ජිනීවා යෝජනා ක්‍රියාත්මක වුණොත් දෙමළ බෙදුම්වාදය ශක්‌තිමත් වෙනවා - සම්මානිත මහාචාර්ය ජී. එච්. පීරිස්‌

ජිනීවා යෝජනා ක්‍රියාත්මක වුණොත්
දෙමළ බෙදුම්වාදය ශක්‌තිමත් වෙනවා
- සම්මානිත මහාචාර්ය ජී. එච්. පීරිස්‌



ශ්‍රී ලංකාව පිළිබඳ ජිනීවා මානව හිමිකම් සමුළුව කර ඇති යෝජනා මගින් නිර්දේශිත දේශීය යාන්ත්‍රණය පිළිබඳ මේ වන විට විවිධ අදහස්‌ පළවී ඇත. එල්. ටී. ටී. ඊ. යට එරෙහිව සිදුකළ මානුෂික මෙහෙයුමේදී සිදුවී ඇතැයි කියන යුද අපරාධ පිළිබඳව සොයා බැලීමට පත් කළ පරණගම කොමිෂන් වාර්තාවත් අතුරුදන් වූවන් පිළිබඳ සොයා බැලීමට පත් කළ උදලාගම කොමිෂන් වාර්තාවත් ප්‍රකාශයට පත් වී ඇත. ජිනීවා මානව හිමිකම් යෝජනා සහ උදලාගම පරණගම කොමිෂන් වාර්තා ගැන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්ය ජී. එච්. පීරිස්‌ කරන විග්‍රහයකි මේ.

එල්.ටී.ටී.ඊ.යට එරෙහිව පැවති මානුෂික මෙහෙයුමේ අවසන් කාලයේ ශ්‍රී ලංකාව යුද අපරාධ සිදු කළ බවට නැගෙන චෝදනා පිළිබඳ ඔබේ අදහස කුමක්‌ද?

ශ්‍රී ලංකාව විසින් මානුෂික මෙහෙයුමේ අවසාන අදියරේදී බරපතළ යුද අපරාධ කළ බවට එල්ල කෙරෙන චෝදනාවල කිසිදු පදනමක්‌ නෑ. ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් විසින් මේ එල්ල කරන චෝදනාවලට හේතු වූ කරුණු දෙකක්‌ තිබෙනවා. පළමු කාරණය තමයි රාජපක්‌ෂ රජය මානුෂික මෙහෙයුමේ අවසාන අදියරේදීත් ඉන් පසුවත් ඇමරිකාව සහ බටහිර රටවලට අවනත නොවීම. දෙවැන්න ශ්‍රී ලංකාව චීනයට සමීපව කටයුතු කරමින් ඉන්දියන් සාගර කලාපය චීන වාණිජමය මූලස්‌ථානයක්‌ බවට පත්කිරීම.

තමන්ට අවනත නොවන රාජ්‍යවල කැළඹිලි ඇතිකිරීම ඇමරිකාවේ රාජ්‍ය ප්‍රතිපත්තියක්‌. අපේ රට වගේ ආර්ථික වශයෙන් දුර්වල, ඇමරිකානු ආයෝජන නැති, ඔවුන්ගේ න්‍යාය පත්‍රයට අනුව කටයුතු නොකරන රටවල් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය වැනි ආයතනත් කටයුතු කරන්නේ හරිම දැඩි ප්‍රතිපත්තියකින්. ඒක අසාධාරණයි. දෙවැනි ලෝක සංග්‍රාමයෙන් පසුව බටහිර රටවල් මැදිහත් වූ සිවිල් යුද්ධවලදී ඔවුන් සිවිල් ජනතාව ගැන කිසිදු තැකීමක්‌ නොකළ බව ඓතිහාසික සත්‍යයක්‌. ඉරාකය, වියට්‌නාමය වැනි රටවල්වල සිවිල් ජනතාව හොය හොයා ඝාතනය කළා. බැට්‌ල් ඔµa හඩිකා වැනි චිත්‍රපටවල නැගුනේ ඒ ඓතිහාසික සත්‍යය කරුණුයි.

