හරීන්ගේ වළන් කඩේට පැන්න ගොන් නාම්බා කව්ද?

හරීන්ගේ වළන් කඩේට පැන්න ගොන් නාම්බා කව්ද?




* ආයිත් ආවොත් කරන දේ දන්නවා

නවසීලන්ත රග්බි කණ්‌ඩායම රග්බි ලෝක කුසලානය හිමිකර ගැනීමෙන් පසු පැමිණි සිටි ප්‍රේක්‍ෂකයන්ට ආචාර දක්‌වමින් ක්‍රීඩාංගණය වටේ රවුමක්‌ ගියේය. එම අවස්‌ථාවේදී අපූරු සිදුවීමක්‌ සිදුවිය. එනම් කවුරුත් නොසිතූ මොහොතක අවුරුදු 8 ක පමණ කොලු ගැටයෙක්‌ නීති විරෝධී අයුරුන් ක්‍රීඩාංගණයට කඩා පැන නවසීලන්ත ජාතික රග්බි ක්‍රීඩක විලියම්ස්‌ ව බදා ගැනීමට තැත් කිරීමයි.

වහාම ක්‍රියාත්මක වූ ආරක්‍ෂක නිලධාරීන් එම කොලු ගැටයා අත්අඩංගුවට ගැනීමට සැරසුණි. නමුත් විලියම්ස්‌ එයට ඉඩ නොදී එම චාලි නමැති කොලු ගැටයාව තුරුළු කර ගෙන තමාට එදින හිමි වූ රන් පදක්‌කම ද චාලිට තිළිණ කළේය. මේ කතා කරන්නට යන්නේ එලෙස නීති විරෝධී අයුරින් ක්‍රීඩාංගණයට පැන්න චාලි ගැන නම් නොවේ. මෙරට සිදු වූ එක්‌ නීති විරෝධී පැනීමක්‌ ගැන ය. එනම් ඇමැති පුතෙක්‌ ඇමැති හරීන්ගේ අමාත්‍යාංශයට නීති විරෝධී අයුරින් කඩා පැනීමේ සිද්ධිය පිළිබඳවයි. කතාව සැකවින් මෙසේය.

ඇමැති හරින් ප්‍රනාන්දුගේ අමාත්‍යාංශයට පසුගිය 17 වැනිදා හදිසියේම තරුණ මන්ත්‍රීවරයෙක්‌ ගොඩ වැදුණේය. ඒ අවස්‌ථාව වන විට ඇමැති හරීන් සිටියේ අමාත්‍යාංශයෙන් බැහැරව රාජකාරි කටයුත්තක නියෑලෙමිනි. හදිසියේ පැමිණි නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා එක්‌වරම ගියේ ඇමැති හරීන්ගේ කාර්යාලය තුළටය. එහි සිටි නිලධාරීන් ඇමැතිවරයා නැතැයි කීවත් නවක මන්ත්‍රීවරයා එය තඹ සතේකටවත් මායිම් කළේ නැත.

ඇමැති හරීන්ගේ කාර්යාලය තුළට වැදුණු නවක මන්ත්‍රීවරයා ලිපි ගොනු රැසක්‌ පරීක්‍ෂා කර තිබේ. එම මොහොතේ එහි සිටි නිලධාරීන් පැහැදිලිව එසේ නොකරන ලෙස කීවත් එය බීරි අලින්ට වීණා වාදනය කරන්නක්‌ මෙන් විය. නවක මන්ත්‍රීවරයා තමන්ගේ බලපුළුවන්කාරකම් පෙන්වා "හොර අල්ලන්නයි ආවේ" කියා වහසි බස්‌ ද දොඩා ඇත.

මෙම නවක මන්ත්‍රීවරයාගේ අපරාජිත පියා වර්තමාන ආණ්‌ඩුවේ ප්‍රබල ඇමැතිවරයෙකි. පසුගිය ජනාධිපතිවරණය සමයේදී වර්තමාන ජනාධිපතිවරයා ජයග්‍රහණය කරවීමට විශාල සටනක්‌ කර ඔහු යහපාලන ආණ්‌ඩුව බිහි කිරීම සඳහා ද ප්‍රබල දායකත්වයක්‌ ලබා දුනි. මෙවර පැවැති මහ මැතිවරණයේදී ගම්පහ දිස්‌ත්‍රික්‌කයෙන් පළමු වරට ඉදිරිපත් වූ මෙම නවක මන්ත්‍රීවරයා පිළිබඳ අවස්‌ථා ගණනාවකදී විවිධ ආන්දෝලනාත්මක සිද්ධීන් ද මහජනතාවට අසන්නට ලැබුණි. නවක මන්ත්‍රීවරයා අභාවප්‍රාප්ත වූ එජාපයේ ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ ප්‍රබල මන්ත්‍රීවරයකුගේ පුත්‍රයකු සමඟÊද ගැටුමක්‌ ඇතිකර ගත්තේය. විවිධ මාධ්‍ය හරහා එම සිදුවීම සම්බන්ධයෙන් විශාල ප්‍රචාරයක්‌ ද ඒ දිනවල ලැබුණි.

ඇමැති හරීන් තම අමාත්‍යාංශය වෙත නවක මන්ත්‍රීවරයකු පැමිණ තමන්ගේ තොරතුරු සෙවීමට උත්සාහ කර ඇති බව දැනගෙන ඇත්තේ එම සිදුවීම සිදු වී පැය කිහිපයකට පසුවය. නමුත් ඇමැති හරින් මෙය ඇසීමෙන් කලබලයට පත් වූයේ නැත. ඔහු කළේ සිය අමාත්‍යාංශයේදී මාධ්‍ය සාකච්ඡාවක්‌ පවතවා කැබිනට්‌ මණ්‌ඩලයට ඒ පිළිබඳව දැනුම්දී නිසි පරීක්‍ෂණයක්‌ පවත්වන ලෙස ඉල්ලීමයි.
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network