කොටි මධින්නට බුද්ධිය මෙහෙයවූ නාවික නිලධාරීන් දංගෙඩියට යවන මෙහෙයුමක් srilanka-army

කොටි මධින්නට බුද්ධිය මෙහෙයවූ නාවික නිලධාරීන් දංගෙඩියට යවන මෙහෙයුමක්


නාවික හමුදාවෙන් දෙමළ තරුණයින් පස්දෙනකු පැහැරගෙන ත්‍රිකුණාමල කඳවුරේ රඳවා ඇතැයි කියනු ලබන චෝදනාව මත මේ වනවිට විශේෂ විමර්ශනයක් ඇරඹී ඇත්තේය. 2007 වසරේදී පැහැරගෙන ගොස් ඇතැයි කියන මෙම තරුණයින් සම්බන්ධයෙන් ඔවුන්ගේ දෙමාපියන් අධිකරණයේ පිහිට පැතීමත් සමග රහස් ‍පොලිසිය ඊට අදාළ විමර්ශන සඳහා අවසර ලැබෙන්නේය
නේවි නයින් නමැති කල්ලියක් කප්පම් ගැනීම සඳහා තරුණයින් පැහැරගෙන ගොස් මරා දමා ඇතැයි චෝදනාවක් කරළියට එන්නේද 2015 වසරේදීය. ඒ අනුව නාවික හමුදාවේ මෙකී නව දෙනාගේ කල්ලිය ප්‍රශ්න කිරීම්වලට ලක් වෙද්දී ‍පොලස් මාධ්‍ය ප්‍රකාශකව සිටි අජිත් රෝහණ මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ නාවික හමුදාවේ සුදු වෑන් කල්ලියක් ත්‍රිකුණාමලය හා කොළඹ මෙහෙයුම් මධ්‍යස්ථාන වශයෙන් තබාගෙන දරුවන් පැහැරගෙන ගොස් කප්පම් ගැනීමක් ගැන චෝදනාවකට ප්‍රශ්න කළ බවය.
මෙකී චෝදනා ගැන විමර්ශන ඇරඹෙන්නේද අමුතුම ආකාරයකටය.
ඔස්ට්‍රේලියාවට මිනිසුන් හොරෙන් ගෙන යන ජාවාරම පසුපස සිටි කනිෂ්ඨ නිලධාරියකු ගැන නාවික බුද්ධි අංශය මගින් හෙළි කරගැනීමත් සමග අදාළ මිනිස් ජාවාරමට සම්බන්ධ නිලධාරියා මුළු නාවික හමුදාවේම සමස්ත බුද්ධි මෙහෙයුම් පාවා දෙන්නට වූයේය.

එදා මිනිස් ජාවාරමට සම්බන්ධ වූ මෙකී නිලධාරියා කනිෂ්ඨ නිලධාරියකුට නොලැබෙන නාවික හමුදා ආරක්ෂාවක්ද මේ වන විට ලබාගෙන ඇත්තේ තමාට ජීවිත තර්ජනය ඇති බව කියමිනි.
බහුදින යාත්‍රා 123කින් පුද්ගලයින් 12800ක් ඔස්ට්‍රේලියාවට පටවා ඇති බවට චෝදනා ලැබෙන මෙකී නිලධාරියා තමා බෝට්ටු 62ක් සමග පුද්ගලයින් 3000ක් අත්අඩංගුවට ගත් වග පෙන්වා දී ඇත්තේය. නමුදු නාවික හමුදාව ඇල්ලූ බෝට්ටු 62න් 23ක්ම අල්ලාගෙන තිබුණේ ලුතිනන් කමාන්ඩර්වරයකු ලෙස නැගෙනහිරින් සුවිශේෂ මෙහෙවරක් කළ නාවික බුද්ධි නිලධාරි සුමිත් රණසිංහය.
එහෙත් මේ සතියේ කමාන්ඩර් සුමිත් රණසිංහ දෙමළ තරුණයන් පස්දෙනකු පැහැරගත් බවට චෝදනා පිට රහස් ‍පොලිසිය අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කරන්නේය.
ඒ ඕලන්ද හා බ්‍රිතාන්‍යයන් මෙරට පාලනය කළ සමයේ ත්‍රිකුණාමල නාවික කඳවුරේ ආරක්ෂාවට තිබූ කාලතුවක්කු උණ්ඩ ගබඩා කරන භූගත කඳවුරු දෙකක වධකාගාර පවත්වාගෙන ගිය බව කියමිනි.