ජාත්‍යන්තර ක්‌ෂමා සංවිධානය (ඇම්නෙස්‌ටි ඉන්ටර්නැෂනල්), ජාත්‍යන්තර අර්බුද කණ්‌ඩායම (ඉන්ටර්නැෂනල් ක්‍රයිසිස්‌ ගෲප්) සහ අන්තර්ජාතික නීතිඥ කොමිසම වැනි සංවිධාන අපේ රටට එරෙහිව බරපතළ මානව හිමිකම් චෝදන එල්ල කළා. එපමණක්‌ නොවේ, ඒවා ලෝකය පුරා ප්‍රචාරය කළා. ඔවුන් එසේ බොරු ප්‍රචාරය කළේ සාධාරණ පරීක්‌ෂණයකින් තොරවයි.

ඔවුන්ට මේ බොරු ප්‍රචාර කරන්න අවශ්‍ය ව්‍යාජ තොරතුරු සැපයූවේ කොළඹ කේන්ද්‍ර කරගත්, බටහිර රටවල මුදල්වලින් යෑපෙන සහ ඔවුන්ට අවශ්‍ය ආකාරයට ක්‍රියාකරන රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක්‌. ඒ සඳහා ඔවුන්ට විශාල වශයෙන් මුදල් ලැබුණේ බටහිර රටවල ආයතනවලින්. ඒක රහසක්‌ නෙමෙයි. කෝප් කමිටුව කරන ලද පරීක්‌ෂණවලින් ඒ බව මනාව ඔප්පු වුණා.

එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා විසින් වරින් වර මෙරටට එවන ලද නියෝජිතයන් වන ඇලන් රොක්‌, ජෝන් හෝම්ස්‌, මැන්µs්‍රඩ් නොඇක්‌, µsලිප් ඇල්ස්‌ටන්, ලුවී ආබර් වගේ අය බරපතළ චෝදනා ඇතුළත් ඉතා දීර්ඝ වාර්තා ශ්‍රී ලංකාවට එරෙහිව ප්‍රචාරය කළා. ඔවුන් කළ පරීක්‌ෂණ විධිමත් පරීක්‌ෂණ ලෙස පිළිගන්න බැහැ. දින දෙකතුනක්‌ පමණක්‌ මෙරට ඉඳල දේශීය භාෂා හැසිරවීමට හැකියාවකුත් නොමැතිවයි ඔවුන් මේ වාර්තා ඉදිරිපත් කර තිබෙන්නේ.

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනා පදනම් විරහිත බව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති විසින් සිය රටට යවා ඇති රහසිගත පණිවිඩයකිනුත් තහවුරු වෙනවා. ඒ රහස්‍ය වාර්තා විකිලීක්‌ස්‌ මගින් හෙළිදරව් කළා. ඒවා තුළ කිසිම තැනක ශ්‍රී ලංකාව යුද අපරාධ කළ බවක්‌ සඳහන් වන්නේ නෑ. මයිකල් රොබට්‌ස්‌ මහතා මේ රහස්‍ය පණිවුඩ පිළිබඳ අගනා විග්‍රහයක්‌ කර තිබෙනවා. ශ්‍රී ලංකාවට එරෙහි මේ චෝදනා පදනම් විරහිත අසත්‍ය චෝදනා බව බටහිර රටවල් සහ ඔවුන්ට සහයෝගය දෙන හැමදෙනාම හොඳින්ම දන්නවා.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ප්‍රකාශ වී ඇති ජිනීවා යෝජනාවලට විරුද්ධ විය යුතු බවට ප්‍රබල මතයක්‌ ගොඩනැගී තිබෙනවා?

පැහැදිලිවම අපි ජිනීවා යෝජනාවලට එරෙහි විය යුතුයි. ඇමරිකා හා ශ්‍රී ලංකා රජය එක්‌ව ඉදිරිපත් කර තිබෙන මේ යෝජනා ක්‍රියාත්මක කෙරෙන අධිකරණ ක්‍රියාවලියකින් ශ්‍රී ලංකාවට කිසිදු සාධාරණයක්‌ ඉටුවන්නේ නෑ. එවැනි අධිකරණයකින් දෙනු ලබන තීරණ ශ්‍රී ලංකාවට එරෙහි සතුරු බලවේග විසින් පිළිගනු ලබන්නේ අපේ රටේ දේශපාලන නායකයින්, රජයේ උසස්‌ නිලධාරීන්, හමුදා නිලධාරීන් වැරදිකරුවන් කළොත් පමණයි. එහෙම තීන්දුවක්‌ දුන්නොත් පමණයි ඔවුන් එය 'සාධාරණ' පරීක්‌ෂණයක්‌ ලෙස පිළිගනු ලබන්නේ. මානව හිමිකම් සංවිධාන, දෙමළ ඩයස්‌පෝරාව, ඇමරිකාව ප්‍රමුඛ යුරෝපා රටවල් සහ ඉන්දියාවේ ජනමාධ්‍ය හා විදේශ ප්‍රතිපත්ති සකස්‌ කරන අය දරුස්‌මාන් වාර්තාවටත් එරෙහි වෙනවා එහි ඉදිරිපත් කරන චෝදනා මඳි කියල.

