ජනපති සිරිසේනට ප්‍රශ්න කීපයක් ! (ඔබ මේ රවට්ටනේ කාවද ? ) Prasident Sirisena

ජනපති සිරිසේනට ප්‍රශ්න කීපයක් !



//නිල්වලා ව්‍යාපෘතිය ආරම්භ කරලා තියෙනවාද? එක උදැල්ලක්‌ ගහලා වැඩ පටන් අරගෙන තියෙනවාද? වැටියක්‌ බැඳලා තියෙනවාද? මේ සල්ලි කෝ කවුද සල්ලි ගත්තේ? මේ සල්ලි කොහෙටද ගිහින් තියෙන්නේ. භාණ්‌ඩාගාරයෙන් දීලා තියෙනවා වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම්ට… එතනින් පස්‌සේ චෙක්‌පතට වූ දෙයක්‌ නැහැ. මේවා ගැන පරීක්‍ෂණ කරන එක වැරදිද? මේවා මහජනතාවගේ සල්ලි යෑයිද ජනාධිපතිවරයා මෙහිදී කීය.

භාණ්‌ඩාගාරයෙන් ලිපි ගොනුවක්‌ මට ලැබුණා. නිල්වලා ව්‍යාපෘතිය ආරම්භ කරන්න චීන සමාගමක්‌ සමග 2012 වර්ෂයේ දී මහා භාණ්‌ඩාගාරයෙන් දීලා තියෙනවා රුපියල් මිලියන 1000 ක චෙක්‌පතක්‌. පසුගිය ජනාධිපතිවරණයට පෙරදින එනම් 2015 වර්ෂයේ ජනවාරි 07 වැනිදා නිල්වලා ව්‍යාපෘතිය සඳහා දෙවැනි චෙක්‌පත නිකුත් කරනවා රුපියල් මිලියන 3012 ක්‌. මේ චෙක්‌පත් දෙකේ එකතුව රුපියල් මිලියන 4012 යි.// 

ජනපති සිරිසේන

අපි ජනපති සිරිසේනගෙන් ප්‍රශ්න කීපයක් අහනවා. ඔබ කියන ලෙස වාරිමාර්ග අමාත්‍යාංශ ලේකම්ට භාණ්ඩාගාරයෙන් චෙක් පතක් දී තිබෙනවා. වාරිමාර්ග අමාත්‍යාංශය කියන්නේ වෙන කොහේවත් රටක එකක් නෙමෙයි, ලංකාවේ අමාත්‍යාංශයක්. ලේකම් කියන්නේ රජයේ නිලධාරීයෙක්. ජනපතිවරයා ලෙස ඔබ විසින් වහාම මෙම නිලධාරියා කැඳවා අදාළ මුදලට කුමක් වූයේ ද යන්න වහාම ප්‍රශ්න කළ යුතුයි. ලේකම්වරුන්ට මේ විදියට චෙක්පත් සැහැල්ලුවෙන් ගන්න බැහැ. පසුගිය දා ප්‍රසිදධ කතාවක දී මේ කාරණය කීමට පෙර ජනපති වන ඔබ මේ ප්‍රශ්නය පළමුවෙන් ම ආදාළ ලේකම්වරයාගෙන් විමසුවා ද? අපගේ ප්‍රශ්නය එයයි. ප්‍රශ්න නොකළා නම් ඒ ඇයි?

ජනපතිවරණයට පෙරදින, එනම් ජනවාරි 07 වැනි දින ද මේ සඳහා මුදල් ගෙවා ඇති බව ඔබ පවසනවා. ඒක මිලියන 3012ක් බවයි ඔබ පවසන්නේ. මේ මුදල ද ඔබ කියන පරිදි ගෙවා ඇත්තේ වාර්මාර්ග ලේකම්වරයාටයි. අප දන්නා පරිදි වාර්මාර්ග අමාත්‍යාංශය අහෝසි වී නැහැ. ඔබට පුළුවන් මේ අමාත්‍යාංශයෙන් එකී දෙවැනි චෙක් පත ගැනත් විමසීමක් කිරීමට. ඔබ ඒ  ගැන විමසීමක් හෝ විමර්ශනයක් කළා ද? ඇරත්, ජනපතිවරණයෙන් පසු, එනම් ජනවාරි 09 වැනි දා සිට බලයේ ඉන්නේ ඔබයි. ආදාළ චෙක්පත ජනවාරි 07 වැනි දා දුන්න ද එය මුදල් බවට පත් කරගන්නට ඇත්තේ අනිවාර්යෙන් ම නව රජය යටතේයි. එසේ නම් මුදල පිළිබඳ සම්පූර්ණ වගකීම ඇත්තේ ඔබගේ ආණ්ඩුවටයි. අප අසන්නේ, මයික්‍රපෝන් ඉදිරිපසට පැමිණි මේ ගැන කතා කිරීමට පෙර ඔබ මෙම මුදල් ගෙව්වේ ඇයි? මෙම චෙක්පත මාරු කළේ කවු ද ? හා ඒ කුමක් සඳහා ද යන්න සොයා බැලුවා ද?

අවසාන ප්‍රශ්නය; ඔබ මේ රවටන්නට උත්සාහ කරන්නේ කවු ද?
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network