ගල්අගුරු සමාගමේ සභාපතිධුරයෙන් ඉවත් කිරීම පිළිබඳව ප්‍රවෘත්ති නිවේදනයයි ( srilanka-politics )

ගල්අගුරු සමාගමේ සභාපතිධුරයෙන් ඉවත් කිරීම පිළිබඳව ප්‍රවෘත්ති නිවේදනයයි.




2017 ජනවාරි මස 15 වන ඉරිදා දිනයේදී විදුලිබල අමාත්‍යංශයේ ලේකම් විසින් අමාත්‍යවරයා වෙත ලියන ලද අසත්‍ය කරුණු රාශියක් ඇතුලත් ලිපියක් පදනම් කරගනිමින් 2017 ජනවාරි මස 17වනදා සවස් වන විට රංජිත් සියඹලාපිටිය අමාත්‍යවරයා විසින් මාගේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකත්වය ඉවත් කිරීමට කටයුතු කර ඇත.
මේ පිළිබඳ මා කිසිසේත්ම කණගාටුවට හෝ පුදුමයට පත්නොවෙමි. 2015 ජනවාරි 08 ජනවරම ලබාදුන් මෛත්‍රී පාලනයක් ප්‍රතිපත්ති ප්‍රකාශයේ 10 වන පරිච්ඡේදයේ ජනතාවට පොරොන්දු වූ පරිදි ගල් අගුරු ආනයනයේදී සිදුවන මහාපරිමාණ දූෂණය ,වංචාව නතර කිරීම වෙනුවෙන් මා හට ගතහැකි සෑම පියවරක්ම මා විසින් ගන්නා ලදි.
ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ විභාග වූ නඩුවකදී කැබිනට් මන්ඩලය නොමග යවා ගල් අගුරු ටෙන්ඩරය පිරිනැමීමේ ගිවිසුමට අනුමැතිය ලබාගෙන ඇති බවත්, බලය ඉක්මවා කටයුතු කර ඇති බවත් කැබිනට් මන්ඩලය විසින් පත්කරන ලද ප්‍රසම්පාදන කමිටුව හා අමාත්‍යංශ ලේකම්වරයා සම්බන්ධයෙන් අගවිනිසුරුවරයා ඇතුළු ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලය කරන ලද නිර්දේශ සම්බන්දයෙන් විෂය භාර අමාත්‍යවරයා කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම පිළිබඳව මා මවිතයට පත්නොවෙමි.
එමෙන්ම විගණකාධිපතිවාර්ථාව හෝ විධිමත්ව අධ්‍යයනය නොකර මා වෙතින් කිසිදු කරුනු විමසීමකින් තොරව මෙම තීරණය ගැනීම පිළිබඳව හෝ මා පුදුමයට පත්නොවෙමි.
මෙම ඉවත් කිරීම සිදුවුයේ රටට අතිවිශාල පාඩුවක් සිදුකරමින් වැඩිමිලට ගල්අගුරු මිලදී ගැනීමේ ක්‍රියාවලියට මා බාධාවක් නිසාය.ඉදිරියේදී තවත් ගල් අගුරු ටෙන්ඩරයක් සිදුකිරීමට නියමිත අතර, ඒ සදහා සැපයුම්කරුවන් ලියාපදිංචිය පසුගිය සතියේ සිට ප්‍රසිද්ධ කරන ලදි. ඊට ප්‍රථමව මා ඉවත් කිරීම මගින් ඔවුන්ගේ සිතැඟි ඉටුකරගැනීමට මෙම දූෂණයට සෘජුව හා වක්‍රව සම්බන්ධ පිරිස් උත්සාහ ගන්නා බව මම දනිමි.
පසුගිය වසර දෙකක කාලය තුළ මා විසින් නැව් ප්‍රමාද ගාස්තු,බත්තල් ගාස්තු හා කළමණාකරණ ගාස්තු වෙනුවෙන් කරන ලද වියදම් වලින් රුපියල් මිලියන 1053 ඉතිරිකර ඇති අතර මාගේ කාලය තුළදී අවශ්‍ය මුළු ගල්අගුරු ප්‍රමාණයම සපයාදීමට ද කටයුතු කර ඇත.
යහපාලන රජය තුළ තනතුරු දරණ බොහෝ පිරිස්වලට, මෛත්‍රී පාලනයක් ප්‍රතිපත්තිය පිලිබද හෝ යහපාලනයේ මූලික සංකල්පයන් හෝ හරයන් පිළිබඳවත් සැලකිල්ලක් නොමැති අතර යහපාලනයේ මුවාවෙන් හොරකම්,දූෂණ වංචා කරමින් ජනාධිපතිවරයා වෙත ජනතාව තබන ලද විශ්වාසය දිනෙන් දින පළුදු කරමින් පවතින බවත් සදහන් කරමි.
යහපාලන රජය තුළදී සිදුකරන ලද ගල්අගුරු වංචාව මගින් මහජන මුදල් ගසාකෑමට අදාල පාර්ශවයන් රටට හෙලි කිරීමෙන් නොනැවතී 2015 ජනවාරී 08 මේ රටේ ලක්ෂ 62කට වැඩි ජනතාව අපේක්ෂා කල යහපාලනය ඇති කිරීමේ සටන කුමන බාධක පැමිණියද ඉදිරියටත් සිදුකරන බවත් සහතික වෙමි. මෙම කාරණය සම්බන්ධව ජනාධිපතිවරයා ද දැනුවත් කර ඇති අතර අපක්ෂපාතී පරීක්ෂනයක් තුළින් සැබෑ වංචා කරුවන් හෙළිදරව් කරගනිමින් රටේ මහජන මුදල් ආරක්ෂා කරගැනීමට පෙළගැසෙන ලෙස සියළු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටිමි.
මෛත්‍රී ගුණරත්න



යහපාලනයේ ඔනැ එපාකම් නිසා අපේ පැරණි ෆෙස්බුක් පිටුව එහි සිටි සාමාජිකයන් 130000 සමග අතුරුදන් වී ඇති අතර මෙන්න අපේ නවතම ෆෙස්බුක් පිටුව like කර නොමැතිනම් like කර සෙට් වන්න සැමට කලින් සත්‍ය දැන ගන්න

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network