යෝෂිතගේ ප්‍රේමය සහ තාජුඩීන් ගැන කට කතා ගැන යසාරා සමඟ  විශේෂ සාකච්ඡාව මෙන්න

යෝෂිතගේ ප්‍රේමය සහ තාජුඩීන් ගැන කට කතා ගැන යසාරා සමඟ
 විශේෂ සාකච්ඡාව මෙන්න



ඇය සිංහල සිනමාවේ සක්‌විති කිරුළ දැරූ ආචාර්ය ගාමීණී ෙෆාන්සේකා සූරීන්ගේ මිණිබිරියයි. ඇගේ පියා සම්මානනීය ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂ ආනන්ද අබේනායකය. එසේ වෙතත් ඇය ජනප්‍රියතාවට පත්වූයේ උපතින් හිමිකරගත් මේ කලා පරපුරේ උරුමය මත නොවේ. රාජකීය පවුලකට සම්බන්ධ වීමේ පෙරමඟ නිමිති පළවීමත් සමග ඇගේ නම රටේ සුපතළ වෙන්නට පටන් ගත්තාය. වරින් වර මතුවෙමින් යට යමින් විවිධ සිද්ධි ගණනාවකට ඇයගේ නම ඈඳෙන්නට විය. මාධ්‍ය වෙතින් වරින් වර නම කියෑවුණද ඇය මාධ්‍ය හමුවේ කතාබහ කළ අවස්‌ථා නොමැති තරම්ය. ඒ සියල්ල අතීතයට එක්‌ කරමින් යසාරා, නව ජීවිතයකට මුලපුරා තිබේ. ඇයගේ විවාහ ජීවිතය සහ ඉන් ඔබ්බට යමින්, ඇය සමග දිවයින ඉරිදා සංග්‍රහය කරන ලද කතා බහකි මේ.

යසාරා ඉගෙන ගත්තේ මොනවා කරන්න හිතානෙද?

පොඩිකාලේ ඉඳන්ම මගේ හිත තිබුණේ මාධ්‍ය ක්‍ෂේත්‍රයට. පාසල් අධ්‍යාපන කටයුතු අවසන් කරලා එංගලන්තයේ ගිහින් ටීවී නිෂ්පාදනය පිළිබඳ උපාධියක්‌ හැදෑරුවා. ඊට පසුව එංගලන්තයේදී පවා ඒ සම්බන්ධව රැකියාවක්‌ කළා. පසුව ලංකාවට ඇවිත් ලංකාවෙත් එම අංශයේම රැකියාවක නිරත වුණා.

කලාවට සම්බන්ධ පවුලකින් පැවත එන හින්දා ඒ පැත්තට යොමුවෙන්න අදහසක්‌ තිබුණේ නැතිද?

මගේ මුළු පවුලම කලාවට සම්බන්ධයි. ඒ හින්දා පුංචි කාලේ ඉඳන්ම මමත් මාධ්‍යයට තමයි කැමැති වුණේ.

රඟපාන්න ආසාවක්‌ තිබුණේ නැතිද?

මම ඉස්‌සර රඟපෑවා. ඊට පස්‌සේ අපේ අම්මා, සීයා පවා කැමැති වුණේ නැහැ රඟපානවාට මොකද ඒක අපේ ෆැමිලි ලයිෆ් එකට බලපායි කියලා. ඒක හින්දා මම රඟපාන වැඩේ අතහැරලා දැම්මා.

තාත්තාගේ නිර්මාණවලට දුවට ආරාධනා නැතිද?

අවුරුදු දහයකට විතර කලින් මම තාත්තාගේ නිර්මාණ කිහිපයක රඟපාලා තියෙනවා. ළඟකදී නම් මුකුත් කළේ නැහැ.

මේ වෙනකොට ඔබ මොනවාද කරන්නේ ?

