තනපටකට වඩා ශ්‍රි පාදය අපට වටිනවා …..ඔබ කාටද හිමි ඉඩම් පුතේ?

තනපටකට වඩා ශ්‍රි පාදය අපට වටිනවා …..ඔබ කාටද හිමි ඉඩම් පුතේ?



ශ්‍රී පාද පුද බිම වගේම සමනොල රක්ෂිතයත් අපේ උරුමයන් බවත්  ජාති ආගම් පක්ෂ භේද පැත්තක තබලා අපේ උරුමයන් රැක ගන්න සමස්ත ජාතියම එකතු විය යුතු බව පිවිතුරු හෙළ උරුම පක්ෂයේ ප්‍රධාන ලේකම් නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසනවා.අද කොළඹ පැවැති මාධ්‍ය හමුවකදි මන්ත්‍රීවරයා ප්‍රශ්ණ කර සිටියේ…“පුද බිම නොවන බව හිමි පවසනවා.  වනය නොවන බව වන නිල පවසනවා.  ඔබ කාටද හිමි ඉඩම් පුතේ?…”

“සමනල කන්දේ විදේශීය සමාගමක් නිවාඩු නිකේතනයක් හදන බවට මේ දින වල දැවැන්ත ආන්දෝලනයක් තිබෙනවා. ශ්‍රී පාද නායක හිමියන් පවසන විධියට එම ඉඩම ශ්‍රී පාද පුද බිමට අයිති නෑ. වන සංරක්ෂණ නිලධාරින් පවසන විධියට මේ ඉඩම වන සංරක්ෂණයට අයිතිත් නෑ.  එහෙම නම් මේ ඉඩම අයිති කාටද?  විදේශිකයින්ට බදු දුන්නා ද විකුණුවා ද?  “පුද බිම නොවන බව හිමි පවසනවා.  වනය නොවන බව වන නිල පවසනවා.  ඔබ කාටද හිමි ඉඩම් පුතේ? කියලා අපට ඉඩමෙන්ම තමයි අහන්න වෙන්නේ.  මේ ඉඩම බැසිල් රාජපක්ෂ මැතිතුමා විදේශිකයින්ට විකුණලා කියලා බොරු ප්‍රචාරයක් පැතිරුවා. ආණ්ඩුවෙන්මයි මේ ප්‍රචාරය යැව්වේ. අපි ගාව තියෙනවා ඒක ප්‍රචාරය කරපු ෆේස් බුක් , වෙබ් පිටු මොනවද කියන එකත් ඒක ෂෙයා කරමින් කටයුතු කරපු මේ ආණ්ඩුවට සම්බන්ධ විවිධ දේශපාලකයන්ගේ ගෝලයන් කවුද කියන එකත්.  ”

“බැසිල් රාජපක්ෂ මැතිතුමා ශ්‍රී පාදයේ ඉඩමක් විදේශිකයින්ට විකුණලා කියලා හඬ නගන අයට මම අභියෝග කරනවා ඒකට සාක්ෂි ඉදිරිපත් කරන්න කියලා.“බැසිල්“ කියන නම ඇසුනා විතරයි විශ්‍රාමික දේශප්‍රේමින් බොහොම උනන්දුවෙන් සටනට බැස්සා. මේ අය බලයට ආවොත් දළදා මාළිගයත් විකුණාවි කියමින් මුහුණු පොත පුරා බොරු ප්‍රචාරය කලා.  ඒක බොරුවක් කියලා දැන ගත්තාම කට්ටිය නිහඬ වුණා.  දැන් වරදක් වෙන්නේ බැසිල් මැතිතුමා ඉඩම විකුණුවා නම් විතර ද? වර්තමාන ආණ්ඩුවෙන් එහෙම කලොත් වරදක් නොවේ ද? මහින්ද රාජපක්ෂ මැතිතුමා කළත් ජනාධිපති කළත් අගමැති කළත් වරද වරදමයි.  කළ පුද්ගලයා අනුව වරද නිවැරදි වෙන්නේ නෑ.”

ශ්‍රී පාද පුද බිම වගේම සමනොල රක්ෂිතයත් අපේ උරුමයන්.  ජාති ආගම් පක්ෂ භේද පැත්තක තබලා අපේ උරුමයන් රැක ගන්න සමස්ත ජාතියම එකතු විය යුතුයි.  ඒ නිසා මේ ඉඩම පිළිබඳ සැබෑ කතාව ආණ්ඩුවේ බලධාරින්, විශේෂයෙන් ඉඩම් ඇමති විසින් රටට හෙලි කළ යුතුයි.මේ ඉඩම අයිති කාටද?  විදේශිකයෙකුට දීලද නැද්ද?  ඒක සිදු උනේ කොහොමද? මෙය රක්ෂිතයට අයත් නැතත් රක්ෂිතයට අවට ඉඩමක් උනත් පාරසරික බලපෑම් ගැන ඇගයීමක් නැතුව කිසිදු ඉදිකිරීමක් කල නොහැකියි. මමත් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ලෙස කටයුතු කල නිසා ඒ බව හොදින්ම දන්නවා.  ඒ නිසා ඉඩම් ඇමති හෝ පරිසර ඇමති රට ඉදිරියට ඇවිත් මේ ආන්දෝලනාත්මක සිදු වීමේ සැබෑ කතාව රටට හෙළි කල යුතුයි. ඒ වගේම පරිසර ඇමතිතුමා වන ජනාධිපති මේ පිලිබඳ නිශ්ශබ්දයි. එතුමන් තනපටක් විසිකිරීමත් මහා ජාතික අර්බුදයක් බවට පත්කර ගත්තා. තනපටකට වඩා ශ්‍රි පාදය අපට වටිනවා කියලා අපි ජනාධිපතිතුමාට බොහොම ගෞරවයෙන් සිහිපත් කරනවා.”
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network