රතන හිමියෝ සියලු රහස්‌ හෙළි කරති… srilanka-politics

රතන හිමියෝ සියලු රහස්‌ හෙළි කරති…

ජාතික හෙළ උරුමය බිහිකිරීමේ පුරෝගාමී චරිතයකට පණ පෙවූ පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එම පක්‍ෂයම අද නොයෙක්‌ චෝදනා එල්ල කරමින් සිටීම වත්මන් දේශපාලන ක්‍ෂේත්‍රයේ එක්‌ ප්‍රධාන මාතෘකාවක්‌ වී තිබේ.

මෙම චෝදනා පිළිබඳවත් වත්මන් වැඩ කටයුතු පිළිබඳවත් රටේ දේශපාලනය පිළිබඳවත් උන්වහන්සේ සමඟ ‘ දිවයින ඉරිදා සංග්‍රහය’ කළ සම්මුඛ සාකච්ඡාවකි මේ.

ප්‍රශ්නය – අවසරයි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේගේ දේශපාලන ජීවිතය යම් අර්බුදයකට ලක්‌ව ඇති බව පෙනෙන්නට තිබෙනවා.

පිළිතුර – ඔය කියන විදිහේ කිසිම අර්බුදයක්‌ නැහැ. මම මගේ ජාතික මෙහෙවර වඩ වඩාත් හොඳින් කරගෙන යනවා.

ප්‍රශ්නය – එවැනි අර්බුදයක්‌ නැහැයි කියන්න බැහැ නේද?

පිළිතුර – අර්බුද නැත්තේ කොහේද? මම වනවාසී හිමිනමක්‌ නෙමෙයි නේ. ලෞකික ජීවිතය තුළ සිට මිනිසුන්ගේ එදිනෙදා ප්‍රශ්නවලට රටේ ප්‍රශ්නවලට විසඳුම් සොයද්දී ගැටුම්, ප්‍රශ්න, අර්බුද ඇතිවීම ස්‌වාභාවිකයි. නමුත් මම කිවයුත්තේ ඔය කියන කුමන ආකාරයේ බාධක පැමිණියත් ඊට මුහුණ දෙන්න මගේ ආධ්‍යාත්මික ශක්‌තිය බොහෝ බලවත් බව.

ප්‍රශ්නය – ඔබවහන්සේට එරෙහිව චෝදනා රැසක්‌ ජා.හෙ.උරුමය එල්ල කරනවා.

පිළිතුර – ඔවුන් මට එරෙහිව මොනවා කියනවද කියා මම නැවත ඔවුන්ගෙන් විමසන්න යන්නේ නැහැ. මට ඔබට සහ රටේ ජනතාවට දෙන්න තියෙන උත්තරය වන්නේ කවුරුත් කියන දේ පිළිබඳ නොව මා කරන දේ පිළිබඳ බලන ලෙසයි.

ප්‍රශ්නය – ස්‌වාධීන මන්ත්‍රීවරයකු වනවා යෑයි කළ ප්‍රකාශය බොහෝ අර්බුද නිර්මාණය කරන ප්‍රකාශයක්‌ වී තිබෙනවා.

පිළිතුර – ඔබ නිතර විමසන අර්බුදය ගැන මම දන්නේ නැහැ. ස්‌වාධීන මන්ත්‍රීවරයකු වීමේ කතාව ගැන යමක්‌ කිව යුතුයි. එදා මාධ්‍ය හමුවේදී එක්‌ මාධ්‍යවේදියකු මගෙන් විමසුවා, ඔබවහන්සේ සිදුකරන අදහස්‌ දැක්‌වීම පක්‍ෂයක්‌ ලෙස කරන්නක්‌ ද? එසේ නැත්නම් ස්‌වාධීන අදහසක්‌ද? කියන කාරණය. එහිදී මම ඔහුට කියා සිටියේ, මෙය මගේ ස්‌වාධීන අදහසක්‌ එය පක්‍ෂයේ මතය නොවන බව. එය තමයි ස්‌වාධීන මන්ත්‍රීවරයකු වීමේ කතාව.

ප්‍රශ්නය – ජාතික හෙළ උරුමය තුළ සිට ස්‌වාධීන මතයක්‌ ප්‍රකාශ කිරීම ද ප්‍රශ්නය වී තිබෙන්නේ?