මේ යෝජනා ක්‍රියාත්මක වුණොත් ශ්‍රී ලංකාව තුළ කෙබඳු තත්ත්වයක්‌ ඇතිවෙයිද?

රටට ලොකු අවදානමකට මුහුණ දෙන්න වෙනවා. භයානකම දේ තමයි දෙමළ බෙදුම්වාදය ශක්‌තිමත් වීම. බලහත්කාරයෙන් ශ්‍රී ලංකාවේ උතුර සහ නැගෙනහිර වෙනම රටක්‌ නිර්මාණය කිරීමේ ව්‍යාපාරය සාර්ථක වෙනවා. ඊට නිසැකවම නවදිල්ලියේ මෝදි රජයේ සහයෝගය ලැබෙනවා. ඇමරිකාව සහ බටහිර රටවල් සහය දෙනවා. එදා 1987 " වර්ධරාජා පෙරුමාල් වෙනම රටක්‌ ප්‍රකාශ කිරීම කාගේත් හාස්‍යයට ලක්‌වුණා. නමුත් විග්නේෂ්වරන් එහෙම ප්‍රකාශයක්‌ කළොත් ඉහත කී රටවල් ඊට සහය දෙනවා. වර්තමාන රජයේ අදූරදර්ශී රාජ්‍යතාන්ත්‍රික ප්‍රතිපත්ති නිසා අපේ දිගුකාලීන මිතුරන් වූ චීනය සහ රුසියාව අපට සහාය නොදෙන තත්ත්වයට පත්වේවි. එවිට අපේ රට ජාත්‍යන්තරය තුළ සැබෑ ලෙසම හුදකලා වේවි. මේක භයානක තත්ත්වයක්‌. විශේෂයෙන් චීනය සහ රුසියාව අපට සහය දුන්නේ පෙරළා අපෙන් කිසිවක්‌ බලාපොරොත්තුව නෙමෙයි.

අපේ රටේ ජාතික අභිලාෂයන්ට මේ යෝජනා බරපතළ හානියක්‌ බවයි විද්වතුන්ගේ මතය?

පැහැදිලිවම ඔව්. රටේ ඒකීයභාවය, ස්‌වෛරීත්වය, භෞමික අඛණ්‌ඩතාව සහ ජාතීන් අතර සහජීවනය විනාශ වෙන බරපතළ තත්ත්වයක්‌ මේ යෝජනා ක්‍රියාත්මක වීම නිසා ඇතිවෙනවා.

ශ්‍රී ලංකාව තුළ යුද අපරාධ සිදුවී ඇත්ද යන්න පිළිබඳ විමර්ශනය කිරීමට පත් කළ පරණගම කොමිසම ඉතා පැහැදිලිව කියා තිබෙනවා යුද්ධයේ අවසාන කාලේ සිදුවූ සිවිල් වැසියන්ගේ මරණවලට එල්.ටී.ටී.ඊ. සංවිධානය වගකිවයුතු බව. මේ දේශීය වාර්තාව පිළිබඳ ජිනීවා මානව හිමිකම් කමිටුව නිහඬයි. නමුත් ඔවුන් දේශීය යාන්ත්‍රණයක්‌ ඇති කළ යුතු බව කියනවා?

මානව හිමිකම් කමිටුවේ මේ නිහඬවීම සාමාන්‍ය දෙයක්‌. ජාතීන් හතළිස්‌ හතක නියෝජිතයෝ වසරකට දෙවරක්‌ සමුළුවක්‌ පවත්වල එහිදී ඉදිරිපත් කෙරෙන චෝදනා සම්බන්ධයෙන් ජන්ද විමසීම් කිරීමත්, ඒවායේ ප්‍රතිඵල ඉදිරිපත් කිරීමත් තමයි ඔවුන් කරන්නෙ.

