මෛත‍්‍රීට අපව තම්බන්න බෑ.. මහින්දගේ ආණ්ඩුවක් හදන දවස ප‍්‍රසන්න කියයි.. srilanka-politics

මෛත‍්‍රීට අපව තම්බන්න බෑ.. මහින්දගේ ආණ්ඩුවක් හදන දවස ප‍්‍රසන්න කියයි..

මැතිවරණ පැවැත්වීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මෙන්ම එක්සත් ජාතික පක්ෂයට ද අවාසිදායක නිසා ජනාධිපතිවරයා සහ අගමැතිවරයා එක්ව පළාත් පාලන මැතිවරණය කල්දැමීමට විවිධ උප්පරවැට්ටි යොදමින් සිටින බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

මැතිවරණ කල්දමමින් පරාජයෙන් ගැලවීමට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා දරමින් සිටින්නේ බොළඳ උත්සාහයක් බව පෙන්වා දුන් රණතුංග මහතා දිනෙන් දින උග්‍රවන ආණ්ඩු විරෝධී ජනතා බලවේග වැඩි දිනක් යන්නට මත්තෙන් සුළි සුළඟක් වී මෛත්‍රී රනිල් සභාග ආණ්ඩුව සුණුවිසුණු කරනු නියත බවත් පැවසීය.

මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ ගම්පහ දිස්ත්‍රික්කයේ තරුණ ක්‍රියාකාරීන් සඳහා උඩුගම්පොළ දී පැවැති විශේෂ හමුවකට සහභාගී වෙමිනි.

ප්‍රසන්න රණතුංග මහතා එහිදී වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කළේය.

මේ ආණ්ඩුව බලයට ආවේ ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය ගැන දහසක් දේවල් කියලයි. නමුත් එහෙම කියලා බලයට ආපු ආණ්ඩුව අද ඇස් පනාපිටම ඒ පොරොන්දු කඩ කරමින් ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමනක නියැලෙනවා. විවිධ බොරු හේතු ඉදිරිපත් කරමින් පළාත් පාලන මැතිවරණය දිගින් දිගටම කල් දාන ආණ්ඩුව ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් උදුරා ගන්න කටයුතු කරමින් සිටිනවා.

අලුත් මැතිවරණ ක්‍රමයක් ගැන කියමින් මැතිවරණය කල්දාන්නේ මැතිවරණය පරදියි කියන බයට මිසක් වෙන දේකට නෙමෙයි. ජනාධිපතිවරයත් අගමැතිවරයත් හොඳින්ම දන්නවා එක්සත් ජාතික පක්ෂයට වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් දැන් රටේ තියෙන තැන. ඔවුන් දන්නවා මැතිවරණයකට ගියොත් ඇඩ්‍රස් නැති වෙන්න පරදින බව. ඒ නිසා විවිධ හේතු කියමින් ඡන්දය කල් දානවා.

ජනතාව ගොනාට අන්දලා බලය ගත්තා වගේ ඒ බලය රැකගන්නත් පුළුවන් කියලා හිතනවා නම් ජනාධිපතිට වගේම අගමැතිටත් වැරදිලා. දැන් ජනතාව බලා ඉන්නේ ජනවාරි 08 වැනි දා කරපු වරද නිවැරැදි කරන්නයි. රටේ ආර්ථිකයත් ජාතික ආරක්ෂාවත් දෙකම විනාශ කරපු මේ පරගැති ආණ්ඩුව ගෙදර යවන්නයි ජනතාවට දැන් ඕනෑ කරලා තියෙන්නේ.

හැබැයි ඡන්දයක් නැති නිසා ජනතාවට දැන් ආණ්ඩුව ගෙදර යවන්න විදියක් නැහැ. ජනතා විරෝධය දක්වන්න තියෙන එකම විදිය තමයි ආණ්ඩුවට විරුද්ධව පාරට බහින එක. අද බලන්න දවසකට රට පුරාම උද්ඝෝෂණ කීයක් තියෙනවද කියලා. විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්, කම්කරුවන්, රණවිරුවන්, වෘත්තියවේදීන් යනාදි වශයෙන් සමාජයේ සිටින සෑම ජනකොටසක්ම දවස ගාණේ පාරට බහින්න පටන් අරන්.