දැනට මම ගල්කිස්‌ස ප්‍රදේශයේ සංචාරක නිවාඩු නිකේතනයක්‌ පවත්වාගෙන යනවා.

අධ්‍යාපන කටයුතු අවසන් කළාද?

උපාධියෙන් පසුව යළිත් ඒ පැත්තට යොමුවෙන්න අදහස්‌ කළේ නැහැ.

යසාරා කියන්නේ මොනවගේ චරිතයක්‌ද?

කියන්න තියන දේ කෙළින් කියන චරිතයක්‌. වටින් ගොඩින් ගිහින් කතා කියන කෙනෙක්‌ නෙමෙයි. ඒක හින්දා ගොඩක්‌ කට්‌ටිය හිතනවා මම හරි ආඩම්බරකාර චරිතයක්‌ කියලා. නමුත් මම එහෙම ආඩම්බර චරිතයක්‌ නෙමෙයි. ඒ වගේම කිසිම කලබලයක්‌ නැතිව බොහොම නිදහසේ ඉන්න කැමැති චරිතයක්‌.

තාත්තාගේ දැනහැඳුනුකම් මත දුවට රඟපෑමට ආරාධනා ලැබෙනවා ඇති නේද?

පුංචි කාලේ නම් මට ආරාධනා ලැබුණා. දැන්නම් තාත්තාගේ යාළුවෝ හැමෝම වගේ දන්නවා මම රඟපෑමට කැමැති නැහැ කියලා. ඒක හින්දා දැන් රඟපෑමට ආරාධනා නැහැ.

පසුගිය කාලයේ යසාරා හරි ජනප්‍රිය චරිතයක්‌ වුණා නේද?

මිනිස්‌සු මාව මොකුත් කරන්නේ නැතිව ජනප්‍රිය කරලා. ඒක මගෙ වුවමනාවට වුණු දෙයක්‌ නෙමෙයි. ඒකට මට කරන්න දෙයකුත් නැහැ. ඒකෙන් මගේ ජීවිතය නැවත ආපස්‌සට ගියා.

මේ හින්දා ඔබේ ජීවිතය ආපස්‌සට ගියා ?

ඔව්. මට හැදුණු ගොඩක්‌ කතා බොරු. දැන් රැකියාවකට ගියත් සමහරු ඒ ගැන කතා කරනවා. ඒක හින්දා මම කැමැති තැනක සේවය කරන්න පවා බැරිවෙලා තියෙනවා.

පාසල් යන කාලේ මොනවද කළේ ?

කලාව තමයි සිදුකළේ.

ක්‍රීඩාවට කැමැති නැතිද?

ක්‍රීඩාවට කැමැති නැහැ.

ඔබ වැඩිපුර කැමැති මොන ක්‍රීඩාවටද?

ඇත්තටම මම ක්‍රීඩාවට කැමැති නැහැ. මම කැමැති ඉක්‌මනට අවසන් වෙන ක්‍රීඩාවකට.ඒක හින්දා රගර්වලට තමයි කැමැති. ක්‍රිකට්‌ නම් මට පෙන්නන්න බැහැ.

ඔබ කැමැති රගර් ක්‍රීඩකයන් ඉන්නවාද?

ජාත්‍යන්තර රගර් ක්‍රීඩා තරග මම නරඹන්නේ නැහැ.

ලංකාවේ ඔබ කැමැති රගර් ක්‍රීඩකයන් ඉන්නවාද?

ලංකාවේ ඉන්නවා. මම දැන් විවාහවෙලා ඉන්නෙත් රගර් ක්‍රීඩකයෙක්‌ සමග. එයා ක්‍රීඩා කරනවා නම් විතරක්‌ මම ඒ තරග නරඹන්න යනවා.

රගර් ක්‍රීඩාවේදී යසාරා හරි ජනප්‍රිය චරිතයක්‌ වුණා නේද?

