තම්බි මුදියන්සේ, J R ජයවර්ධන හා රනිල් වික්‍රමසිංහ

තම්බි මුදියන්සේ, J R ජයවර්ධන හා රනිල් වික්‍රමසිංහ

2002 ජනවාරි 2 වන දින සිදුවූ මිලේනියම් සිටිපාවාදීම වාර්තා කළ සමහර පුවත්පත් සඳහන් කළේ, මෙම පාවාදීම දෙවැනි වන්නේ මහනුවර යුගයේදී තම්බි මුදියන්සේ විසින් කළ සිංහලයේ රජු හා රට සුද්දාට පාවාදීමට පමණක් වන බවයි. මිලේනියම් සිටි පාවාදීමෙන් නොනැවතී, අන්තවාදී ම්ලේච්ඡ ත්‍රස්තවාදීන්ට රට පාවාදීම, පාවෙන අවි ගබඩාවේ පාවාදීම වැනි පාවාදීම් ද අද දවසේ අප අත්දකින්නෙමු.


පාවාදෙන්නන්ගේ පරපුරේ මුල්ම පුරුක වූ තම්බි මුදියන්සේ ගැන නැවත කියවීමට මේ කාලය යි.


'ඉතිහාසයේ වරක් සිදුවූ සිද්ධීන් නැවත නැවතත් සිදු වන්නේ ය' යනුවෙන් කියමනක් ඇති බව අප මතක තබා ගත යුතු ය.


       සිංහලය විදේශිකයින්ට පාවාදුන් තම්බි මුදලි

* 'තම්බි' යන වචනය මරක්කල නැතහොත් මුස්ලිම් ජනයා හැඳින්වීම සඳහා සිංහලයන් අතීතයේ පටන් පාවිච්චි කළ වචනයක් වුවත්, තම්බි මුදියන්සේ යනු මුස්ලිම් ජාතිකයකු නොවේ.[1] ඔහු, දොන් ඒඩ්‍රියන් විජයසිංහ ජයවර්ධන ය. වෙනත් විදිහකට කියනවා නම්, ශ්‍රී ලංකාවේ හිටපු පළමු විධායක ජනාධිපති ජූනියස් රිචඩ් ජයවර්ධන පරපුරේ මීමුත්තා ය.


* තම්බි මුදියන්සේ දකුණු ඉන්දියාවෙන් ලංකාවට ආ ද්‍රවිඩ හෙට්ටියකුගේ පුතෙකි. එම පරපුරේ අයෙකු හංවැල්ලේ වෙල්ගම ගමේ ජයවර්ධන පෙළපත් නාමය ඇති කාන්තාවක් විවාහ කරගෙන මුල් නම වෙනස් කර බිරිඳගේ 'වාසගම' තමාගේ කරගත්තේ ය. තම්බි මුදියන්සේ ඉපදී ඇත්තේ හංවැල්ලේ වෙල්ගමදී ය.



චෙට්ටී හෙවත් හෙට්ටි ජනයා

(ඡායාරූප උපුටා ගැනීම  - ebay  වෙබ් අඩවිය)
* දුප්පත්කම නිසා කොළඹට ආ දොන් ඒඩ්‍රියන්ට, වයස 14-15 දී කොළඹ ලන්දේසි කොටුවේ අණදෙන නිලධාරීයා වන කර්නල් ඩ්‍රිබර්ග් හමුවිය. ඔහුගේ නිල නිවසේ සේවයට ගොස්, ඔහුගේ හා අනෙකුත් හමුදා නිලධාරීන්ගේ සිත දිනාගත්තේ ය. මේ ලපටි කොල්ලා එය කළේ කෙසේ ද යන්න අදටත් කිසිවකු දන්නේ නැත.


* තම්බි මුදියන්සේට ලන්දේසි හමුදාවේ ඔත්තුකරුවකු ලෙස ආරච්චි තනතුරක් ලැබුණේ ය. ඔහු තමාගේ ලොක්කන් කෙරේ පෙන්වූ අසීමිත පක්ෂපාතී බව හේතුවෙන් රැකියාවේ ඉහළට ම ගියේ ය.


* ඉංග්‍රීසින් ලංකාව ආක්‍රමණය කිරීමට සැරසෙන විට, ඉංග්‍රීසි හමුදාවේ ඔත්තු සෙවීම සඳහා ඊට රිංගාගත් තම්බි මුදියන්සේ සාර්ථකව කටයුතු කරන අතරේ, මහබෝල ගමේදී ඉංග්‍රීසීන්ට අසුවිය. ඉංග්‍රීසීන්ට පක්ෂපාති වීමට කැමති නොවූ නිසා හිස ගසා දැමීමට තීරණය කළ අවස්ථාවේ 'ඉංග්‍රීසින් ජයග්‍රහණය කරන්නේ නම් පක්ෂපාති වෙනවා' යැයි කියා හිස බේරා ගත්තේ ය.


* ඉංග්‍රීසීන් ලන්දේසීන්ගෙන් කොළඹ කොටුව අල්ලාගැනීමෙන් පසුව, ඉංග්‍රීසීන් පන්නා දැමීමට මුහුදුබඩ පළාත්වල සිංහලයන් කළ කැරැල්ල ගැන නිවැරදි තොරතුරු ජනරාල් ස්ටුවර්ට්ට ලබාදී, තම්බි මුදියන්සේ ඉංග්‍රීසීන්ගේ හමුදාවේ චරපුරෂයකු විය. රයිගම්, හේවාගම් හා සල්පිටි කෝරළවල හටගත් කැරළි (ඉංග්‍රීසීන් පන්නා දැමීම සඳහා සිංහලයින් කළ සටන්) මැඩපැවැත්වීමට ද උපකාර කළේ ය.


* රට අල්ලාගැනීම වෙනුවට රජු අල්ලාගැනීම සඳහා ජෝන් ඩොයිලි හැදූ සැලසුම් කිහිපයකි. ඉන්දියානු නායක්කර් පෙළපතේ කන්නසාමි හෙවත් ශ්‍රී වික්‍රම රාජසිංහ රජුන් හා සිංහල ප්‍රභූන් අතර තිබූ අමනාපය තම වාසියට ගෙන වර්ගවාදය යොදා ගැනීම, දෙමළ රජුන් එලවා සිංහලයකු පත්කිරීමට උදව් දෙන බව පෙන්වා සිංහල රදළයින් හා රජු අමනාප කිරීම, රජු ළඟින් ම සිටි ප්‍රභූන් ඉත්තන් කර ගැනීම, රජු මත්පැනට හුරු කරවීම, රදළයින් හා වැසියන් අතරේ රජු  දුෂ්ටයකු ලෙස හංවඩුගසා රජු තනිකිරීම ආදිය ඒවාට අයත් විය.


