්නය – සිරගෙදරදී ඔබගේ කාලය ගත වූයේ කෙසේද? ඔබ ලබපු අත්දැකීම් මොනවාද?

පිළිතුර – ජීවිතයේ පළමුවැනි වතාවට තමයි මම රිමාන්ඩ් බන්ධනාගාර ගත වූයේ මැගසින් බන්ධනාගාරයේ ඊ වාට්‌ටුවේ තමයි අපගේ සිරකුටිය තිබුණේ. මෙම වාට්‌ටුවේම තමයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාත් 70 ගණන්වලදී මාස 3 ක්‌ ඉඳල තිබෙන්නේ.

මට හිරකරුවන් විශාල සහයෝගයක්‌ ලබල දුන්නා. උදේ 6.00 ට තමයි සිරකුටිය අරින්නේ. සවස 5.30 ට යළිත් සිරකුටිය වසනවා. එලෙස සිරකුටිය ඇරියත් අප ඊ වාට්‌ටුව තුළ රැඳී සිටිය යුතු වනවා. එම වාට්‌ටුවේ ප්‍රධාන දොරටුව අරින්නේ උදේට පැය භාගයයි. සවසට පැය භාගයයි. එම කාලය තුළදී තමයි හිරු එළියට නිරාවරණය වෙන්න පුළුවන්කම තිබෙන්නේ. එසේ නොමැති නම් අමුත්තකු අපිව බලන්න ආවොත් ඔහුව හමුවීමට අවස්‌ථාව තිබෙනවා.

50 කට ආසන්න හිරකරුවන් සංඛ්‍යාවක්‌ සිටියා. ඒ අය සියලු දෙනාටම පාවිච්චි කිරීමට තිබුණේ වැසිකිළි දෙකයි. ඒ වගේම නාන්න තිබුණේa එක වතුර ටැංකියයි. එම හිරකරුවන් සමඟ සහෝදරාත්මකව බොහොම සමගියෙන් එම කාලය මම ගත කළා. ඔවුනුත් මා වෙනුවෙන් ලබාදිය හැකි උපරිම සහයෝගය ලබා දුන්නා. ඇත්තටම ඒ සෑම සිරකරුවකුටම මම මේ අවස්‌ථාවේදී ස්‌තුතිවන්ත වෙනවා. සෑම දුෂ්කර අවස්‌ථාවකදීම ඒ අය සොයා බලමින් සමහර විට මගේ ඇඳුම් පැළඳුම් පවා ස්‌වෙච්ඡාවෙන් ම සෝදා දෙමින්, මා වැසිකිළියට යැමට පෙර වැසිකිළිය පවා පිරිසිදු කර දෙමින් මා වෙනුවෙන් කැපවූවා.

ඔවුන්ගෙන් සමහර අය ජනවාරි 08 හංසයට කතිරය ගහපු අය. නමුත් අද ඔවුන් සිටින්නේ අපත් සමඟ සිට ගත් කඳවුරේ. ඒ වගේම බන්ධනාගාර නිලධාරීනුත් බොහෝමයක්‌ ඔවුන්ට හැකි අයුරින්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස සිරගත වී සිටියදී දිය හැකි ගරුත්වය ලබා දෙමින් කටයුතු කළා.

ප්‍රශ්නය – එම සිරකරුවන් ඔබගේ අනුගාමිකයන් බවට පත් කර ගැනීමට අවස්‌ථාව උදා වූයේ නැද්ද? ඔවුන් සමඟ දේශපාලනය පිළිබඳව සාකච්ඡා කිරීමට අවස්‌ථාව තිබුණද?

පිළිතුර – ගොඩක්‌ වෙලාවට දේශපාලනය නම් කතා කළා. දකුණු පළාතේ එක්‌ සිරකරුවකු සිටියා. ඔහු එක්‌සත් ජාතික පක්‍ෂයට සම්බන්ධ පවුලක සාමාජිකයෙක්‌. පසුගිය මැතිවරණයේදීත් වැඩ කරල තිබෙන්නේ එම පක්‍ෂයට.

මා සඳහන් කළ සිරකරුවා බැලීමට ඔහුගේ මව පැමිණි අවස්‌ථාවේදී ඔහු සඳහන් කර තිබෙනවා. මා ඔවුන් සමඟ සිටින බවත්, අප හොඳ අය වන බවත්, අප සිටින පැත්ත දැන් වෙනස්‌ කළ යුතු බවත්, ඔහුගේ අම්මා එම අවස්‌ථාවේදී සඳහන් කරල තිබෙනවා. ඔහු නිදහස්‌ වී ගිය පසු පැරණි වැරදි යළි නොකර සිටිනවා නම්, ඔහු කියන විදියට දේශපාලන කඳවුර වෙනස්‌ කිරීමට සූදානම් බව. අම්මාට එහෙම කියන්න තරම් මානසික පෙළැඹීමක්‌ එම තරුණයන් තුළ ඇති වූවා. එයට හේතුව මම දේශපාලන කරුණු කියා දීමම නොවෙයි ඔවුන් සමග සාමාන්‍ය සිරකරුවකු ලෙස ජීවත් වීම. අපි එතැන වෙනම විශේෂ තත්ත්වයක්‌ බලාපොරොත්තු වූයේ නෑ. එම තත්ත්වය තුළ දේශපාලන වෙනස්‌වීම්වලට ලක්‌වූ අය සිටිනවා.