සමහර මිනිස්‌සු මට කියන්නේ රගර් ක්‍රීඩකයන් පස්‌සේ යනවා කියලා. මම යෝෂිත සමග අවුරුදු හතරක්‌ පෙම් සබඳතාවක්‌ පැවැත්වූවා. ඊට පසුව දැන් මම විවාහවෙලා ඉන්න රගර් ක්‍රීඩකයා සමඟ පමණයි පෙම් සබඳතාවයක්‌ පැවැත්වූයේ. ඔය කියන අනෙක්‌ කෙනා දන්නේවත් නැහැ.

ඔබ රගර් ක්‍රීඩකයන් සමග විතරක්‌ ආදර සම්බන්ධතා පවත්වනවා කියලා සමහරු කියනවා. මොකද ඒ ගැන හිතන්නේ ?

යෝෂිත සමග තිබුණ ආදර සම්බන්ධතාව අවසන් වුණාට පසුව මම ගමන් යනඑක නැවැත්වූවා. මොකද මම මානසිකව වැටිලයි හිටියේ. එතකොට ඒ කාලේ හිටපු යාළුවෝ ටික විතරයි මට හිටියේ. ඒක හින්දයි ඒ සර්කල් එකේ කෙනෙක්‌ එක්‌ක සම්බන්ධතාවය ඇතිවෙන්න හේතු වුණේ.

යෝෂිත නිසා නේද යසාරා හරි ජනප්‍රිය වුණේ ?

මොකද හිටපු ජනාධිපතිගේ පුතාලට වෙනත් තරුණියන් පවා ඉඳලා තියෙනවානේ. ඇයි මට විතරක්‌ මේ ප්‍රශ්න.

යසාරා ගැන සමාජ වෙබ් අඩවි නිතර පුවත් මවන්න පටන්ගත්තා. මොකද ඒ ගැන හිතන්නේ ?

ඉස්‌සර මේ සබඳතාව ආරම්භ කරපු කාලේ සාමාන්‍ය විදිහට පුවත් පළකළා. පස්‌සේ කාලෙක මේක දලුලන්න පටන්ගත්තා. ඒකෙන් හරියට අපේ පවුලේ අයට අපහසුතා ඇතිවුණා. දැන් නම් ඒ ගැන එච්චර හිතන්නේ නැහැ.

යෝෂිත අද වෙන කොට ඔබට කතාබහ කරනවාද?

මම එයාව ගිය අවුරුද්දේ ඉඳන් දැකලාවත් නැහැ. මාස ගණනාවකින් කතා කරලාත් නැහැ.

ඔබේ මේ ආදර කතාව හින්දා තවත් නමක්‌ සඳහන් වුණා.?

මම ඔය කියන තාජුඩීන් දැකලාවත් නැහැ. හමුවෙලාත් නැහැ. කතාකරලත් නැහැ.

ඇයි එහෙනම් මේ වගේ කතාවක්‌ පැතිරුණේ ?

මේක අන්තර්ජාලයේ පැතිරුණු බොරු කතාවක්‌. මම මේ සම්බන්ධයෙන් තාජුඩීන්ගේ පවුලේ අයත් සමගත් කතාබහකළා. එවිට ඔහුගේ අයියා මට පැවසුවා "අපි දන්නවා ඔයාට ලොකු අසාධාරණයක්‌ වෙලා තියෙනවා කියලා" මට කිව්වා. අද වෙනකං අපි දෙන්නා එකට ඉන්න පින්තූරයක්‌ නැහැනේ. හැබැයි මගෙයි - යෝෂිතගෙයි තියෙනවා. ඒ වගේම මගෙයි - ෆාසිල්ගෙයි තියෙනවා. තාජුඩීන්ගෙයි මගෙයි නැහැනේ. තියෙන්නේ ඔක්‌කොම හදපු බොරු පින්තූර.

එතකොට මේක මඩ ප්‍රචාරයක්‌ ?

ඔව්. මේක මඩ ප්‍රචාරයක්‌.