*  ඉංග්‍රීසීන් විසින් සිංහලේ රජු අල්ලා ගැනීමේ මෙම සැලැසුම්වල එක් ප්‍රධාන කොටසකි, ඔත්තු සේවය නැතහොත් චරපුරුෂ සේවය. මෙයට සම්බන්ධව සිටි සිංහලයන් අතරේ ප්‍රධානියා වූයේ  තම්බි මුදියන්සේ ය.


* ජෙනරාල් මැක්ඩෝවෙල්ගේ නායකත්වයෙන් භට පිරිසක් සමඟින් කන්ද උඩරටට ගිය ගමනේ මග පෙන්වන්නා වූයේ තම්බි මුදියන්සේ ය. ගමන සාර්ථක විය. දොන් ඒඩ්‍රියන් විජයසිංහ ජයවර්ධනට මුහම්දිරම් තනතුර ලැබිණ.


* 1802 දී ඉංග්‍රීසීන් කන්ද උඩරටට එරෙහිව යුධ ප්‍රකාශ කළේ ය. තම්බි මුදියන්සේ කියූ දේ නොඇසූ නිසා පරාජය හිමි විය. තම්බි මුහන්දිරන්ට නම් ජය හිමි විය. ඒ, මුදලි තනතුරකට උසස් කිරීමෙනි.


* මහනුවර මහ අධිකාරම් පිළිමතලාවේ විසින් සාකච්ඡා සඳහා පැමිණෙන්න යැයි නොර්ත් ආණ්ඩුකාරයාට කළ ආරාධනය,  ඔහු මැරීමට කළ උපායක් බව තම්බි මුදියන්සේ කියා සිටියේ ය. මෙය මුලින් ඉංග්‍රීසීන් විශ්වාස කළේ නැත. එම පහරදීම එසේ ම වූ නිසා ඔවුන් තම්බි මුදියන්සේව වඩ වඩාත් විශ්වාස කළේ ය. මුහන්දිරම් තනතුරට හිමි දීමනාවට වඩා වැඩි මුදලි දීමනාවක් ලබා දුන්නේ ය.


*  මහනුවර රජු 31,000ක සේනාවක් සමඟ කොළඹ කොටුවට පහරදීමට එන බවට ඔත්තුව දුන්නේ තම්බි මුදියන්සේ ම ය.


* සිංහලේ රජුගේ සේනාව කොළඹ දෙසට එන අතරේ, පහතරට ඇතිවූ කැරළි (ඉංග්‍රීසීන් පන්නා දැමීම සඳහා සිංහලයින් කළ සටන්) මැඩ පැවැත්වූයේ තම්බි මුදියන්සේ ය. ඉංග්‍රීසි ප්‍රධාන සේනාව සමඟ රජුගේ සේනාව දෙසට ගිය ස්වදේශික භට පිරිසේ නායකයා වූයේ තම්බි මුදියන්සේ ය. මෙම භට පිරිස රජුගේ සේනාව පරාජයකොට කොටුව අල්ලා ගත්තේ ය.


* ඉහත සටන්වලදී තම්බි මුදියන්සේ පෙන්නූ පක්ෂපාතීකමට නොර්ත් ආණ්ඩුකාරයා ඔහුට වාසල මුහන්දිරම් පදවිය මෙන් ම ඔත්තුකරුවන්ගේ මුදලි පදවිය යන දෙක ම එකවර ලබා දුන්නේ ය. පදක්කම් හා රන් දම්වැලක් ද ලබා දුන්නේ ය. '1803 දී හංවැල්ලේ හා රුවන්වැල්ලේ දී පෙන්වූ භක්තිය හා උනන්දුව වෙනුවෙන් වාසල මුහන්දිරම් විජයසිංහ ජයවර්ධනට මෙය නොර්ත් ආණ්ඩුකාරවරයා විසින් පිරිනැමිණි' යනුවෙන් එහි ලියා තිබුණි.


* රටට ආදරය කළ සිංහලයන් රටේ නිදහස වෙනුවෙන් දියත් කළ ඌවේ හා මාතලේ මහා සටන් අමතක කර, 1948 දී ලංකාවට නිදහස ලැබුණේ ලේ බිඳක් හෝ සොලවන්නේ නැතිව යැයි සමහරු කියයි. ඒ කයිවාරුව කෙසේ වුවත්, ලේ බිඳක් හෝ සොලවන්නේ නැතිව, 1815 දී සිරිලක අල්ලා ගැනීමට නම් සුද්දාට හැකි වූයේ ගයිට්කම් කළ, සුද්දන් කියනා විදිහටම 'කිසිම යටත් විජිතයකින් සොයාගත නොහැකි විශ්වාසවන්ත ම ස්වදේශිකයෙක්' වන තම්බි මුදියන්සේ නිසාවෙන් බව නම් සත්‍යයකි.


* සිංහලේ රජුන් තම අතින් ම අල්ලා ගෙන ගොස් ජෝන් ඩොයිලි නම් පර සුද්දාට භාරදී අවුරුදු දෙදහස් හාරසියයක් තිස්සේ පැවත ආ සිංහල බෞද්ධ උරුමයේ මිනී වළට අන්තිම පස් පිඩැල්ල දැමූ ද්‍රෝහියා ය.


* සුද්දන්ට පිම්පිකම් කරමින්, ජාතිප්‍රේමී සිංහලයන් මරා දැමීම සඳහා කුමන්ත්‍රණය කළ ආත්මාර්ථකාමී කපටියෙකි.


 *  සිංහලයන්ගේ නිදහස වළලා ඒ මත ජාතිද්‍රෝහී පරපුරක් ගොඩනැඟු දුෂ්ටයෙකි.


*  කවදත් සුදු අධිරාජ්‍යවාදීන්ගේ පන්දම්කාර ගයිටුවෙකි. එමෙන් ම සිංහලයන්ගේ හතුරෙකි.


*   ඉංග්‍රීසින්ට දැක්වූ පක්ෂපාතී කමට, 1804 දී විශාල ඉඩමක් ද 1805 දී මැණික් ඔබ්බවා කැටයම් කළ මිටක් ඇති කඩුවක් ද නොර්ත් ආණ්ඩුකාරයා විසින් තම්බි මුදියන්සේට ලබාදුණි.


*  ජෙනරාල් විල්සන් ඩොයිලි, මේජර් ජනරාල් H මක්ඩෝවල්, මේජර් W කෙනී, මේජර් අගිනිව්, කපිතාන් බෙනෝ, මේජර් බීවර්, මේජර් මෝබ්රෝ වැනි විවිධ තනතුර දැරූ නිලධාරීන්ගෙන් තම්බි මුදියන්සේ සහතික ලබා ඇත.