ප්‍රශ්නය – ඔබ පොත් දෙකක්‌ රචනා කළ බවත් සඳහන් කළා. ඒ පිළිබඳව වැඩිදුරටත් සඳහන් කරනවා නම්,

පිළිතුර – “රටට වුවමනා වම” යන කෘතිය මුද්‍රණය බාරදීමට පමණයි තිබෙන්නේ. එම කෘතිය මගින් මම ප්‍රධාන වශයෙන්ම පෙන්වාදීමට උත්සාහ කරන්නේ, අපේ රටේ වාමාංශික දේශපාලනය බෞද්ධ සභ්‍යත්වයත් සමඟ මුසු වෙන්න ඕනි ඇයි කියෙන කාරණය. ඒ වගේම බෞද්ධ සභ්‍යත්වය කියන්නේ කුමක්‌ද කියන එක සහ රාජ්‍ය පාලනයේදී බෞද්ධ සභ්‍යත්වය යොදා ගන්නේ කෙසේද කියන කාරණයත් මෙම කෘතිය මගින් සාකච්ඡා කරනවා. ඊට අමතරව බෞද්ධ සභ්‍යත්වය ගැලපෙන්නේ සමාජවාදී දේශපාලන භාවිතාවකට මිස වෙනස්‌ දේශපාලන භාවිතාවකට නොවන බවත් මෙම කෘතිය මගින් පෙන්වාදීමට කටයුතු කර තිබෙනවා. එම කරුණු තහවුරු කිරීම සඳහා වූ ග්‍ර්‍රන්ථයක්‌ ලෙස “රටම වුවමනා වම” සම්පාදනය කර තිබෙනවා.

“විලංගු ලූ අක්‍ෂර” නමිනුත් කෘතියක්‌ රචනා කළා. එය පිටු 400 – 500 අතර පොතක්‌ බවට පත් වේවි. එම පොත මගින් එදිනෙදා සිරගත ජීවිතය තුළ ලබපු අත්දැකීම් සහ මම කියවපු පත – පොත ඇසුරින් ලබපු අවබෝධය ඇතුළත්කරපු දෛනික සටහන්වලින් යුතු කෘතියක්‌ එය. එහි කටයුතුත් දැන් සියයට අනූවක්‌ පමණ අවසන් වී තිබෙනවා. මැයි මාසය තුළදී මෙම කෘතීන් දෙක එළිදැක්‌වීමට පුළුවන් වේවි කියල අපි බලාපොරොත්තු වෙනවා.

ප්‍රශ්නය – ඔබ ඇඳපු චිත්‍ර මොනවාද?

පිළිතුර – ඇත්තටම මම චිත්‍ර 30 ක්‌ වත් අඳින්න උත්සාහ කළා. චිත්‍ර ප්‍රදර්ශනයක්‌ පැවැත්වීම සඳහා. නමුත් උපවාසය ආරම්භ කළ නිසා චිත්‍ර 15 ක්‌ පමණ තමයි අඳින්න පුළුවන් වූයේ. සමහර විට තවත් චිත්‍ර 15 ක්‌ පමණ ඇඳල ඉදිරියේදී ප්‍රදර්ශනයක්‌ වුවත් පැවැත්වීමට ඉඩ තිබෙනවා.

කෙසේ වුවත් පාසල් සමයේ සිට චිත්‍ර ශිල්පයට මම ඇලුම් කළා. මම හොරණ ශ්‍රීපාලි විද්‍යාලයේ අමතර පංතියකට පවා සහභාගි වී චිත්‍ර ශිල්පය ඉගෙන ගැනීමට උනන්දු වූවා. නමුත් පසුගිය කාලයේ චිත්‍ර අඳින්න පුළුවන්කමක්‌ තිබුණේ නෑ. සිරගත කාලයේදී එම හැකියාවට යළි පණ දෙන්න පුළුවන් වූවා.

පොත් දෙකක්‌ ලියන්න පුළුවන් වූවා. චිත්‍රත් අඳින්න පුළුවන් වූවා. ඒ අතින් බැලුවහම සිරගත කළ අයට ස්‌තුතිවන්ත වෙනවා.

ප්‍රශ්නය – ඔබ එක්‌සත් ජාතික පක්‍ෂයට එක්‌වීමට සූදානම් වන බවට වාර්තා පළ වී තිබෙනවා. එම වාර්තා පිළිබඳව ඔබගේ අදහස කුමක්‌ද?

පිළිතුර – සභාවේ සිනා කියල තමයි කියන්න තිබෙන්නේ. දැන් මෙහෙමනේ, ඔය කතා හදන අය මාස 3 ක්‌ හිරේ ඉඳල එන කොට කියනවා රනිල්ගෙන් ඇප ලබා ගෙන ආවා කියලා. නමුත් ඇතුළට දැම්මේ කවුද කියල කියන්නේ නැහැ. එයට අයිතිකාරයෙක්‌ නෑ. නමුත් මාස 3 කින් ඇප ලබාගෙන එනකොට ඊට අයිතිකරුවකු හදනවා.

ඊට පසුව එයටම සම්බන්ධ කරල කතා හදනවා. එක්‌සත් ජාතික පක්‍ෂයට සම්බන්ධ වෙන්න යනවා කියලා. ඇත්තටම ඔය කතා හදන අය හදපුවාවේ. නමුත් මේ කතාව ඇත්තද කියල කවුරු හරි අසනවා නම්, එම ප්‍රශ්නය තරම් අවමානයක්‌a නැහැ තවත්. මොකද යූ. එන්. පී. එකට යනවා කියන මගේ ජීවිතයට සිද්ධ වෙන්නේ නැති දෙයක්‌. අධිරාජ්‍යවාදී න්‍යාය පත්‍රය කරගසාගත් යූ. එන්. පී. එකට අපි යනවා නම් මැරිල යළි ඉපදිය යුතුයි. එය කිසිසේත්ම සිද්ධ වෙන දෙයක්‌ නොවෙයි.

එරික්‌ ගාමිණි ජිනප්‍රිය
– දිවයින




ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network