ඇත්තටම මේ වැඩේ කවුරු කරන්න ඇති කියලද ඔබ හිතන්නේ?

ඕක 2012 වසරේ වෙබ් අඩවියකින් තමයි ආරම්භ කළේ. ඊට පස්‌සේ ඊමේල් හරහා තමයි දිගටම පැතිරුණේ. පසුව කවුරුත් ඒ ගැන කතාබහ කළේ නැහැ. නමුත් ආපහු කතා කරන්න පටන්ගත්තේ පසුගිය ජනවාරි මාසයේ පැවැති මැතිවරණයෙන් පසුවයි.

මේ වගේ දෙයක්‌ වෙලා තියෙනවාද නැතිද කියලා කියන්නවත් යෝෂිත ඔබෙන් උදව් ඉල්ලුවේ නැතිද?

නැහැ, නැහැ. එයා මගෙන් උදව් ඉල්ලුවේ නැහැ. පසුගිය ජනවාරි 08 වැනිදායින් පසුව මේ ප්‍රශ්නය ගැන ගොඩක්‌ ලොකුවට කතාබහ වුණානේ. එතකොට මගේ සැමියාගෙන් මේ සදහා ගොඩක්‌ උදව් උපකාර ලැබුqණා.

යෝෂිතගේ සම්බන්ධය නැතිවුණේ කොයි කාලයේදීද?

අපි දෙන්නාගේ සම්බන්ධය නතර වුණේ 2013 වසරේ දෙසැම්බර් මාසයේදී. මේ සියල්ල සිදුවෙන්න අවුරුදු එකහමාරකට විතර කලින්. දැන් අපි දෙන්නා වෙන්වෙලා අවුරුදු තුනක්‌ විතර වෙනවා.

ඔහුට ඔබේ විවාහය ගැන කිව්වේ නැතිද?

මම එයාට විවාහ වෙන්න කලින් මැසේඡ් එකක්‌ යවලා මගෙයි ෆාසිල්ගෙයි සම්බන්ධය ගැන කිව්වා. මගෙයි යෝෂිතගෙයි සම්බන්ධයට වසර හතරක්‌ විතර වෙනවා. අපි බඳින්න ඔක්‌කොම සූදානම් කරලයි තිබුණේ. පස්‌සේ කේන්දර එහෙම බැලුවාට පසුව තමයි කිව්වේ කේන්දර ගැලපෙනවා මදි කියලා. අවුරුදු හතරකින් පසුව තමයි කේන්දර බලන්න තීරණය කළේ. මගේ දැන් සැමියා සමග කතා කරන්න පටන්ගත්තාට පසුව මුලින්ම ඒ ගැන කිව්වේ යෝෂිතට. මොකද යෝෂිත මගේ සැමියා අඳුරනවා. ඔහු කිව්වා එයා හොඳ කෙනෙක්‌. ඔයා කතා කරලා බලන්න කියලා. ඊට පස්‌සේ අපි දෙන්නා අවුරුද්දක්‌ විතර ආශ්‍රය කළා. ඊට පසුව තමයි විවාහ වුණේ.

ඔබට ආපු ප්‍රශ්නවලට මුහුණදෙන්න කොහොමද හිතහදාගත්තේ ?

එහෙම හිතහදාගන්න අමාරුයි. හැමතිස්‌සේම මේ ප්‍රශ්න එනකොට මානසිකව වැටෙනවා. ඒ කාලේ ඉඳන්ම ෆාසිල් වගේ කෙනෙක්‌ හිටියේ නැතිනම් මට මේ දේවල් දරාගන්න අමාරුයි.

ඇත්තටම තාජුඩීන්ව හමුවෙලාවත්, දැකලාවත් නැතිද?

මම කවදාවත් දැකලා නැහැ. මගෙන් ඒ ගැන CID එකෙන් පවා විමසුවා. මම ඔවුන්ටත් කිව්වේ මේ ටිකම තමයි. මොකද මට ඒ ගැන මොකුත් කියන්න දෙයක්‌ නැහැ.