*  1805 ජූලි 19 දා වැඩ භාරගත් මෙරට දෙවන ආණ්ඩුකාරයා වන සර් තෝමස් මේට්ලන්ඩ් විසින් තම්බි මුදියන්සේ හලාවත දිසාවේ මුදලි තනතුරකට පත් කර, ඔහුට එම ප්‍රදේශයේ විශාල නින්ද ගමක් ද පවරා දුන්නේ ය.


*  1812 මාර්තු 11 වෙනිදා ලංකාවේ ආණ්ඩුකාරයා වූ රොබට් බ්‍රවුන්රිග්, 1814 දී මහනුවර රජුට එරෙහිව යුද්ධ ප්‍රකාශ කළේ ය. කන්ද උඩරට යන ඉංග්‍රීසි සේනාංකයන්ට මඟ පෙන්වන්නා වූයේ තම්බි මුදියන්සේ ය. උඩරටට යෑමට මාර්ග පහක් සූදානම් කර ඒ මාර්ගවල යන සෑම සේනාංකයක් සඳහා ම චරපුරුෂයින් හා ඔවුනට අවශ්‍ය වෙනත් දෑ ද ඔහු සපයා දුන්නේ ය. යුධයට යන භට පිරිසට අවශ්‍ය වන 'වෙනත් දෑ' යනු මොනවාද යන්න සිතා ගත හැකි ය.


*  මහනුවරට යන ගමන් මාර්ගය, රජමැදුරේ පිහිටීම, රාජධානියේ අනෙකුත් ප්‍රදේශ, රජුගේ විස්තර වැනි තමන් දන්නා තොරතුරු තම්බි මුදියන්සේ ඩොයිලිට ලබා දුන්නේ ය. ඩොයිලිගේ සේනාංකය මහනුවරට ඒමට පෙර රජු, බිසවා හා පරිවාර ජනයා සමඟ මැද මහනුවරට ගිය බව ඉතිහාසය කිව්වත් 1830 මැයි 15 දා සිලෝන් ගැසට් පත්‍රයේ තම්බි මුදලියාර් ලිපියේ කියවෙන්නේ 'ඔහු සේවකයන් සමඟ ගොස් රජ අසිපත තම අතට ගෙන රජු අතින් අල්ලා ගෙන ඇවිත් සර් ජෝන් ඩොයිලිට බාර දුන්නේ ය' යනුවෙනි.


සිංහලේ අන්තිම රජු අල්ලාගැනීම


*  රජු අල්ලාගත් තම්බි මුදලි, රජුට හා බිසෝවරුන්ට නින්දා කළේ ය. ඔහු බිසෝවරුගේ රන් ආභරණ ගලවා ගත් බව, බිසෝවරුන් කන්වල පැළඳ සිටි ආභරණ කඩාගත් බව කියවේ. එවිට ගලා ගිය ලේවලින් ඔවුන්ගේ ඇඳුම් තෙත්වූ බව ද කියවේ. මේ බව සනාථ කරමින් කොළඹ ජාතික කෞතුකාගාරයේ ඇති රජුගේ බිසව වන රෙංගම්මාගේ සැට්ටයේ ලේ පැල්ලමක් ඇත.

*  රජතූමා විසින් පොද්දල්ගොඩ සඟවා තිබූ රාජකීය වස්තුව සොරා ගැනීමට ගොස් ඇත්තේ ද තම්බි මුදියන්සේ ම ය. එම භාණ්ඩවලින් සතරක් තම්බි මුදියසේගේ මාදම්පේ නිවසේ තිබී පසුව සොයා ගත්තේ ය.

*  කන්ද උඩරට අල්ලාදීම වෙනුවෙන් තම්බි මුදියසේට තෑගි බෝගවලට අමතරව, මසකට රික්ස් ඩොලර් 150 දීමනාවක් ඔහුගේ මරණය තෙක් ලබා දීමට තීරණය කළේ ය. ඔහුට පෙර හලාවත මුදලි තනතුර කළ හේරත් සෙනෙවිරත්න කන්ද උඩරට සිංහලයින් අතරට ගොස් තිබූ නිසා, ඉංග්‍රීසි ආණ්ඩුව හේරත් සෙනෙවිරත්න මුදලිගේ සියළු දේපල තම්බි මුදියසේට ලබා දුන්නේ ය. ලන්දේසි කර්නල්වරයාගේ නිවසේ වැඩකාර කොලුවා ඇති විශාල බූදලයක් ඇති මුදලිවරයකු බවට පත් විය.

*  යලිත් මහජන කැරැල්ලක් ඇතිවිය හැකි බවට ඉංග්‍රීසි ආණ්ඩුවට කියූ තම්බි මුදලි, උඩරට ප්‍රධානීන් අල්ලා මුහුදුබඩ ප්‍රදේශවලට ගෙන ආ යුතු බවට යෝජනා කර, නායිකයින් 18 දෙනෙකුගේ නම් රොබට් බ්‍රවුන්රිග්ට ලබා දුන්නේ ය. ඉංග්‍රීසීන් මෙය පිළිනොගත්ත ද ඔවුන් පුදුමයට පත් කරමින් පසු කළ රටේ ඇති වූ කැරළි (ඉංග්‍රීසීන් පන්නා දැමීම සඳහා සිංහලයින් කළ සටන්) මෙහෙයවන ලද්දේ මෙම උඩරට ප්‍රධානීන් විසින් ම ය.



ශ්‍රී වික්‍රම රාජසිංහ රජ හා රාජ දේවිය - වෙල්ලෝරාවට යැවීමට පෙර 
කොළඹ වරාය අසල රඳවා සිටි කුටියේ ඇති චිත්‍රයක්
(ඡායාරූප උපුටා ගැනීම  -  Synergy Y වෙබ් අඩවිය)

*  සිංහලේ රජු රටින් පිටුවහල් කර ටික කලකින් ඇති වූ ඌව වෙල්ලස්ස සටන මැඩපැවැත්වීමට තම්බි මුදියන්සේ ඉංග්‍රීසීන්ට සහය විය. ශ්‍රී වික්‍රම රජුගේ බාල සහෝදරයා වන දොරේසාමි කැරළි නායකයෙකු වශයෙන් නම් ප්‍රසිද්ධ නොකරන ලෙස ඔහු ඉංග්‍රීසි ආණ්ඩුවට උපදෙස් දුන්නේ ය. එසේ වුවහොත් ඔහු වටා මුළු රටම එකතු වන බව කියා සිටියේ ය.