මේවායෙන් පේන්නේ ජනතාවගේ තියෙන විරෝධයයි. මේ විරෝධය පොලිස් ප්‍රහාර, කඳුළු ගෑස්වලින් වළක්වන්න ආණ්ඩුවට පුළුවන්කමක් නැහැ. දිනෙන් දින වර්ධනය වන ආණ්ඩු විරෝධී රැල්ල මහා සුළි සුළඟක් වෙලා මෛත්‍රී රනිල් හවුල් ආණ්ඩුව ගසාගෙන යන දවස වැඩී ඈතක නෙමෙයි. අන්න එදාට අපි මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් ජනතාවාදී ආණ්ඩුවක් රට තුළ ස්ථාපිත කරනවා.

එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුන් හොඳටම දන්නවා මේ ආණ්ඩුව වැඩිදුර දුවන්නේ නැහැ කියලා. ඒ හින්දා දැන් පුළුවන් තරම් ඉක්මණින් සල්ලි ටිකක් හම්බ කර ගෙන පැත්තකට වෙන්නයි ඒ අයට ඕනෑ කරලා තියෙන්නේ. දවසින් දවස රට අගාධයට යනවා දැක දැකත් ආණ්ඩුවේ එල්ලීගෙන ආණ්ඩුවේ ගුණ ගයමින් ඉන්නේ තමන්ගේ වැරැදි වහගන්න ඕනෑ නිසයි.

මේ රට විනාශය කරා ඇදගෙන යන ඕනෑ කෙනෙකුට අපි විරුද්ධයි. ඒකෙදි ශ්‍රී ලංකා ද යූඇන්පී ද කියලා බේදයක් නැහැ. රට විනාශ කරන ඕනෑම කෙනකුට අනාගතයේ අපි හදන ආණ්ඩුවෙන් දඬුවම් කරනවා. හැබැයි ඒ දඬුවම් කරන්නේ අද ආණ්ඩුව කරනවා වගේ දේශපාලන වශයෙන් පළිගන්න නෙමෙයි. විරුද්ධවාදීන්ගේ කට වහන්න නෙමෙයි කියලත් කවුරුත් මතක තියා ගත යුතුයි.

හොරුන්ට දඬුවම් කරද්දි අපි තරාතිරම් බලන්නේ නැහැ. වැරැදි කරන කාටත් එක වගේ හිරගෙයි බත් රස බලන්න වෙයි. සමහරු හිතාගෙන ඇති තියෙන තරම් හොරකම් කරලා අපේ පැත්තට ඇවිත් සුදනෝ වෙන්න. අපි ඔය කවුරු දිහාවෙත් දැන් හොඳට බලාගෙන ඉන්නේ. හොරා කවුද හොඳ මිනිහා කවුද කියලා අපි දැන් දන්නවා. ඒ හින්දා පැති මාරු කරලා බේරෙන්න නම් හිතන්න එපා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙත් එක්සත් ජාතික පක්ෂයෙත් ඇමැතිවරුන් අතර ගැටුම් කියලා හැමදාම මාධ්‍යවල පළ වුණත් ඒවා අතේ පැලවෙන බොරු බව ජනතාව දන්නවා. දෙගොල්ලෝ රණ්ඩු වෙනවා නම් කොහොමද කිරිපැණි වගේ එකට ඉඳන් හවුලේ රට කන්නේ? මේ හදන්නේ අපිට කොළේ වහලා ගහන්න. මෛත්‍රී රනිල් ගාව තියෙන ලුණු ගොරකා මදි අපිව තම්බන්න. අපි කාගෙත් හැටි හොඳට දන්නවා. මේ රටේ ජනතාව ආයෙමත් මෛත්‍රී රනිල් හවුලේ බොරුවලට රැවටෙන්නේ නැහැ.

