රාජපක්ෂලාට බැන්නට වැඩක් නෑ.. අපේ වියදම අඩු කරන්න ඕනෑ.. – දයා ගමගේ ( srilanka-politics )

රාජපක්ෂලාට බැන්නට වැඩක් නෑ.. අපේ වියදම අඩු කරන්න ඕනෑ.. – දයා ගමගේ



ශ්‍රී ලංකාව කේන්ද්‍රකර ගනිමින් ක්‍රියාත්මක වූ විදේශීය කුරුදු ‘ශ්‍රී ලංකා කුරුදු‘ නමින් ප්‍රතිඅපනයනය කිරීමේ ජාවාරම නැවැත්වීමට තමා විසින් කටයුතු කරනු ලැබූ බව අමාත්‍ය දයා ගමගේ මහතා පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ, මෙම ජාවාරම තුළින් දේශීය වගාකරුවන්ගේ වෙළදපොළ මෙන්ම ශ්‍රී ලංකාවේ කුරුදුවල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් පවතින ජාත්‍යන්තර පිළිගැනීමට විශාල තර්ජනයක් එල්ල වූ බවයි.

තමන් විසින් අමාත්‍යමණ්ඩලය වෙත යොමු කළ ඉල්ලීමක් අනුව, මෙලෙස මැඩගස්කරය වැනි රටවල නිෂ්පාදනය කරන ප්‍රමිතියෙන් අඩු කුරුදු ශ්‍රී ලංකාවට ආනයනය කර, පසුව ඒවා ශ්‍රී ලංකාවේ කුරුදු යන නාමය යටතේ වෙනත් රටවලට අපනයනය කිරීම මෙන්ම සමස්ත කුරුදු ආනයනය නැවැත්වීමට හැකි වූ බව දයා ගමගේ මහතා කියා සිටියේය.

ගාල්ල දිස්ත්‍රික් කුරුදු වගාකරුවන්ගේ සංගමය සහ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය සමග එක්ව වාර්ෂිකව සංවිධාන කරන ‘නැවුම් කුරුදු මංගල්ලය‘ සදහා සහභාගී වෙමින් ඔහු මේ බව සදහන් කළේය.

මෙම උත්සවය පසුගිය සෙනසුරාදා (17) ගාල්ල සීනිගම දේවාල භූමියේ දී පැවැත්විණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය දයා ගමගේ මහතා මෙසේ ද සදහන් කළේය…

“මට අවශ්‍ය කරනවා අපේ රටේ පුළුවන් තරම් කුරුදු වැඩිපුර වවන්න. හැබැයි අපි වෙළදපොළ ආරක්ෂා කරගන්න අවශ්‍යයි. දැන් පහුගිය දවස් වල සිදු වුණු මැඩගස්කර කුරුදු ලංකාවට ගෙනත් ලංකාවේ කුරුදු කියලා අපනයනය කිරීමේ ජාවාරම අපි නැවැත්තුවා. මම කැබිනට් මණ්ඩලයට යෝජනාවක් යොමු කරලා, මොනම විදිහකින්වත් කුරුදු ආනයනය කරන්න බෑ කියලා තීරණයක් ගත්තා. මොකද, චීනය වගේ රටවල් වල තියනවා කුරුදු වගේ සමාන පෙණුමක් තියන ඒ සුවද තියන කැසියා. ඒවා මොනම විදිහකින්වත් ගුණාත්මකභාවයෙන් අපේ කුරුදු වලට සමාන කරන්න බෑ. අපේ කුරුදු වලින් අපිට පුළුවන් දියවැඩියාවට පිළියම් දෙන්න. ඒ ඖෂධීය ගුණය තියෙන්නේ කුරුදු වල විතරයි.

ඒ විතරක් නෙවෙයි, ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය මගින් අපි බලාපොරොත්තු වෙනවා කුරුදු, ගම්මිරිසි සහ තුනපහ – කුළුබඩු වර්ග වල වගාවන් ව්‍යාප්ත කරන්න බලාපොරොත්තු වෙනවා. මීට සමගාමීව අපි බලාපොරොත්තු වෙනවා අඹ, අන්නාසි වගේ වගාවන් ව්‍යාප්ත කරන්න.