*  ඇති වූ ඌව වේල්ලස්ස  මහා සටන මැඩලීමට තම්බි මුදියන්සේ කීකරු සේවකයකු ලෙස කටයුතු කළේ ය. ඉංග්‍රීසි හමුදාව සමග සටන් බිමට ගොස් කැරලිකරුවන් (ඉංග්‍රීසීන් පන්නා දැමීම සඳහා සිංහලයින් කළ සටන් මෙහෙයවූවන්) පිළිබඳව තොරතුරු ඉංග්‍රීසි ආණ්ඩුවට සැපයී ය.


*   දොන් ඒඩ්‍රියන් විජයසිංහ ජයවර්ධන යනු ඉංග්‍රීසීන්ට ගැති මොනතරම් නිවට පුද්ගලයෙක් ද යන්න වටහාගැනීමට, 1830 මැයි 15 දා සිලෝන් ගැසට් පත්‍රයේ තම්බි මුදලියාර් ලිපියේ ඇති  පහත දැක්වෙන එක් ජේදයක් පවා ප්‍රමාණවත් වේ.


" ... ඔහුගේ චරිත ස්වභාවයෙන් ම ඔහුට ආණ්ඩුවේ විශ්වාසය දිනා ගැනීමට හැකි වූයේ ය. එහෙත් ඔහුට කොතෙක් තාන්න මාන්න ලැබුණත් ඔහුගේ සේවයට නොමසුරු ලෙස කොතෙක් මිල මුදල්, තෑගී බෝග ලැබුණත් ආණ්ඩුවේ නිලධාරීන් ඔහු කෙරෙහි දැක් වූ තයාගශීලීභාවයත් කරුණාවත් වෙනුවෙන් ඔහු දක්වූයේ බොහෝ සෙයින් ණයගැති බවකි. ඔහුගේ රාජ්‍ය සේවායේ මුල සිට ම ආණ්ඩුවේ මහ ලේකම් ගරු රොඩ්නි මහතාත් ආදායම් කොමසාරිස් ගරු බොයිඩ් මහතාත් දැනට රටින් පිටව ගොස් සිටින ගරු මහත්වරු සමහර දෙනාත් ඔහුට කළ උදව් ගැන ඔහුගේ අන්තිම මොහොත දක්වා කෘතගුණ පූර්වකව සඳහන් කරන්නට කිසිවිටෙක අමතක නොකළේ ය. ඒ සියල්ලෝම මේ ස්වාදේශිකයාගේ හැකියාවත් වටිනාකමත් හැඳිනගෙන සිටි අය වූහ. පසු කාලයේ දී මුදලිට සී.ඊ. ලෙයාඩ් මහතා, ජේ. වෙල්බියොස් මහතා, එෆ්.ජේ.ටෙම්ප්ලර් මහතා යන උදවියගේ උදව්ව විශේෂයෙන් ලැබුණේ ය. ඔවුන් ඔහු වෙත දැක්වූ කරුණාවන්තභාවයත් ඔහුට කළ ආධාරත් පිලිබඳ විස්තර මෙවැනි ගුණ කතානයක දක්වන්නට තරම් අවකාශයක් නැත."


* එවකට සිටි ඉංග්‍රීසි නිලධාරීන් විසින් තම්බි මුදියන්සේ පිළිබඳව කර ඇති විස්තර අද දවසේ ජීවත්වන ලාංකිකයෙකු තුළ පවා හිරිකිතයක් ඇති වේ. නිදසුන් කිහිපයක් පහත දැක්වේ.


"... චරපුරුෂ කටයුතු පිළිබඳව තමා තුළ ඇති දක්ෂකම හා පක්ෂපාතීභාවය වෙනුවෙන් දොන් ඒඩ්‍රියන් විජයසිංහ ජයවර්ධන ලංකාවේ සේවය කරන බ්‍රිතාන්‍ය හමුදාවට අයත් වුවන්ගේ ප්‍රශංසවට හා සැලකිල්ලට ලක් වී ඇති ප්‍රමාණය අනුව බලන විට ඔහු ගැන අමුතුවෙන් සහතිකයක් අවශ්‍ය ම නොවන නමුත් මගෙන් ද කිසියම් සහතිකයක් අවශ්‍ය යැයි ඔහු කියා සිටි හෙයින් ඔහුගේ බුද්ධිමත් ක්‍රියාශීලීභාවය ගැන ලිඛිත සහතිකයක් මාර්ගයෙන් මාගේ අදහස ද ප්‍රකාශ කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමි.

තමා වෙත පැවරුණු කාර්යයන් දක්ෂ ලෙස ඉටුකිරීමේ බුද්ධියක් හා fධෙර්යයක්  ඇති මොහු හා සමාන වෙනත් ඉන්දියානු ජාතිකයකු ගැන මම නොදනිමි. විශේෂයෙන් ම ළඟ එන සටන්වල දී මොහුගේ සේවය ලබාගැනීමට බලාපොරොත්තුව සිටින ජෙනරාල් වේම්ස්ගේ අනුග්‍රහය ලැබීමට සුදුස්සකු වශයෙන් මම ඔහු ගැන සහතික කරමි. යුධ හමුධා මූලස්ථානයට සම්බන්ධ වන අන්දමේ මුදලි තනතුරකින් සම්මාන කොට කැප්ටන් හැන්කි යටතේ මඟ පෙන්වන්නන්ගේ හා රහස් ඔත්තුකරුවන්ගේ අංශයට පත් කරනු ලැබීමට තරම් දොන් ඒඩ්‍රියන් ආණ්ඩුකාරතුමාගේ ද අනුග්‍රහයට පාත්‍ර වීමෙන් ඔහුගේ ප්‍රයෝජනවත් බව පිළිබඳව එතුමා තුළ ද සම්පූර්ණ හැඟීමක් ඇති බව විශේෂයෙන් සැලකිල්ලට ගත යුත්තකි. මොහු ගැන සුදුසු පරිදි සලකන ලෙස මම මගේ මිත්‍රයන්ගෙන් ඉල්ලා සිටිමි.


ජෙ. මැක්ඩෝවෙල්

මීගමුව

1804 මාර්තු 04  දා  "


'...මොහු හා සමාන වෙනත් ඉන්දියානු ජාතිකයකු ගැන මම නොදනිමි ' යන කියමනෙන් තම්බි මුදියන්සේ ඉන්දියානු සම්භවයක් ඇති අයෙකු (A native of India) බව ද 'මගෙන් ද කිසියම් සහතිකයක් අවශ්‍ය යැයි ඔහු කියා සිටි හෙයින්...' ඉහළ නැඟීම සඳහා සහතික එකතු කරමින් ඒවා අනාගත හාම්පුතුන්ට ඉදිරිපත් කිරීම කර ඇති බව ඉතා පැහැදිළි වේ.