මෙසේ හිරගෙට යවා ඇත්තේ යළි ඊළාම් යුද්ධය අවසන් වූ පසු හිස ඔසවන්නට යළි උත්සාහ ගත් විනයාකම්ගේ කොටි මෙහෙයුම ආපසු හැරවූ ‘ඔපරේෂන් බ්ලැක් ෆෝකස්’ නම් මෙහෙයුම දියත් කළ මහ මොළකරු වූ සුමිත් රණසිංහ නමැති නිලධාරියාවය.
හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා ඝාතනය කිරීමට තැත් කළ 2006 අප්‍රේල් 25දා පටන් කොටි බළකොටු තුළට රිංගා එල්.ටී.ටී.ඊ.යෙන් පැන ආ නැගෙනහිර කණ්ඩායම් සමග එක්වී කොටි බළකොටු තුළ රිංගා දරුණු ප්‍රහාර මාලාවක් එල්ල කිරීමටද ඔහු මූලික විය.
කොටි බළකොටුවේදී කමාන්ඩර් සුමිත් රණසිංහ ඇතුළු විශේෂ ප්‍රහාරක කණ්ඩායමක් මැයි 21දා ප්‍රහාරයක් එල්ල කර කඳවුරට පැමිණෙන්නේ කොටි 14ක් මරා දමා ඔවුන්ගේ අවි ආයුධද රැගෙනය. ප්‍රහාරයෙන් අනතුරුව කඳවුරට පැමිණි පසු එහි සිටි නිලධාරියකුගේ අත්වැරදීමක් නිසා කොටි ඔත්තුකරුවන් මෙම ප්‍රහාරය එල්ල කළ කණඩායම ප්‍රහාරය සාර්ථකව නිම කර නිවාඩු යන බව දැනගෙන නාවික බස් රථයට ක්‍ලේමෝ ප්‍රහාරයක් එල්ල කරන්නේ කන්ත‍ලේ, 98 කණුව අසලදීය. එම ප්‍රහාරයෙන් රණසිංහගේ කණ්ඩායමේ නිවාඩු ගිය 17න් දාහතරක්ම දිවි පිදූ අතර රණසිංහ හා ඉතිරි බේරුණු තිදෙනා දරුණු තුවාලද සහිතව රෝහල්ගත කෙරිණි.
එම ප්‍රහාරයෙන් සියයට 60ක්ම ආබාධිතයකු බවට පත්වූ කමාන්ඩර් රණසිංහට ඇසක් පෙනීම හා කනක් ඇසීම අඩු වුවත් දක්ෂ බුද්ධි නිලධාරියකු ලෙසින් සිව්වැනි ඊළාම් යුද්ධය අවසන් වනතුරු සටන් පෙරමුණේ කටයුතු කළේ රට ගැන සිතූ නිසාය.2012 මාර්තු මාසයේදී නාවික හමුදා බුද්ධි අංශයේ ත්‍රිකුණාමල කඳවුරේ නිලධාරියා ලෙස සුමිත් රණසිංහ තම ඔත්තු ජාලය මගින් ප්‍රංශයේ සිට හිස ඔසවන්නට වූ විනයාකම්ගේ ඩයස්‍පෝරා ඔත්තු ජාලයේ ක්‍රියාකාරකම් අනාවරණය කළේය.
යුද්ධයේ අවසන් කාලසීමාවේදී ප්‍රංශයට පැනගත් විනයාකම් යළි ඉපදෙන ජාත්‍යන්තර බුද්ධි ජාලය නමින් කොටි ටොසී ඔත්තු සේවාව පණගන්වන මෙහෙයුමක් අරඹන්නේ 2012දීය. විනායකම් ප්‍රංශයේදී කරළියට එන්නට යන්නේ වන්නි සටනේදී මරුමුවට පත් මුහුදු කොටි නායකයකු වූ විනයාකම්ගේ නමින්ය. එම්මානුවෙල් පියනම, රුද්‍රකුමාරන් ඇතුළු ඩයස්‍පෝරවේ සිටින ප්‍රබලයන්ගේ සහායෙන් ප්‍රංශය මුල් කරගෙන හිස එසවූ විනායකම් ප්‍රංශයේ සිය බුද්ධි මූලස්ථානය අරඹන්නේය. කොටින්ගේ ජාත්‍යන්තර බුද්ධි ප්‍රධානී විනයාකම් තමා යටතේ වූ සන්නද්ධ පුහුණු කඳවුරක් ඉන්දියාවේ ස්ථාපිත කරන්නේය.