පිළිතුර – පක්‍ෂයක්‌ තුළ සිටියායි කියා ස්‌වාධීන මතයක්‌ පළ කරන්න නොහැකියාවක්‌ නැහැ. එය ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්‌. මහින්ද රාජපක්‍ෂ සමයේදී ඔහු පරාජය කළ යුතු බව මම ප්‍රසිද්ධියේ කිව්වේ පක්‍ෂයෙන් අහලා නොවෙයි. රාජපක්‍ෂ පාලනය පරාජය කිරීමට පිවිතුරු හෙටක්‌ උදෙසා ජාතික සභාව හැදුවේ පක්‍ෂයෙන් අහලා නෙමෙයි. ඒ සියල්ල මම කියලයි කළේ. මට තියෙන ප්‍රශ්නය ඔය එකක්‌වත් නොවෙයි.

2014 දී මහින්ද රාජපක්‍ෂ මහත්තයට විරුද්ධව මම යම් යම් කරුණු ප්‍රකාශ කළා. මට මතකයි බී එම් අයි සී එච් එකේ රැස්‌වීම් ශාලා දෙකේදී මම රැස්‌වීමක්‌ අමතන විට මම කිව්වේ මේ ප්‍රකාශ මම කරන්නේ ස්‌වාධීනව බව. එතැන ඔය හැමෝම හිටියා.

මම මෑතකදී කළ ස්‌වාධීන වීමේ ප්‍රකාශයට කැබිනට්‌ එකේ ඉන්න පාඨලී චම්පික ඇමැතිවරයාවත් වෙන කිසිවකුත් වගකියන්න ඕන නැහැ. සාමුහික වගකීම කියන්නේ අරමුණක්‌. මම කිව්වේ ජාතික හෙළ උරුමය හා ජාතිමාමක බලවේග ඉල්ලන දේ මිස වෙන යමක්‌ නෙමෙයි. ස්‌වාධීන වනවා යෑයි මා කියූ දේ පත්තරවල ‘ලීඩ්’ කළා. ඒක නෙමෙයි බලන්න ඕන. ජාතික හෙළ උරුමය කියන්න ඕනෑ ඒ අය විරුද්ධ කුමකටද කියලා.

ප්‍රශ්නය – මොකක්‌ද හාමුදුරුවනේ එහෙම නම් ඔබවහන්සේට තියෙන ප්‍රශ්නය.

පිළිතුර – මේ මන්ත්‍රීධුර කතාව නිසා එදා මම මාධ්‍ය හමුවේ සඳහන් කළ කරුණු රැසක්‌ වැසීගිය එකයි. මම ජාතික හෙළ උරුමයට, ජාතික බලවේගවලට හා රටට ආදරය කරන සියලු ජනතාවට කියන්නේ මන්ත්‍රීධුරය ගැන බලන්නේ නැතුව මම කරපු ප්‍රශ්න කිරීම් පිළිබඳ බලන ලෙසයි. මේ තාවකාලික මන්ත්‍රී ධුරය ගැන ඕන කෙනකුට විමසන්න පුළුවන්. නමුත් මම ඒ ගැන වැඩිය කතා කරන්නේ නැහැ.

ප්‍රශ්නය – අපේ හාමුදුරුවනේ, මන්ත්‍රීධුර වගේ ලෞකික දේවල් පිළිබඳව ඒ මත්තේa…

පිළිතුර – මම ධර්මය වදාරන ආධ්‍යාත්මික ජීවිතයක්‌ ගතකරන භික්‍ෂුවක්‌. මම ඔය කිසිවකට ලෝභ නැහැ. රටට වැඩ කරන්න ඔය දේවල් අත්‍යවශ්‍ය නැහැ. උදේ අවදි වී භාවනා කරනකොට ඔය මන්ත්‍රීධුර මතක්‌ වෙනව නම් ඒ භාවනාවෙන් ඇති ඵලක්‌ නැහැ. නමුත් මෙතන තියෙන ප්‍රශ්නය වන්නේ මා සමඟ සිටින ජාතික බලවේගවල හඬට ඇහුම්කන් නොදී මට යමක්‌ කියන්න බැරිවීමයි.

ප්‍රශ්නය – මන්ත්‍රීධුරය නිසා ආණ්‌ඩුව සම්බන්ධයෙන් ඇති විවේචන අඩු වේවිද?