"මා ගයිට්ටුවන්ගේ කපිතාන් කෙනෙකු වශයෙන් සේවය කරද්දී තම්බි මුදලියාර් ගයිඩ් තනතුර දැරූ බවත් ඒ කාලය අතරතුර ඔහු පක්ෂපාත, ක්‍රියාශීලී, නිර්භීත එමෙන් ම බුද්ධිමත් මිනිසකු බව සැමවිට ම මට දක්නට ලැබුණු බවත් මින් සහතික කරමි. ඒ කාර්යය පිළිබඳව ඔහු තරම් අපට හිතවත් දක්ෂයකු මේ රටේ නැත යනු මාගේ වැටහීමයි.


අත්සන : ඩී.ඒ. ඩිනෝ

කැප්ටන් (ගයිට්ටුවන්ගේ හිටපු අණදෙන නිලධාරී)

1805 අගෝස්තු 1 වැනි දා කොළඹ. "


"තම්බි මුදලියාර් ගැන නොයෙක් දෙනා ගුණ වර්ණනා කර ඇති අන්දම බලන විට මගෙන් එවැනි සහතිකයක් අවශ්‍යය යැයි නොහැඟෙන නමුත් ඔහුගේ ඉල්ලීම පරිදි ඔහු ගැන යමක් සඳහන් කිරීමට මෙය අවස්ථාව කොට ගනිමි. උඩරට පළාත් ආක්‍රමණය කිරීම සඳහා අපේ හමුදාවට ඔහුගෙන් ලැබුණ මඟ පෙන්වීම සහ ඒ දුෂ්කර කාර්යයේ දී අප සමඟ සිටි සෙසු සිංහලයන් පාලනය කිරීමෙනුත් ඔවුන් ගැන බලා හදා ගැනීමෙනුත් අවශ්‍ය උපදෙස් දීමෙනුත් ඔහු විසින් කරන ලද පක්ෂපාත සේවය අතිශයින් ඇගේ කොට සැලකිය යුත්තකි.


අත්සන (අපැහැදිලිය)

1805 දෙසැම්බර් 7 වෙනි දින, කොළඹ."


* තමා උපන් රට හා සිංහල ජාතිය ඉංග්‍රීසීන්ට පවාදීමා හා ද්‍රවිඩ සම්භවයක් ඇති අයෙක් වන දොන් ඒඩ්‍රියන් විජයසිංහ ජයවර්ධන තවත් ද්‍රවිඩ සම්භවයක් ඇති ශ්‍රී වික්‍රම රාජසිංහ රජු පාවාදීම යන කරුණු දෙකම නිසා තම්බි මුදියන්සේ ඉතිහාසගත වේ. මෙය ලෝක ඉතිහාසයේ පහත් ම පාවාදීම ය.                                


* රජු එලවා දැමීමට කටයුතු කළ රජුගේ මහාධිකාරම් වන ඇහැළේපොළ මහ අධිකාරම් ඉංග්‍රීසි අත්අඩංගුවට පත්ව වසර හතක කොළඹ නිවසක සිරකරුවෙක් ලෙස ද 1825 මැයි 14 දා මුරුසි දිවයිනට පිටුවහල් කර මියයන තුරු එහි ජීවත් වීමට සිදුවුවත් රජු එලවා දැමීමට කටයුතු කළ තම්බි මුදියන්සේ මුදල්, තනතුරු හා වරප්‍රසාද ලැබ ගෞරවණීය ලෙස උපන් රටේ ම මිය ගියේ ය.


දොන් ඒඩ්‍රියන් විජයසිංහ ජයවර්ධනගේ (තම්බි මුදියන්සේ) මී මුණුපුරා ජූනියස් රිචඩ් ජයවර්ධන


* දොන් ඒඩ්‍රියන් විජයසිංහ ජයවර්ධන පරපුරෙන් බිහිවූ පරිණත දේශපාලන {dණයක් හා කූට බුද්ධියක් තිබූ පුද්ගලයා ය.


* ඔහු මෙරට ඉතිහාසය වෙනස් කළේ, තමන්ගේ මීමුත්තා වූ තම්බි මුදියන්සේ වාගේ විදේශ ජාතියකට රට පාවාදීමට ඔත්තු ලබාදීමෙන් නොවේ. රටේ නායකයා වශයෙන් වැඩ කරනා අතර ම, රට, බටහිර අධිරාජ්‍යවාදීන්ගේ වහල් කඳවුරක් කිරීමෙනි.


* 1948 දී ඉංග්‍රීසීන්ගෙන් නිදහස ලැබුණ ද, 1972 මැයි 21 දක්වා රට පැවතියේ ඩොමිනියන් තත්ත්වයෙන් නිසා රටේ නායකයා එංගලන්තයේ රැජින විය. රට සම්පූර්ණ නිදහස් දේශයක් වූයේ 1972 මැයි 22 දින සම්මත කළ ජනරජ ව්‍යවස්ථාවෙනි. එහෙත් 1977 දී බලයට ආ J R එය වෙනස් කර ශ්‍රී ලංකාව යළිත් යටත් විජිතවාදී වුවමනාවලට ගැළපෙන විදිහට වෙනස් කළේ ය.

ජූනියස් රිචඩ් ජයවර්ධන හා රනිල් වික්‍රමසිංහ (මාමා හා බෑනා)
(ඡායාරූප උපුටා ගැනීම  - terroristnadagam වෙබ් අඩවිය)

*  1972 ජනරජ ව්‍යවස්ථාවට අනුව රටේ පරමාධිපත්‍ය රටේ ජනතාවට දී තිබූ නිසා රටේ නායකයා පත්වූයේ ජනතා ජන්දයෙන් ජාතික රාජ්‍ය සභාවේ බහුතර බලය ලබන පක්ෂයේ හෝ කණ්ඩායමේ නායකයා ය. රටේ උත්තරීතර ආයතනය ජනතා ඡන්දයෙන් පත්වන මන්ත්‍රීන්වරු සිටිනා ජාතික රාජ්‍ය සභාව යි. 1978 දී අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වාදී ජනතා පරමාධිපත්‍ය බලය කොල්ලකන විධායක ජනාධිපති තනතුර හඳුන්වා දුන්හ. එයට අනුව නායකයා ජනතා ඡන්දයෙන් පත් වූවත් කිසිවෙකුට ප්‍රශ්න කළ නොහැකි බලයකින් ඒකාධිපතියෙකු ලෙස වැඩ කළ හැක.


