වරාය සේවකයින්ට හමුදාව ලවා පහර දුන්නේ හමුදාව කෙරෙහි සිවිල් සමාජයේ වෛරයක් ඇති කරවන්නයි (srilanka-politics )

වරාය සේවකයින්ට හමුදාව ලවා පහර දුන්නේ හමුදාව කෙරෙහි සිවිල් සමාජයේ වෛරයක් ඇති කරවන්නයි.



වරාය සේවකයින්ට නාවික හමුදාව විසින් එල්ල කරන ලද ප‍්‍රහාරය හමුදාව සහ සිවිල් සමාජය අතර පවතින බැදීම  බිද දමා හමුදාව කෙරෙහි සමාජ වෛරයක් ඇති කරවීමට බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

මේ බව සදහන් කරමින් එම පක්‍ෂය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

වරාය සේවකයින්ට එල්ල කල ප්‍රහාරය දැඩි පිලිකුලෙන් යුතුව හෙළාදකිමු

හම්බන්තොට වරාය විකුණා දැමීමට විරෝධය පල කරමින් වරාය සේවකයින් විසින් ක්‍රියාත්මක කල විරෝධතා ව්‍යාපාරයට එල්ල කල ප්‍රහාරය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දැඩි පිළිකුලෙන් යුතුව හෙලාදකී.

උද්ඝෝෂකයන් ඉල්ලා සිටියේ සිය රැකියාවේ සුරක්ෂිතභාවයයි එය අතිශය සධාරණ මානුෂීය ඉල්ලීමකි නමුත් මෙකි යුක්ති සහගත වෘතීය අරගලයට ආණ්ඩුව දැක්වුයේ අමානුෂික ප්‍රතිචාරයකි. සිය අයිතීන් දිනා ගැනීම උදෙසා ගොනු වන මහජනයා එලව එලවා පහර දී පන්නා දැමීම ආණ්ඩුවේ සම්මත ප්‍රතිචාරය බවට පත්ව තිබේ. හම්බන්තොට වරාය පරිශ්‍රයේදී සිදු වුයේ ඊටත් වඩා බරපතල තත්වයකි. නිරායුධ වරාය සේවකයින් අභියසට ක්ෂණයකින් ආයුධ සන්නද්ධ නාවික හමුදා භට පිරිසක් කැදවා තිබුණි. සිද්දිය වාර්තා කිරීමට පැමිණි මාධ්‍ය වේදීන් ඇතුළු පිරිසකට නාවික හමුදාපතිවරයා විසින් පහර දුන් ආකාරය මුළු රටම දුටුවේය. ඒ අතර තුර වෙඩි ප්‍රහාර කිහිපයක්ද එල්ල විය නිරායුධ සිවිල් උද්ගෝෂණයක් විසුරුවා හරිම සදහා ආණ්ඩුව විසින් ගත් මෙම සන්නද්ධ උත්සාහය කිසිසේත්ම යුක්ති සහගත නැත.

ආණ්ඩුව මේ උත්සහ දරන්නේ හමුදාව සහ සිවිල් සමාජය අතර පවතින බැදීම බිද දමා හමුදාව කෙරෙහි සමාජ වෛරයක් ඇති කිරීම තුලින් ආණ්ඩුවේ රණවිරු දඩයම් ව්‍යාපෘතිය සාධාරණීකරණය කර ගැනීමට දැයි මෙහිදී සාධාරණ සැකයක් මතු වෙයි. කෙසේ වෙතත් හම්බන්තොට වරාය සේවක උද්ඝෝෂණය හමුවේ ආණ්ඩුව කටයුතු කර ඇත්තේ ප්‍රජාතන්ත්‍ර විරෝධී, නීති විරෝධී සහ සදාචාර විරෝධී ආකාරයටයි.

ආණ්ඩුව විසින්ම ආණ්ඩුව හදුන්වා දීමට භාවිත කරන යහපාලන සංකල්පයටද ආණ්ඩුවේ මේ විකෘති හැසිරීම නොගැලපෙන බව අවධාරණය කල යුතුය.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ අනාගත වාදී සංවර්ධන වැඩපිළිවෙල විසින් ජාතියට තෑගී කල හම්බන්තොට වරාය රටට අවාසි ලෙස විකුණා දැමීම නතර කරන ලෙසත් එහි සේවක හඩට කන් දෙන ලෙසත් අපි ආණ්ඩුවට බල කර සිටිමු.

මෙයට
මහාචාර්ය ජී.එල් පීරිස්
සභාපති
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

උපදෙස් පරිදි

සංජීව එදිරිමාන්න
මාධ්‍ය ප්‍රකාශක
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network