වන්නි අවසන් සටන අතරේ කතෝලික පූජකයකු ලෙසින් වෙස් වළාගෙන ඉන්දියාවට පලා ගිය ත්‍රිකුණාමල කොටි බුද්ධි අංශ නායකයා වූ දේවන් යටතේ ඉන්දියාවේ වලවාක්කම්හි මෙකී පුහුණු කඳවුර ආරම්භ විය. හමුදා බුද්ධි අංශයට තොරතුරු දෙන ප්‍රධාන ඔත්තුකරුවන් සොයා පහරදීම දේවන්ට ප්‍රංශයේ විනායකම් දුන් අභියෝගය වූයේය.
වන්නියෙන් ඉන්දියාවට පැන සිටි කොටි සාමාජිකයන් එක්රැස් කර එකසිය පනහක කණ්ඩායමක් හැදූ දේවන් තුන්දෙනාගේ කණ්ඩායම් සකස් කර මන්නාරම් පැත්තෙන් මාළු බෝට්ටුවලින් රට තුළට එවන්නට පටන් ගත්තේය. මේඅයුරින් පළමුවෙන්ම මන්නාරමෙන් ඇතුළු වූ කණ්ඩායමට රුපියල් ලක්ෂ දහයක කොන්ත්‍රාත්තුවක් ප්‍රංශයෙන් ලැබුණේය.
ඉලක්කය වූයේ හමුදා බුද්ධි අංශයේ ප්‍රබල ඔත්තුකරුවකු වූ ඊපීඩීපී මුත්තු ඝාතනයයි. ඉන්බෙන් ගෲප් නමින් සැදි පේසාලෙන් රට තුළට ඇතුළු වූ ජෙයකුමාර් පරකේෂ්වරන් (ගෝපි), රත්නසිංහම් කෝකිලන් (ඉන්බන්), පාක්‍යතුරෙයි දිනේෂ් කුමාර් (දිනේෂ්) යන කොටි තිදෙනා සාම්පූර් වෙත ඇතුළු වන්නේ යුදසමයේ වළ දැමූ පිස්තෝල ගබඩාවක් ගොඩ දැමීමටය. නමුත් එහි නාවික කඳවුරක් තිබුණෙන් පිස්තෝල සොයාගත නොහැකි වූ තැන ඉන්බන්ගේ කණ්ඩායමට මුත්තුව ගෙල කපා මරන්නට ප්‍රංශයෙන් නියෝග ලැබිණි. ඒ අනුව එවකට ත්‍රිරෝද රථ රියැදුරකු වූ මුත්තුව කුලී ගමනක් යන මුවාවෙන් නිලාවේලි, පෙරියකුලම් වැව් ඉස්මත්තට ගෙන ගොස් 2012 මාර්තු 18දා ගෙල කපා මරා දමන්නේය.
මෙම ඝාතනයෙන් පසු යාපනයට පැනගත් මෙකී කල්ලියට මීළඟ ඉලක්කය ලැබුණේ නාවික හමුදාවට කොටි බෝම්බ ලොරිය ගැන ඔත්තුව දුන් ඔත්තුකරු ඝාතනය කිරීමටය. මෙකී බෝම්බ ලොරිය කොටි ත්‍රස්තයන් විසින් කොළඹ ජනාධිපති කාර්යාලය ආසන්නයේ පුපුරුවා හැර වර්ග කිලෝමීටරයක් ඇතුළත සියල්ල විනාශ වන අයුරින් පුපුරන ද්‍රව්‍ය කිලෝ 1200ක් අටවා සකස් කර තිබුණි. කනගරත්නම් ජීවරත්නම් (හැඳුනුම්පත් අංක 752872937) නමැති මරාගෙන මැරෙන පුහුණුවලත් කළු කොටි ප්‍රබලයා ත්‍රිකුණාමල අම්බලිපුරම්වලට මාළු ව්‍යාපාරිකයකු මෙන් පැමිණ සිටියදී ත්‍රිකුණාමල කඳවුරේ නාවික බුද්ධි අංශයට ලද ඔත්තුවක් මත කනගරත්නම් කොටු වන්නේය.
