මේක ආණ්ඩුවක් මිසක් සියඹලාණ්ඩුවක් නෙවෙයි

මේක ආණ්ඩුවක් මිසක් සියඹලාණ්ඩුවක් නෙවෙයි

83 කළු ජූලියේ ඇතිවූ කලබලකාරී වාතාවරණය තුළ පිටකොටුවේ කඩ වැසීමේ සිදුවීමෙන් පසු නැවත කඩ වැසුණේ මේ වසරේ ජූලි මාසයේ බව එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

වැට් බදු සංශෝධනය තුළින් සිල්ලර හා තොග වෙළඳාමට වැදුණු බදු හේතුවෙන් මේ වසරේ ජූලි වන විට පිටකොටුවේ කඩ වැසුණු බව හෙතෙම කියා සිටියේ අද(19)කොළඹ, පුංචි බොරැල්ල පැවති මාධ්‍ය හමුවකදීය.

දිගම්බරම්,මුජිබර් රහුමන්,මනෝ ගනේෂන් වැනි මැති ඇමතිවරුන් ද පසුගියදා පිටකොටුව ප්‍රදේශයේ සංවාරය කරමින් මේ ආකරයට වෙළඳසැල් වසා නොදමන ලෙස ඔවුන්ගෙන් ඉල්ලීම් කර ඇති බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ආණ්ඩුවේ සමහර උදවිය කඩවැසෙන්නේ මන්දයන සැබෑ ප්‍රශ්නය හඳුනා නොගෙන එලෙසින් කඩ වසන වෙළෙඳුන් සොයා ඔවුන් සම්බන්ධයෙන් වෙනම ක්‍රියා මාර්ග ගැනීමට උත්සාහ ගනිමින් සිටින බවද ගුණවර්ධන මහතා පෙන්වා දුන්නේය.

ආණ්ඩුව විසින් කළ යුතුව ඇත්තේ පාර්ලිමේන්තුවට ගෙනවිත් තුනෙන් දෙකකින් සම්මත කරගනු ලැබූ 2016 අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම බවත්,එහි වැට් බදු ලෙස තිබුණේ 11%ක වැට් බදු අයකිරීමක් පමණක් බවත් ඔහු සිහිපත් කළේය.

එසේම පාර්ලිමේන්තුවෙන් සම්මත වුණු යෝජනා තුළ සිල්ලර හා තොග වෙළෙඳාමට වැට් බදු වැඩිකිරීමක් නොතිබුණු බවද ඔහු මෙහිදී අවධාරණය කළේය.

රජයට හා පාර්ලිමේන්තුවට ඇති රටේ මූල්‍ය බලය මුදල් ඇමතිවරයා විසින් අත්තනෝමතිකව තමන් සතු බලයක් ලෙස සිතා ක්‍රියා කිරීම හේතුවෙන් මෙම අර්බුදය හටගෙන ඇති බව ගුණවර්ධන මහතා සඳහන් කළේය.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 16ක මිල පාලනය කිරීමට ආණ්ඩුව මේවන විට පියවර ගෙන ඇතත් එම ක්‍රියාවද ඇවිලෙන ගින්නට පෙට්‍රල් දැමීමක් මිසක් ප්‍රායෝගිකව ජනතාවට සහන සැලසෙන නිසි ක්‍රියාමාර්ගයක් නොවන බව මන්ත්‍රීවරයා කියා සිටියේය.

විවෘත වෙළඳපළක් තුළ මිල පාලන කොමිසමක් හෝ මිල පාලන දෙපාර්තමේන්තු යථාර්ථයක් නොවන බව මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

මේවන විට ආනයනික සීනිවල බදු අඩු කර ඇති නමුත් එහි පාඩුව වසර දෙකක් යනතුරු රජය විසින් දරාගන්නා බව අගමැතිවරයා ප්‍රකාශ කර ඇති බවත්,එම පාඩුව පියවාගන්නා ස්වරූපයක් ගැන පවසා නැති බවත් ගුණවර්ධන මහතා සඳහන් කළේය.

මෙය ආණ්ඩුවක් මිස සියඹලාණ්ඩුවක් නොවන බව මන්ත්‍රීවරයා මෙහිදී අවධාරණය කළේය.

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network