* J R රට යටත්විජිත ක්‍රමයට ගෙනයාමට අවශ්‍ය දේ කළේ ය. නිදහස් වෙළද කලාප ඇතිකර විදේශි ආයෝජකයන්ට අසීමිත වරප්‍රසාද ලබා දුන්නේ ය. ආයෝජකයන්ට වසර 10 වන තෙක් 100% බදු සහන දුන්නේ ය. මෙය තව දුරටත් දීර්ඝ කළ හැකි අතර එම වසර 10 ට පසුව ඊළඟ අවුරුදු 5 සඳහා 2%-5% පමණක් වන බදු අය කිරීම කළේ ය. එම කර්මාන්තශාලාවල අමුද්‍රව්‍ය, යන්ත්‍ර ආදිය සියළු බදුවලින් නිදහස් කළේ ය. බදු නැති කාලයේ විදේශීය සේවකයන්ගේ ආදායම්, ආදායම් බද්දෙන් නිදහස් කළ අතර එම ආයතනවල කොටස්කරුවන්ගේ ආදායම ද කොටස් අලෙවිකරනා විට එය ද බද්දෙන් නිදහස් කළේ ය. රටේ ජාතික ධන පිටරටට ඇදී ගියේ ය.

* ජාතික ආර්ථික ක්‍රමය වෙනුවට විවෘත ආර්ථික ක්‍රමය හඳුන්වා දුන්නේ ය. විදේශීය ආයෝජන රටට ඇතුළු විය. මේ නිසා ආර්ථිකයේ ප්‍රසාරණය සිදු වුණේ යැයි ඇතැම් උගතුන් කීව ද සිදු වූයේ රටේ ධනය පිටරටට ඇදී යාමයි. රටට භාණ්ඩ ආනයනය නිදහස් කළේ ය. මේ නිසා අදටත් රටට ඔරත්තු නොදෙන ප්‍රමාණයක භාණ්ඩ රටට ගෙන්වයි. රටේ ධනය පිටට ඇදීයයි.


* රටේ ධනය සීමාවීම නිසා J R සීමාවක් නැති ණය පිටරටින් ගත්තේ ය. 1977 ට පෙර ණය ගත්තේ ජාතික උවමනාව ඉක්මවන ලෙස නොවේ. රට ණය හා විදේශ ආධාර මත යැපුණේ නැත. එහෙත්, 1977 පසු අප රට ණය හා විදේශ ආධාර මත යැපෙන දුර්වල ආර්ථිකයක් ඇති රටක්  බවට පත් විය.


* තම්බි මුදියන්සේගේ මී මුණුබුරාගේ ආර්ථික ප්‍රතිපත්තිය රටේ ස්ථිර කිරීමට ජාතික උවමනාවන් කපා හැරියේ ය. සියලු අංශවල ඇති බටහිර ගැතිකම නිසා සංස්කෘතිය විනාශ විය. J R ටෙලිවිෂනය හඳුන්වාදුන්නේ දියුණු සන්නිවේදන උපකරණයක් ලෙස නොව ඔහුගේ බටහිර ගැති ආර්ථික හා දේශපාලන ක්‍රමය වසාගැනීම සඳහා ය.


* මෙම ආර්ථික දේශපාලන ක්‍රම මගින් J R බ්‍රිතාන්‍යය, ඇමෙරිකාව වැනි අධිරාජ්‍යවාදී රටවල් පවා නොකළ ආර්ථික වෙනස්කම් කළේ ය. විදේශිකයන්ට රටේ සම්පත් කොල්ලකන්නට හා රටේ සංස්කෘතිය විනාශ කරන්නට සෑම පහසුකමක් ම ලබා දුන්නේ ය.  රටේ අද පවතින රටේ අනන්‍යතාව හඳුනන්නේ නැති, බටහිර ගැති, විකෘති සංස්කෘතිය මෙරට තරුණ පරපුරට ලැබුණේ J R නිසා ය.


* J R රට පාවා දුන්නේ ඔහුගේ මීමුත්තා මෙන් ඔත්තු සැපයීමෙන්, විදේශිකයින්ට පහත් සේවා සපයන්නෙකු ලෙස නොවේ. රටේ බහුතරය තෝරාගත් රාජ්‍ය නායකයා ලෙස ම ය.


* අනාගත පරම්පරා ගණනාවකට උත්තර පිළිබඳව සිතාගැනීමවත් කළ නොහැකි ඊනියා ජනවාර්ගික ප්‍රශ්නය හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යන ප්‍රශ්න දෙක රටේ ජනතාවට ඉතිරිකර J R මිය ගියේ ය.


* J R බලයට ආ 1977 පෙර 1970-77 පැවති සමඟි පෙරමුණ රජයේ ආර්ථික ප්‍රතිපත්තිය හොඳ වුවත් කළමනාකරණයේ දුර්වලතා නිසා මිනිසුන් කරදරයට පත්ව සිටියේ ය. භාණ්ඩ හිඟ වී ජන ජීවිතය දුෂ්කර විය. එනිසා 1977 දී  J Rට ඉහළ ජයක් ලැබිණ. J R බලයට ආ විගසම ඔහුගේ සතුරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මර්ධනය කිරීම සඳහා එහි නායිකාවගේ හා එහි සමහරක් ප්‍රධානීන්ගේ ප්‍රජා අයිතිය වසර 07 කට නැති කළේ ය. ශ්‍රී.ල.නි.ප. මර්ධනයට එ.ජා.ප.යේ සාමාජිකයින්ට අවස්ථාව ලබා දුන්නේ ය. ශ්‍රී.ල.නි.ප. සාමාජිකයින් පවුල් පිටින් විනාශ කළේ ය. ගිණිතබා මංකොල්ල කෑවේ ය. පොලීසිය නිහඩව සති ගණනනාවක් බලා සිටියේ ය.


* උතුරේ ප්‍රශ්නයට ජාත්‍යන්තර වශයෙන් ප්‍රසිද්ධියක් ලැබුණේ 1983 කළු ජූලිය නිසා ය. 1983 ජූලි මාසයේ උතුරේ මරා දැමූ හමුදා සෙබළු 13 දෙනාගේ සිරුරු හොර රහසේ කොළඹට ගෙනවිත් ජාතිවාදී කොලාහයක් ඇතිකිරීමට J R ආණ්ඩුව ක්‍රියාකළ බව අද ප්‍රසිද්ධ රහසකි. J R එසේ කළේ ඔහුගේ ක්‍රමයට හා පංතියට ප්‍රශ්නයක් වූ ජ.වි.පෙ. මර්දනය කිරීම සඳහා ය.


* 1982 ජනාධිපතිවරණයෙන් ජ.වි.පෙ. නායක රෝහණ විජේවීර J R ට වඩා ජන්ද 273,000 ක් ලබා ගත්තේ ය. ඉන් පසුව පැවැත්වූ ජනමත විචාරණයෙන් එ.ජා.ප ජයගත්තේ දූෂණයෙන් බව කියා රෝහණ විජේවීර උසාවියේ නඩුවක් දමා තිබිණ. එය ආණ්ඩුවට අවාසිසහගත වන බව J R දුටුවේ ය.  හමුදා සෙබළු 13 දෙනා කොටින් විසින් මරාදැම්මේ මේ අතර ය. J R ඉක්මනින් වැඩ පටන් ගත්තේ ය. දෙමළ ජනයාට ප්‍රහාර ආරම්භ විය. මිනීමැරුම් හා මංකොල්ලකෑම් සිදුවිය. එජාප ආණ්ඩුවේ ඇමතිවරුගේ පූර්ණ සහය ලැබිණ. රට ගිණි ගත්තේ ය. හදිසි නීතිය පනවන ලදී.