කනගරත්නම්ගෙන් ප්‍රශ්න කිරීමේදී කොළඹ මහා ව්‍යසනයක් සඳහා රැගෙන යාමට වූ මාළු ලොරියක් සේ සැකසූ බෝම්බ ලොරිය සොයා ගන්නට හැකිවිණි. කොළඹට ගෙන යාමට නියෝග ලැබෙන තුරු තබාගෙන සිටි මෙකී ලොරියේ වයිපර් මෝටරයේ ස්විචය ක්‍රියාත්මක කළ සැණින් පුපුරා යන්නට සූදානම් කර තිබිණි. අල්ලාගත් බෝම්බ ලොරිය කොයි මොහොතේ පුපුරා යයිද යන අවදානමක් තිබුණත් ජීවිත අවදානම නොතකා එය ත්‍රිකුණාමල කඳවුරේ වෙඩි භූමිය වෙත රැගෙන එන්නට නාවික බුද්ධි අංශයේ සෙබළ කුමාර ස්වේච්ඡාවෙන් ඉදිරිපත් විය. එදා වන්නි සටන අතරේ කොළඹ පළාතක් පුපුරුවා හරින්නට වූ කොටි සැලැස්ම ව්‍යර්ථ වන්නේ 2007 ජුනි 29දා බෝම්බ ලොරිය හා එය පුපුරුවා මරාගෙන මැරෙන්නට ආ ජීවරත්නම් අල්ලා ගැනීමත් සමගය.
ත්‍රිකුණාමල බෝම්බ ලොරිය නාවික හමුදාවට අසුවීම වන්නි සටනේ කොටින්ගේ එක් හැරවුම් ලක්ෂ්‍යයක් කණපිට පෙරළුණු සිදුවීමක් වූයෙන් මෙකී ලොරිය ගැන ඔත්තුව දුන් පුද්ගලයා මරන්නට ප්‍රංශයේ සිට විනයාකම් විසින් ඉන්බන් ගෲප් වෙත නියෝග දුන්නේය. මෙවර වෙඩි තබා ඝාතනය කරන්නට පිස්තෝලයක් සොයා ගන්නට නියෝග දී ප්‍රංශයේ සිට මොවුන්ට ලක්ෂ දහයක් එවා තිබුණි.
මෙකී ඉන්බන් කල්ලියට පිස්තෝල සපයන මුවාවෙන් ගොස් නාවික හමුදා බුද්ධි අංශය යළි රට තුළ ඝාතන රැල්ලක් කරන්නට සූදානම් වූ ඉන්බන් කල්ලිය කොටු කර ගත්තේය. මොවුනට ඩයස්‍පෝරාවෙන් නියෝග ලැබෙන්නේ මෙම කාලසීමාව තුළ හමුදා බුද්ධි අංශවල සිටින ප්‍රබල ඔත්තුකරුවන් ඝාතනය කිරීමය.
මෙකී කල්ලියෙන් ප්‍රශ්න කර ලබාගත් තොරතුරු මත මන්නාරමට මුහුදෙන් ඇතුළු වූ තවත් කොටි කණ්ඩායම් දෙකක් ත්‍රිකුණාමල නාවික බුද්ධි අංශය මගින් අල්ලා ගැනිණි.
ඒ වන විට ත්‍රිකුණාමල නාවික කඳවුරේ බුද්ධි නිලධාරි රණසිංහ ඇතුළු කණ්ඩායම් කොටින්ගේ ඊළාම් රාජ්‍යයේ අගනුවර ලෙස සැලකූ ත්‍රිකුණාමලය කේන්ද්‍ර කරගෙන කොටි ත්‍රස්තයන් ක්‍රියාත්මක කරන්නට ගිය ප්‍රහාර මාලාවක් අඩපණ කරන්නට සමත් විය. ත්‍රිකුණාමලයෙන් කොටින්ගේ ක්‍ලේමෝ බෝම්බ 140ක්,මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල හයක්, පිල්ලෙයාන් ඝාතනයට ගෙනැවිත් තිබූ සයිලන්සර් යෙදූ ගිනිඅවි ඇතුළු අවි ආයුධ රැසක් සොයාගෙන තිබිණි.