පිළිතුර – කිසිසේත් නැහැ. මේ රට ගැන මට වගකීමක්‌ තිබෙනවා. මේ ආණ්‌ඩුව වැරදි කරනවා නම් ඒවා දැක නොදැක්‌ක ගානට ඉන්නව නම් අපි ජීවත්ව සිටීමෙන් ඇති ඵලක්‌ නැහැ. මොකද ඒ වැරදිවලට වගඋත්තරකරුවෝ වෙන්නේ අපි. මේ ආණ්‌ඩුවෙන් රටට කුමන හෝ අගතියක්‌ වනවා නම් එය වැළැක්‌වීම මගේ වගකීමක්‌. ඒ වෙනුවෙන් ජනතාව සමඟ තීන්දු ගන්න මට අයිතියක්‌ තිබෙනවා. මාව මැරුවත්, විනාශ කළත් කොයිදේ කළත් ඒ තීන්දුව මගේ හුස්‌ම ටික තියනකම් මම කරනවා.

මන්ත්‍රී ධුරය වෙනුවෙන් ගොළුවෙක්‌ වෙන්න මම සූදානම් නැහැ. මගේ ප්‍රතිපත්තිමය කාරණා දශමයකින්වත් යටපත් කරන්නේ නැහැ. ඒ ගැන මම ජනතාවට ප්‍රතිඥ දෙනවා.

මම කියන දේ අහන්න. පසුව කරපු දේ කරන දේ බලන්න. ඉන්පසු බොරු විවේචන විකාර නොකර ප්‍රතිපත්තිමය විවේචන කරන්න.

ප්‍රශ්නය – මේ ගැටලුව සම්බන්ධයෙන් ජනාධිපතිතුමන් හා අගමැතිතුමන් සමඟ කතා කළේ නැද්ද?

පිළිතුර – එහෙම විශේෂයෙන් කතා කළේ නැහැ. හැබැයි මේ මොහොතේ මම හිතනවා ජනාධිපතිතුමා සහ අගමැතිතුමා සමඟ හොඳ අවබෝධයක්‌ ඇතිකරගෙන ආණ්‌ඩුවේ ඇති අඩුපාඩු පෙන්වා දී වැරදි නිවැරදි කරගෙන ඉදිරියට යන්න හැකිවේවි කියල. මන්ත්‍රීධුරය නිසා විවේචන කරන්න තිබෙන අයිතිය නැතිකරගෙන මට පාර්ලිමේන්තුවේ සිට වැඩක්‌ නැහැ. ඒ බව මම ඔය දෙපළටම කිව්වා.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට හෝ එක්‌සත් ජාතික පක්‍ෂයට ආණ්‌ඩුවක්‌a පිහිටුවන්න තනි බලයක්‌ ලැබුණේ නැහැ. හවුල් රජයක්‌ තියෙන්නේ ඒ නිසා නේ. හරියට දිනලා තියෙන්නේ මෛත්‍රිපාල සිරිසේන මහතා පමණයි. ජනමතයක්‌ ඇත්තේ ඔහුටයි. ඔහු දිනලා විතරක්‌ නෙමෙයි මේ සියලු දේවලට වගඋත්තරකරු ද ඔහුයි. අපි බලයට ගෙනාවේ ඔහුවයි.

ප්‍රශ්නය – ඔබවහන්සේ එක්‌සත් ජාතික පක්‍ෂයට එක්‌වන බව ආරංචි පැතිර යනවා.

පිළිතුර – මම එක්‌සත් ජාතික පක්‍ෂයට යන්නේත් නෑ. ශ්‍රීලනිපයට යන්නේත් නැහැ. අපි බලයට පත්කළ මේ ආණ්‌ඩුවට බලපෑමක්‌ කළ හැකි බහුජන ව්‍යාපාරයක්‌ ගොඩනැංවීම පමණයි මම කරන්නේ. එහි නායකයා ලෙස මම කටයුතු කරනවා. අනාගතයේ මම තීන්දු තීරණ ගන්නේ මා සමඟ එම බහුජන ව්‍යාපාරයේ සිටින පිරිස සමඟයි.

ප්‍රශ්නය – හාමුදුරුවනේ ඔබවහන්සේ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා මීළඟ ජනාධිපතිවරණයේදී රටේ නායකයා ලෙස ගෙන ඒමට උත්සාහ කරන බව පැවසෙනවා.