* කෝලහාල කරන්නේ ජ.වි.පෙ., නව සමසමාජ පක්‍ෂය හා කොමියුනිස්ට් පක්ෂය බව කියූ ආණ්ඩුව එම පක්‍ෂ තුන තහනම් කර එහි නායකයින් අත්අඩංගුවට ගැනීම ආරම්භ කළේ ය. දින කීපයකට පසුව නව සමසමාජ පක්‍ෂයේ හා කොමියුනිස්ට් පක්ෂයේ තහනම ඉවත් කළත් ජ.වි.පෙ. තහනම ඉවත් නොකළේ ය.  මෙයින් මෙය ජ.වි.පෙ. ට ඇටවූ උගුලක් බව පැහැදිළි විය.


* ඉන් පසුව ජ.වි.පෙ. රහසිගත ව්‍යාපාරයක් බවට පත් විය. ජ.වි.පෙ. සාමාජිකයින් දහස් ගණනින් අත්අඩංගුවට ගත්තේ ය. 1983-1993 දක්වා එම පක්ෂයට ප්‍රසිද්ධ දේශපාලනය තහනම් විය. තමුන්ගේ බලය වෙනුවෙන් J R 1983 දී ගත් පියවර නිසා රට භීෂණයට ඇද වැටී තරුණ තරුණියෝ ලක්ෂයක් පමණ රටට අහිමි විය.


* 1983-1993 කාලයේ උතුරේ කොටි දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය ලෙස බලවත් විය. ජාත්‍යන්තර අවධානය ලබා ගෙන ජාත්‍යන්තරයට ශ්‍රී ලංකාව මෙහයවිය හැකි ආයුධයක් බවට පත් විය.


* සදාකාලයට ම එ.ජා.ප.ට බලය ලබාගැනීම සඳහා 1978 දී J R සම්මත කරගත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අද විසදාගත නොහැකි ප්‍රශ්නයක් වී ඇත. අද රටේ සියළු දේශපාලන පක්‍ෂ හා නායකයන්ගේ ක්‍රියාකාරකම් තීරණය කරන ප්‍රධාන සාධක දෙක J R විසින් ඇතිකළ මෙම ප්‍රශ්න දෙකයි. ඒ ගැන කතා නොකර ක්‍රියාකිරීමට නොහැකිව ඔවුන් මෙම ගැටළුවල සිරවී සිටී. රට ඉදිරියට යා නොහැකිව එකතැන පල්වෙමින් සිටී. ඒ තම්බි මුදියන්සේගේ මීමුණුබුරා වන J R ජයවර්ධනට පිං සිදු වන්නට ය.


උතුරේ අරගලයට විසඳුමක් කියමින් අග්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ සහ LTTE ත්‍රස්ත නායක වේලුපිල්ලේ ප‍්‍රභාකරන් 2002 02 22 දින සටන් විරාම ගිවිසුම අත්සන් කළ අවස්ථාව. නෝවේ රාජ්‍යයේ මැදිහත්වීම යටතේ රනිල් වික්‍රමසිංහ වව්නියාවේ සිට ද LTTE නායක ප්‍රභාකරන් කිලිනොච්චියේ සිට ද ගිවිසුම අත්සන් කළ අතර ශ‍්‍රී ලංකාවේ නෝර්වේ තානාපතිවරයා වූ ජෝන් වෙස්ට්බර්ග් මැදිහත්කරු ලෙස ක්‍රියා කළේ ය.

ජේම්ස් ඇල්ෆ්‍රඩ් ජයවර්ධන හා කළුතර මුහන්දිරම් විජේකෝන්ගේ දුව යන දෙදෙනාගේ  හෙක්ටර් ජයවර්ධන නම් පුතා :                        

                නීතීඥයෙකි. වසර 20ක් කොළඹ නගර සභාවේ නිව් බසාර් ආසනයේ නාගරික මන්ත්‍රී ය. මුත්තා වන තම්බි මුදියන්සේ විසින් ග්‍රෑන්ඩ්පාස් හි සාදා තිබූ ජයවර්ධන වලව්වේ සිට මේ රටේ මැතිවරණ දේශපාලනයේ පළමු ජාතිවාදී කුමන්ත්‍රණය  දියත් කර ජයගත්තේ ය. 1910දී සිදුවූ මෙරට ප්‍රථම ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයෙන් උගත් ලාංකික මන්ත්‍රීවරයකු තෝරාගැනීම වෙනුවෙන් ලබා දුන් අවස්ථාව, තමාට ශක්තිමත් පදනම් නොමැති නිසා, එයට ඉදිරිපත් වූ දොස්තර මාක්ස් ප්‍රනාන්දුහට එය ලැබීම වැලැක්වීම සඳහා ඉන්දියාවෙන් කැඳවා ගෙන ආ පොන්නම්බලම් රාමනාදන් යොදාගැනීමයි, ඒ. මෙරට ඊනියා ජනවාර්ගික        ගැටළුවට හේතු වූ සිද්ධිය මෙය වේ. ඊළඟ මැතිවරණයෙන් තනතුර තමාට ලබා ගැනීමට සැලසුම් කලත් ඊට පෙර 1913 දී මිය ගියේ ය.


ජේම්ස් ඇල්ෆ්‍රඩ් ජයවර්ධන හා කළුතර මුහන්දිරම් විජේකෝන්ගේ දුව යන දෙදෙනාගේ තියොඩෝර් ගොඩ්ෆ්‍රෙඩ් ජයවර්ධන හෙවත් කර්නල් ටී.ජී. ජයවර්ධනනම් පුතා :


          1930 දී දකුණු කොළඹ ආසනයට තරග කර ඊ. ඒ. කුරේට පරාජය විය. ජේ. සී. රත්වත්ත මන්ත්‍රීවරයා මිය යාමෙන් හිස්වූ බලංගොඩ අසුනට තරග කර 1932 ඔක්තෝම්බර් අතුරු මැතිවරණයේදී ජය ගත්තේ ය. නමුත් 1936 දී,  එච්. ඒ. ගුණසේකරට පරාජය විය.