සමහරු අපට කියනවා පක්ෂය කඩනවා කියලා. හැබැයි පක්ෂය කැඩුවේ කවුද කියලා මුළු රටම දන්නවා. එකට ආප්පත් කාලා පැනලා ගිහින් එක්සත් ජාතික පක්ෂයට බලය අරන් දුන්නේ කවුද කියලා රටට රහසක් නෙමෙයි. අපි හැමදාම කටයුතු කළේ පක්ෂය රැකගන්නයි. අවස්ථාවාදී බලලෝභීන්ගේ ග්‍රහණයට පක්ෂය නතු වෙන එක වළක්වන එක තමයි අපේ එකම අරමුණ වුණේ.

අද රටේ ආර්ථිකය කඩා වැටිලා. එදිනෙදා ජනජීවිතය අවුල් වෙලා. හාල් කිලෝව රුපියල් සීයයි. පොල් ගෙඩිය රුපියල් හැත්තෑවයි. ඩොලර් එක රුපියල් එකසිය පනස් තුනයි. බලයට එනකොට කිව්වේ නම් මහා ලොකු ආර්ථික ඔස්තාර්ලා කියලා. මේ ආණ්ඩුවේ ඉන්නේ ආණ්ඩුවක් තියා පෙට්ටි කඩයක්වත් පාඩු නැතුව හරියට කරගෙන යන්න පුළුවන්කමක් නැති වැඩ බැරි ටාසන්ලා ටිකක්.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ගිහින් අලියගේ නැට්ටේ එල්ලුණු ශ්‍රී ලංකා ඇමැතිවරුන් දැක්ම දුකත් හිතෙනවා. ගෙදර බාරියාවට බයෙන්, හොරකම් අහුවෙනවට බයෙන් ගිහින් ඇමැතිකම් ගත්තා වගේ නෙමේ දැන් විඳවන්න ගියාම. කොළඹට වෙලා මාධ්‍ය හමු තියලා ලොකු ලොකු දර්ශන දැම්මට ඔය ඇමැතිලා කාටවත් ගමට යන්න බැහැ. බොරු නම් අහලා බලන්න ඒ කවුරුත් පහුගිය ඡන්දයෙන් පස්සේ ගමට ගිහින් නැහැ.

බොරු චණ්ඩි පාට් දාන කාගෙත් තත්ත්වය ඕකයි. අපි ඉතින් ඒ අයට අනුකම්පා කරනවා. අපට නම් ගමේ මිනිස්සු නැතුව සක්විති රජකම් ලැබුණත් ඵලක් නැහැ. මිනිස්සු හිටියොත් කොයි තනතුරත් දෙපා ළඟටම එනවා. ඒකට හොඳම උදාහරණය තමයි මහින්ද මහත්තයා. අද පක්ෂයේ නායකයාට වඩා පාක්ෂිකයන් ඉන්නේ මහින්ද මහත්තයා ගාව. පාක්ෂිකයෝ කවුරුත් තනතුරු නෑ කියලා එතුමව අතහැරලා ගියේ නැහැ.

පාක්ෂිකයන් දන්නවා මහින්ද කියන්නේ කවුද කියලා. කියන දේ කරන කරන දේ කියන එඩිතර නායකත්වයක් තමයි හැම පාක්ෂිකයකුගෙම බලාපොරොත්තුව. එහෙටයි මෙහෙටයි වැනි වැනි තීරණයක් ගන්න බැරුව ඉන්න නායකයන් ගාව ඉතුරු වෙන්නෙත් ඒ වගේම අය විතරයි. නායකයා කොතැනද මිනිස්සු එතනැයි. පක්ෂ මූලස්ථාන තිබ්බ පලියට මිනිස්සු එයි කියලා හිතනවා නම් ඒක විහිලුවක්.

– ප්රදීප් අනුර කුමාර



යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network