කොටි ත්‍රස්තයන්ට හිසදරයක් වූ මෙකී බුද්ධි අංශ කණ්ඩායමට එරෙහිව දැන් ඩයස්‍පෝරා මෙහෙයුමක් ඇරඹී තිබේ. රට වනසන්නට සැලසුම් කළ ප්‍රහාරවලට පැමිණි කොටින්ගේ ප්‍රබලම සටන්කරුවන් දේශපාලන සිරකරුවන් යන ‍ලේබලය අලවා සියලු ඝාතන, අපරාධවලින් මුදාහැරෙද්දී රට වෙනුවෙන් අනගි මෙහෙවරක් කළ යුද, නාවික බුද්ධි අංශයේ විරුවන් සිරගෙට යවන සැලසුම් දැන් ක්‍රියාත්මක වෙමින් ඇත්තේය. දෙමළ ඩයස්‍පෝරවේ බුද්ධි අංශ වට්ටන මෙකී මෙහෙයුමට රටට එරෙහිව ඩොලර්වලින් හඬ නගන රාජ්‍ය නොවන සංවිධානවල ප්‍රබල චරිත වූ සිංහලයන් සිටීමද කනගාටුවට කරුණකි.
කමාන්ඩර් සුමිත් රණසිංහ ඇතුළු නිලධාරීන්ට චෝදනා නැගෙන්නේ සිසුන් පිරිසක් පැහැරගත් වගටය. නමුත් පැහැරගත් වග කියන පස්දෙනාගෙන් ළාබාලම පුද්ගලයා වන රජීව් නාගනාදන්ගේ වයස 22කි.
එකී පිරිසේ වැඩිම වයස පුද්ගලයාගේ වයස 65කි. ත්‍රිකුණාමලයේ සිට කොළඹ කොටි මෙහෙයුම් දියත් කළ තෝනා අන්නා නමැති නායකයා යටතේ කේ‍රඩිට් කාඩ්වලින් මුදල් ඇද කොටි සංවිධානයට කොටසක් දී ඉතිරි කොටස බෙදාගන්නට මෙකී කොටහේනේ තරුණයන් ක්‍රියා කළ වගත් නාවික බුද්ධි අංශ අනාවරණය කරන්නේය. මෙම පිරිසේ සිටින රජීව් නාගනාදන්ගේ බාප්පා එල්.ටී.ටී.ඊ.යේ ජාත්‍යන්තර ජාලයේ සිටින කලින් කොළඹ ග්‍රෑන්ඩ්පාස්හි සිටි බාර් හිමිකරුවකු වගත් එවකට නාවික හමුදා බුද්ධි අංශ තහවුරු කොට තිබිණි. කොටින්ගේ කොළඹ මුදල් එක්රැස් කරන්නා ලෙස සිටි මොහුව කොටු කරන්නට යද්දී එංගලන්තයට පැන තිබුණේය.
මේ අයුරින් කොටි ජාත්‍යන්තර ජාලයේ වුවමනාව මත එල්ල වූ පීඩනයෙන් ත්‍රිකුණාමලයේ සිට සාර්ථක බුද්ධි මෙහෙයුම් 51ක් කර කොටි ප්‍රහාර 51ක් වළක්වන්නටත් කොළඹම පුපුරවන්නට ගෙනා බෝම්බ ලොරිය අල්ලන්නටත් ඔපරේෂන් බ්ලැක් ෆොක්ස් මෙහෙයුම හරහා අගනා බුද්ධි මෙහෙවරක් කළ කමාන්ඩර් සුමිත් රණසිංහ සිරගෙට යන්නේ බෝම්බ ලොරිය ගෙනා කොටි ත්‍රස්තයා හිරෙන් නිදහස්ව යන වටපිටාවකදීය.
රහස් ‍පොලිසියට මෙහිදී පැවරුණේ අතුරුදන්වීම්වලට අදාළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමය. රහස් ‍පොලිසියේ විමර්ශන නිලධාරීන් තමන්ට ලද අභියෝගය ඒ අයුරින්ම ක්‍රියාත්මක කරමින් ඇරඹි විමර්ශනවලට අනුව මෙම අත්අඩංගුවට ගැනීම් කෙරෙන්නේය.
තිස්ස රවීන්ද්‍ර පෙරේරා
tissaravindra@gmail.com

ඇඩ්මින් - Amisha ( cassano di'Adda ) Milano Italy
යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network