පිළිතුර – මම පුද්ගලයකු ඉලක්‌ක කර ගත් දේශපාලනයක්‌ කරන්න තරම් දිළින්දකු නෙමෙයි. මම කරන දේ දේශපාලනිකව තේරුම් ගන්න. මම කරන්නේ මතවාදී අරගලයක්‌. පුද්ගල පංචස්‌කන්ද මුල්කරගත් ව්‍යාපෘතියක්‌ මගේ ඔළුවේ නැහැ. මෛත්‍රිපාල සිරිසේන මහතා එදා ගෙන ඒමටත් මගේ ව්‍යාපෘතියක්‌ ඔළුවේ තිබුණේ නැහැ. එය කාලයේ අවශ්‍යතාව මත සිදු වූ දෙයක්‌. මට පූර්ව සැලසුම් නැහැ.

ප්‍රශ්නය – හාමුදුරුවනේ ඔබවහන්සේ ජාතික හෙළ උරුමයේ සාමාජිකයෙකුවුවත් එම පක්‍ෂය සමඟ මේ වන විට කටයුතු කරනවා දකින්නට නැති තරම්. ඔබවහන්සේ සක්‍රීයව කටයුතු කරන්නේ වස විසෙන් තොර ගොවිතැන නඟාසිටුවීමේ ජාතික වැඩපිළිවෙළ සමඟයි. ජාතික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන විට එක්‌ පක්‍ෂයක්‌ තුළ හිරවී සිටීම ඊට බාධාවක්‌ නෙමෙයිද?

පිළිතුර – පුළුල් ජාතික වැඩක්‌ කරනවා නම් පක්‍ෂයක ලේබලයක්‌ ඇලවුණාම ඒක කරන්න හරි අමාරුයි තමයි. දැන් මට තියෙන්නේ පක්‍ෂ දේශපාලන සීමාවෙන් ඔබ්බට ගිය කාර්යයක්‌. මට මිනිස්‌සු ආදරෙයි. එය මගේ සාංසාරික කුසලයක්‌. ඒ තුළ මා ජීවත් වෙනවා. මම ඉපදී තියෙන්නේ මේ රට ආරක්‍ෂා කරගන්නයි. එය මගේ ආත්ම පුරුද්දක්‌ වෙන්න පුළුවන්. රට වෙනුවෙන් කරන යුතුකමට මන්ත්‍රීධුරය තිබී වාසිද අවාසිද කියල මම තවම හිතනවා. මම වටා සිටින ජාතිමාමක බලවේගවලට ඇහුම්කන් දෙන්න ඕනෑ.

ප්‍රශ්නය – හාමුදුරුවනේ මේ යන විදියට තවදුරටත් ජාතික හෙළ උරුමය සමඟ ඔබවහන්සේට ගනුදෙනු කරන්න හැකි වේවිද?

පිළිතුර – ඒ ගැන මම කිසිවක්‌ ප්‍රකාශ කරන්න කැමති නැහැ. ජාතික හෙළ උරුමයත් සමඟ මගේ ඇති ගිවිසුම රටේ ප්‍රතිපත්තිමය සම්මුතියක්‌.

ප්‍රශ්නය – ඔබවහන්සේ පොරොන්දු කඩ කළ බව ජාතික හෙළ උරුමය චෝදනා කරනවා.

පිළිතුර – ඔය හැම දෙයකටම උත්තර මම ලබන විසිඅටවැනිදාට දෙන්න සූදානම්. ජාතික හෙළ උරුමයවත්, පාඨලී චම්පික මහත්තයාවත් මගේ හතුරෝ කරන් ජීවත්වෙන්න මම දැනුත් කැමැති නැහැ. ඒ අයගෙන් මම කරුණාවෙන් ඉල්ලා සිටින්නේ මම කියන්නේ කුමක්‌ද යන්න තේරුම් ගන්න ලෙසයි. මට පුද්ගලයෝ වැදගත් නැහැ. මම කරන්නේ ජාතික කර්තව්‍යයක්‌. මේ රට හැරෙන්න ආදරය කරන්න කිසිවෙක්‌ මට නැහැ. මම ජීවිතයෙන් මේ රටට ආදරෙයි. මගේ ජනප්‍රියත්වය උදෙසා කරන දේශපාලන වාක්‍යයක්‌ නෙමෙයි එය. රටට ආදරය බව මං ඔප්පු කර පෙන්වා තිබෙනවා.