මේ සම්බන්ධයෙන් ඒ කාලේ ඔබට යෝෂිත මොකද කිව්වේ ?

එයා මොකුත් කිව්වේ නැහැ. ඔය බොරු කතා. ඔවුන් ගැන හරියට පසුගිය කාලයේ කතා හැදුවානේ. මට ඕනෑ වුණේ ඒ කාලේ ( ඒ කියන්නේ 2012) මොනවා හරි පුවත්පත් සාකච්ඡාවක්‌ හරි තියලා මේ ගැන කියන්න. එතකොට කිව්වේ නිකං ගොසිප්වල යන දේවල්වලට ප්‍රචාරය ලබාදෙන්න එපා කියලයි.

මේ හින්දා අද වෙනකොට ඔබට දේශපාලන වශයෙන් බලපෑම් ඇතිවුණාද?

මම බොහොම පුංචි කාලේ පටන් දන්න දේශපාලනඥයන් මේ ගැන කතාබහ කරලා තිබුණා. ඔවුන් මං ගැන දන්නවා. ඒ වගේ අවස්‌ථාවලදී මගේ හිත ගොඩක්‌ රිදුණා.

වෙන වෙන වුවමනා වෙනුවෙන් දේශපාලනඥයන් ඔබෙන් උදව් ඉල්ලුවේ නැතිද?

සමහරු මට කිව්වා පුවත්පත් සාකච්ඡාවක්‌ තියන්න. ඔයාට මොකුත් වෙන්නේ නැහැ. මට එහෙම දේශපාලනය පැත්තෙන් කාටවත් උදව්කරන්න වුවමනාවක්‌ තිබුණේ නැහැ. මට ඕනෑ මගේ නම මෙතැනින් ඉවත් කරගන්න විතරයි.

ඒ වෙලාවේ ඔබ දුන්න උත්තරය මොකක්‌ද?

මම කිව්වා මට තවත් ජනප්‍රිය වෙන්න වුවමනා නැහැ. මට ඕනෑ මිනිස්‌සුන්ට මාව අමතක වෙන්නයි. පොලිසියෙන් ඇවිත් යම්කිසි දෙයක්‌ ඇසුවොත් ප්‍රකාශයක්‌ ලබාදෙන්න පුළුවන්. නැතිනම් දේශපාලනයට මේ සිද්ධිය සම්බන්ධයෙක්‌ කතාකරන්න බැහැ කියලා.

මේ හින්දා දේශපාලන වේදිකාවලට ගොඩවෙන්න කියලා ආරාධනා ලැබුණාද?

ගියවර නම් මට එවැනි ආරාධනා ලැබුණා. නමුත් මම ඒකට විරුද්ධ වුණා.

කවුද එවැනි ආරාධනා කළේ ?

නම් ප්‍රකාශ කරන එක හරි නැහැනේ.

අද වෙනකොට ඔබ මේ ගැන සිටින්නේ මොනවගේ ස්‌ථාවරයකද?

මම දැන් බලාගෙන ඉන්නේ මේ සිද්ධිය අවසන් වෙලා හරි කතාව එළියට එනකම්. එතකොට මට බැණපු මිනිස්‌සුන්ට මම කවුද කියන්න තේරෙවි.

ඔබේ සැමියා මේ ප්‍රශ්නයේදී ඔබත් සමග මොනවගේ තැනකද සිටින්නේ ?