මගේ අමාත්‍යාංශය යටතේ කෘෂි අධිකලාප 23ක් ඇති කරන්න කටයුතු කරනවා. ඒකෙන් එකක් ගාල්ල දිස්ත්‍රික්කයේ ආරම්භ කරනවා කියලා මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. ඒ වගේම, ධීවර අධිකලාප දහයක් ඇති කරන්න කටයුතු කරනවා. ඒකෙනුත් එක ධීවර අධිකලාපයක් අපි ගාල්ල දිස්ත්‍රික්කයේ ඇති කරන්න බලාපොරොත්තු වෙනවා.

දැනට අපි කුරුදු අපනයනය කරලා ගන්නේ මිලියන 250ක් විතර. මට අවශ්‍ය කරනවා මේ ප්‍රමාණය ඩොලර් මිලියන දහසක් වෙනකල් වැඩි කරන්න. විශේෂයෙන්ම අපේ බලාපොරොත්තුව තමයි කුරුදු වලින් ඉහළ ආදායමක් ලබා ගන්න එක.“

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය දයා ගමගේ මහතා, කුරුදු මංගල්ලය පෙරහැර ඉදිරියේ දී සංවිධාන කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ද අදහස් දැක්වීය.

“මේ නැවුම් කුරුදු මංගල්ලය විශාල පෙරහැරකුත් එක්ක අපි ලබන අවුරුද්දේ සංවිධාන කරන්න ඕනි. මේක වෙළදපොළට යම් කිසි වටිනාකමක් ලබා ගන්න පුළුවන්. අපිට පුළුවන් මේ පළාතේ ඉන්න සංචාරකයින් මේ පෙරහැරට සම්බන්ධකරගෙන නුවර පෙරහැර වගේ අලංකාරවත් විදිහට මේ පෙරහැර සංවිධාන කරන්න. එතකොට ඒක තුළින් තමුන්නාන්සේලාගේ නිෂ්පාදන වලට ඉහළ වටිනාකමක් ලබා ගන්න පුළුවන්“

එසේම, තවදුරටත් අදහස් දැක්වූ ඔහු වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ද මෙසේ අදහස් දක්වා සිටියේය.

“අපේ අයවැයෙන් 72.5%ක් අපි වෙන් කරලා තියෙන්නේ ගිය ආණ්ඩුව ගත්ත ණයවල පොළියටයි රජයේ සේවකයින්ගේ පඩියටයි. එතකොට බිලියන 700ක් අනෙක් වෙන් කරපු මුදල් වලින් තමයි අපේ දරුවන්ගේ අධ්‍යාපනයට, සෞඛ්‍යයට, පොහොර සහනාධාරයට, සමෘද්ධි වගේ හැම සහනාධාරයක්ම ඇතුළුව සංවර්ධන වැඩවලට වෙන් කරන්න තියෙන්නේ.

එතකොට අපි මේ අවුරුද්දේ වැට් වලිනුයි වෙන බදුයි දාලා එකතු කරගන්න මුදල් වලින් සියයට අනූ හතක්ම වෙන් කරන්නේ පරණ ගත්ත ණය-පොලී ගෙවන්න. එතකොට අපි තව බිලියන 1500ක් විතර ණය ගන්න ඕනි ඉතුරු වැඩ ටික කරන්න. එතකොට මේ ගන්න ණය වල පොළිය ලබන අවුරුද්දේ අයවැයට එකතු වෙනවා.

එතකොට මේකෙන් කොහොමද ගොඩ එන්නේ. මේකට රාජපක්ෂලාට බැන්නට වැඩක් නෑ. ඒක නිසා තමයි තමුන්නාන්සේලා අපිව පත් කළේ. එක විදිහයි තියෙන්නේ. අපි අපේ රටේ ආදායම වැඩි කරන්න ඕනි. වියදම අඩු කරන්න ඕනි. මෙ විතරයි මේ අගාධයෙන් ගොඩ එන්න පුළුවන්.“

– භාරත තෙන්නකෝන්

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network