ප්‍රශ්නය – රතන හිමියන්ව දේශපාලනිකව ඝාතනය කරන්න යම් පිරිසක්‌ උත්සාහ ගන්නවා යෑයි ඇතැමුන් පවසනවා.

පිළිතුර – මාව දේශපාලනිකව ඝාතනය කරන්න වෙන්නේ මා ඝාතනය කිරීමෙන් පමණයි. මාව දේශපාලනිකව ඝාතනය කරන්න කාටවත් බැහැ. කවුරුහරි එහෙම කරන්න හදනවා ද කියා මන් දන්නේ නැහැ. අවලාද බොරු ප්‍රචාරවලට මගේ බයක්‌ නැහැ. සැලෙන්නේ නැහැ. කොටින්ම මට ඒවා අදාළ නැහැ.

ප්‍රශ්නය – ඔබවහන්සේ ගොඩනඟනවා යෑයි කියූ පුළුල් ජාතික සභාවට මොකද වුණේ?

පිළිතුර – එය අපි ලබන 28 වැනිදා එළිදක්‌වනවා. එහිදී අපි රට හදන ප්‍රතිපත්තිය එළිදක්‌වනවා. මේ ආණ්‌ඩුව කරන්නේ මොකක්‌ද? එහි ඇති වැරදි මොනවාද? රට ගෙනියන්න ඕන කොතැනටද යන්න එදින මා රටට හෙළි කරනවා. මේ යන ගමනෙන් රට හදන්න පුළුවන්ද? අප රට වෙනත් මඟක්‌ ගතයුතුද යන්න එදින රටට හෙළි කරනවා. එදාට අපි අපේ ජාතික ප්‍රතිපත්තිය එළිදක්‌වනවා.

ප්‍රශ්නය – මේ ආණ්‌ඩුව යටතේ ඔබවහන්සේලා ඔය හිතන දේවල් කරන්න පුළුවන් වේවිද?

පිළිතුර – ඔය ප්‍රශ්නයට උත්තරයක්‌ දෙනවා නම්, මේ ආණ්‌ඩුව තුළින් කරන්න පුළුවන්ද බැරිද කියලා තීරණය කරන්නේ රටේ ජනතාවගේ දැනඋගත්කම මතයි. රටේ ජනතාව එක්‌ බලවේගයක්‌ ලෙස එකමුතු වුණොත් ජනාධිපතිතුමා ලවා මේ ටික කරගන්න පුළුවන්. රතන හාමුදුරුවෝ තනියෙන් කිව්වට හරියන්නේ නැහැ. අප රටේ සහ ලෝaකයේ දැන උගත් ප්‍රකට පිරිසක්‌, විද්වතුන්, ගෞරවාදරයට පත්වුණ පිරිසක්‌ එක හඬින් යමක්‌ කියනකොට එය ජනාධිපතිතුමාට සහ අගමැතිතුමාට පිළිගන්න වෙයි.

ප්‍රශ්නය – වස විසෙන් තොර ගොවිතැන පිළිබඳ වත්මන් තත්ත්වය කුමක්‌ද?

පිළිතුර – එය අද මන්ත්‍රයක්‌ බවට පත්වෙලා. ඇමැතිකමක්‌ නැති ඔබ ප්‍රබල බහුජාතික සමාගම්වලට එරෙහිව ජනමතයක්‌ ගොඩගැනීම ලොකු දෙයක්‌. ග්ලයිපොසෙට්‌, හොර පොහොර අපි තහනම් කළා. එය සියයට අනූවකින් සාර්ථකයි. බහුජාතික සමාගම් කළ පට්‌ටපල් බොරුව අපි රටට හෙළි කළා. මේ පුංචි දිවයින වස විසෙන් තොර රටක්‌ බවට ස්‌වර්ණමය කිරුළ අපි පළන්දා තිබෙනවා. මේ ආණ්‌ඩුව යටතේ අපි ඒ දේ කළා. අපි ලබන වසරේ වස විස නැතිs ගොවිතැන ගැන බීඑම්අයිසීඑච් හිදී සම්මේලනයක්‌ පවත්වනවා. මේ දවස්‌වල ඊට මහන්සි වෙනවා. රෑ එකොළහ වෙනකම් වැඩ කරලා නැවත උදේ පහට අවදි වී වැඩ කරනවා. මේ වැඩවලට උදව් කරන ලෙස මාධ්‍යයෙන් ඉල්ලා සිටිනවා.

– දිවයින

යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network