එයත් හරිම අමාරු තැනක හිටියේ. මොකද එයා වසීම් තාජුඩීන්ව වගේම යෝෂිතවත් අඳුරනවා. ඒක හින්දා එයා දන්නවා මේ වගේ දෙයක්‌ සිදුවුණේ නැහැ කියලා. යෝෂිත එක්‌ක නම් එයා ගොඩක්‌ ළඟින් ඇසුරු කළේ නැහැ. හැබැයි වසීම් එක්‌ක නම් ගොඩක්‌ ළඟින් ඇසුරු කළා. එයා දන්නවා එහෙම දෙයක්‌ වුණේ නැහැ කියලා. එයත් එක්‌ක ඒ කාලේ හිටියේ කවුද කියලත් දන්නවා.

සැමියා මේ ප්‍රශ්නයට උදව් කරනවාද?

ඔව්. කටකතා පැතිරෙනකොට ඒක ගැන එච්චර හිතන්න එපා කියලා මගේ හිත ශක්‌තිමත් කරනවා. එයා මට ගොඩක්‌ උදව් කළා.

යසාරාට දේශපාලනය කරන්න ආරාධනාවක්‌ ලැබුණොත්, භාරගන්නවාද?

මම කවදාවත් දේශපාලනය කරන්න කැමැති නැහැ.

මාධ්‍යයට ඔබට මොනවාද කියන්න තියන්නේ ?

මට කියන්න තියෙන්නේ නීත්‍යනුකූල නොවන සමාජ වෙබ් අඩවිවලින් කියන දේවල් විශ්වාස කරන්න එපා. පසුගිය කාලයේ අපේ විවාහ උත්සවය පිළිබඳවත් විවිධ පුවත් පළකරලා තිබුණා.

දැන් යෝෂිත මගේ ජීවිතයේ නැහැ. ඇයි මට විතරක්‌ මේ විදිහට වද දෙන්නේ. මට ඉන්න දෙන්න. මම දැන් අලුත් ජීවිතයක්‌ ආරම්භ කරලයි තියෙන්නේ. මම ගැහැනු ළමයෙක්‌. ඒක හින්දා බොරු කටකතා පතුරුවන්න එපා කියලයි කියන්නේ.

සමාජ වෙබ් අඩවි ඔබේ පිටුපසින්මයි, එහෙම නේද?

ලංකාවේ මම විතරක්‌ නෙමෙයිනේ, ආදර සම්බන්ධයක්‌ පවත්වලා ඒක අවසන් කරලා යළිත් විවාහවුණ එකම කෙනා. මම හිතනවා ගොඩක්‌ දෙනෙක්‌ට කේන්දර ප්‍රශ්න ඇවිත් විවාහ යෝජනාවලින් ඉවත්වෙන්න සිදුවුණ අවස්‌ථාව ඕන තරම් ඇති කියලා. ඒක මට විතරක්‌ පොදු ප්‍රශ්නයක්‌ නෙමෙයිනේ. අපි දැනට විවාහ ගිවිසගත්තා විතරයි. විවාහ උත්සවය ලබන වසරේ තමයි පවත්වන්න හිතාගෙන ඉන්නේ. ඒකටත් වෙබ් අඩවිවල කියලා තිබුණා මම වෙනත් ආගමක තරුණයෙක්‌ බැන්දා. ඇයි සිංහල කොල්ලෙක්‌ හිටියේ නැතිද කියලා කමෙන්ට්‌ දාලා තිබුණා.

ඔබේ ගෙදරින් මේ විවාහයට කැමැති වුණාද?

අපේ ගෙදරින් කැමැති වුණා. නමුත් ෆාසිල්ගේ ගෙදරින් මුලින් පොඩි අකැමැත්තක්‌ ඇතිවුණා. මොකද පසුගිය කාලයේ වුණ ප්‍රශ්න නිසා.

කවදාද විවාහ උත්සවය පවත්වන්නේ ?

එළැඹෙන වසරේ අප්‍රේල් මාසයේ තමයි අපි විවාහ උත්සවය පවත්වන්නේ.

*  දිනේෂ් විතාන
ඡායා - ලක්‌මාල් ස්‌පෙන්සර්

(දිවයින ඉරිදා සංග්‍රහය)


මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network