ජේම්ස් ඇල්ෆ්‍රඩ් ජයවර්ධන හා කළුතර මුහන්දිරම් විජේකෝන්ගේ දුව යන දෙදෙනාගේ  ඉයුජීන් විල්ෆ්‍රඩ් ජයවර්ධන හෙවත් ඊ. ඩබ්ලිව්. ජයවර්ධනනම් පුතා :          

          පුතුන් හය දෙනාගෙන් තුන්වැන්නා හා පවුලේ පස් වැන්නා ය. නිව් බසාර් ආසනයේ නාගරික මන්ත්‍රී ලෙස 1920 දී පත් විය. 1924 දී වූ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයේදී ඇති කළ මන්ත්‍රණ සභාව වෙනුවෙන් උතුරු කොළඹ ආසනය වෙනුවෙන් තරග කර වික්ටර් කොරයාට පරාජය විය. දේශපාලනයෙන් ඉවත් වී වැඩ බලන ඒ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවෙක් විය.


         ඊ. ඩබ්ලිව්. ජයවර්ධන හා ඇග්නස්ට පුතුන් හතරකි. දුවරු පහකි. වැඩිමහල් පුතා, පළමු විධායක ජනාධිපති ජූනියස් රිචඩ් ජයවර්ධන හෙවත් J R ජයවර්ධන ය. J R හැරුණ විට ඔහුගේ පවුලෙන් දේශපාලනයට ආවේ පවුලේ බාලයා වූ කෝබට් ජයවර්ධන පමණි. ඒ, J R වැනි දක්ෂිණාංෂික ගමනක නොගිය ඔහු, සමසමාජ පාක්ෂිකයෙක් විය. J Rට ලැබූ දේශපාලන දියුණුව හමුවේ කෝබට් දේශපාලනයෙන් ඉවත්වී සේදවත්තේ ධම්මරුචි නමින් මහණ විය.


අද්වකාත් ඊ.ඩබ්. ජයවර්ධන,අද්වකාත් එච්.ඒ. ජයවර්ධන,අද්වකාත් ජේ.කිව්. ජයවර්ධන, කපිතාන් ටී.ජී.ජයවර්ධන, අද්වකාත් ජේ. එස්. ජයවර්ධන, අද්වකාත් ඒ. වී. ජයවර්ධන (ඡායාරූප උපුටා ගැනීම  - rootsweb.ancestry වෙබ් අඩවිය)




තම්බි මුදලියාර්ගේ විවාහය හා මරණය ලියාපදිංචිය කළ  කොළඹ ආදුරුප්පු වීදියේ ඩච් පල්ලිය
(ඡායාරූප උපුටා ගැනීම  - trip advisor වෙබ් අඩවිය)



ජයවර්ධන පවුලේ ලාංඡනය 
(ඡායාරූප උපුටා ගැනීම  - rootsweb.ancestry වෙබ් අඩවිය)

----------

[1] ඉංග්‍රීසීන් ඔහු හැඳින්වීමට තම්බි යන නම පාවිචිචි කළත් මුදියන්සේ යන නම පාවිචිචි කර නැත. ඒ වෙනුවට, මුදලි, මුහන්දිරම් යන නිල නම් යොදාගෙන ඇත. 'තම්බි මුදලි' යන වචනයෙන් 'මුස්ලිම්' යන අදහස ගෙන නොදෙන බවත්, ලන්දේසි හා ඉංග්‍රීසි යුගයේදී හමුදාවේ ඔත්තුකාර සේවය හැඳින්වීම සඳහා යොදාගත් 'තෝම්බො' (Thombo) යන වචනයෙන් සැදුණු වචනයක් බවත් 1941 දී 'කර්නල් ටී.ජී. ජයවර්ධන' නම් පොතට එකල රජයේ ලේඛනාරක්ෂක ඊ. රෙම්ස් කළ ලිපියක සඳහන් වේ.


දෙමල බසින් 'තම්බි' යනු 'සහෝදරයා නැතහොත් මල්ලී' යන අදහසයි. දොන් ඒඩ්‍රියන් විජයසිංහ ජයවර්ධනගේ සැබෑ පැටිකිරිය දන්නා සිංහලයින් විසින් ඔහු 'තම්බි' යනුවෙන් හැඳින්වූවා විය හැක. මුදලි පට්ටම් දැරුව ද ඒ නම එලෙසින් පවතින්නට ඇත.
මූලාශ්‍ර (ප්‍රධාන) - ධර්ම ශ්‍රී කාරියවසම්ගේ 'තම්බි මුදියන්සේ - රට පාවා දීමේ ආරම්භකයා' ග්‍රන්ථය, ඇස්. නිමල් ගුණරත්න විසින් 1966 දේ ලියූ 'තම්බි මුදියන්සේ' නම් ග්‍රන්ථය.

----------

මූලාශ්‍ර (වෙනත්) - 'ආ ගිය කතා' වෙබ් අඩවියේ පළ වූ 'සුද්දත් එක්ක උඩරටට විරුද්ධව ඔත්තු බලපු ජේ.ආර්. ගේ මී මුත්තා නම් ලිපිය, 'දිගු දුර විහිදුම් බළකාය පාවාදීම' නමින් කීර්ති වර්ණකුලසූරිය දිවයින Online EDITION හි  පළ කළ ලිපිය, 'අවසාන සිංහල රජු ඇල්ලීමෙන් පසු' නමින් ගුණපාල ජයතිස්‌ස දිවයින Online EDITION හි  පළ කළ ලිපිය, O.E. Martinus විසින් රචිත The Life of Colonel T.G. Jayewardene නම් ග්‍රන්ථය, Padma Edirisinghe විසින් 'Remembering the most dominant Lankan political figure' නමින් Sunday Observer පුවත්පතේ 2002 සැප්. 15 දින පළ කළ ලිපිය,  Wikipedia වෙබ් අඩවියේ Ranil Wickremesinghe නම් ලිපිය,  Lanka වෙබ් අඩවියේ 'Place where King Sri Wikrama Rajasinghe was Captured' නම් ලිපිය, Lankaweb News & Forum නම් වෙබ් අඩවියේ ' MASSIVE DEMONSTRATION DEMANDS THE ARREST OF RANIL WICKREMESINGHE FOR HIS PART IN ATHURIGIRIYA DEBACLE' නම් ලිපිය, rootsweb.ancestry වෙබ් අඩවියේ 'JAYEWARDENE, Don Adrian Wijesinghe (Tombi Mudaliyar)' නම් ලිපිය, Wikitree වෙබ් අඩවියේ 'Don Adrian Wijesinghe Jayewardene' නම් ලිපිය, යටියන ප්‍රදීප් කුමාර විසින් Lanka C News වෙබ් අඩවිය වෙත 'රනිල් – ප‍්‍රභා ‘පාවාදීමේ ගිවිසුමට’ වසර 11යි' යනුවෙන් කළ ලිපිය.

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network