මානුෂික මෙහෙයුමේ අවසාන අදියරේදී සිදුවූ සිවිල් ඝාතනවලට එල්.ටී.ටී.ඊ. සංවිධානයත් වගකිවයුතු බව පරණගම කොමිෂන් වාර්තාවේ සඳහන් වන බව ඇත්ත. ඒක කවුරුත් පිළිගන්න දෙයක්‌. සාමාන්‍ය දෙමළ ජනතාව ආරක්‌ෂක පළිහක්‌ ලෙස රඳවාගෙන සිටියදී ඔවුන්ට අවශ්‍ය ආහාර, බෙහෙත් ආදී කිසිවක්‌ ලබා දී නෑ. තම ප්‍රදේශවල ඉඳල හමුදාව වෙතට පලායැමට තැත්කරපු අයට එල්.ටී.ටී.ඊ එකෙන් වෙඩි තිබ්බා. නමුත් චෝදනාව ඒක නෙමෙයි. ශ්‍රී ලංකා හමුදාව වුවමනාවෙන්ම අහිංසක දෙමළ ජනතාව ඉලක්‌ක කර බර අවි යොදාගෙන පහර දී ඔවුන් ඝාතනය කළාය කියන එක.

ශ්‍රී ලංකා රජය විසින් පරීක්‌ෂණ පවත්වල අවසන් කළ මුතූර් දෙමළ තරුණයින් 17 දෙනකු ඝාතන සිද්ධිය සහ ත්‍රිකුණාමලයේ නාවික හමුදා කඳවුර අසල දෙමළ තරුණයින් පස්‌ දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය පිළිබඳව විතරක්‌ නොවෙයි පදනම් විරහිත අසත්‍ය එකක්‌ යෑයි විවේචනයට ලක්‌වූ චැනල් 4 මගින් ඉදිරිපත් වූ කරුණුත් නැවත පරීක්‌ෂා කළ යුතු බව පරණගම කොමිසමේ තිබෙනවා.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ප්‍රකාශ වී ඇති ජිනීවා යෝජනාවලටත් යුද අපරාධ චෝදනාවලටත් ශ්‍රී ලංකාව කෙසේ පිළිතුරු දිය යුතුද?

අපේ රටේ සිටින විනිසුරුවරුන් සහ නීතිඥයින් හා අපේ නීති පද්ධතිය යොදාගෙන මේ සඳහා විවෘත අභ්‍යන්තර පරීක්‌ෂණයක්‌ සිදු කළ යුතුයි. නිශ්චිත චෝදනා පිළිබඳ පරීක්‌ෂා කළ යුතුයි. දේශපාලන අභිලාෂ ඉලක්‌ක කරගෙන කරනු ලබන උද්ඝෝෂණ හා අසත්‍ය කරුණු මත පදනම් වූ චෝදනා ප්‍රතික්‌ෂේප කළ යුතුයි.

අපේ රට අද පත්ව තිබෙන්නේ භයානක අර්බුදකාරී තත්ත්වයකට. දේශීය විදේශීය සතුරු බලවේගවලට ප්‍රතිචාර දැක්‌වීමට නම් එක ප්‍රබල පක්‌ෂයක්‌ විපක්‌ෂය ලෙස කටයුතු කළ යුතුයි. විපක්‌ෂයේ විවිධ කණ්‌ඩායම්වලට මෙවැනි අවදානම් සහගත මොහොතකදීවත් සියලූ සුළු සුළු වාදබේද අමතක කර එක පක්‌ෂයක්‌ පිහිටුවා ගැනීමට හැකිවෙන්න ඕන. මේ පවතින අවදානම් තත්ත්වය පිළිබඳ මහජනතාව තුළ කම්පනයක්‌ ඇති කළ හැක්‌කේත් එවැනි විපක්‌ෂයකට පමණයි.

මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් රචිත විශාරද නන්දා මාලිනී විසින් ගයන ගීතයක කොටසක්‌ මම මේ මොහොතේ සිහිපත් කරන්න කැමතියි.

කවුරුන් හෝ මගෙ රට බිලිදේ නම්

නොපනත් කම් ගිනි ලා අවුලා නම්

කුමටද උන් හා සීල සමාදම්

සටනින් තොර මුනිවත අවදානම්

මේ ගීතයෙන් කියෑවෙන දේශප්‍රේමී හැඟීම් මත කටයුතු කරමින් මහජනතාවට මේ තත්ත්වය පහදා දී කටයුතු කරන විපක්‌ෂයක්‌ මේ රටට අවශ්‍යයි. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ මෑත කාලීන පාවාදීම් සහ එහි ඇතැම් නායක නායිකාවන්ගේ කියුම් කෙරුම් දෙස බලන විට තවදුරටත් එම පක්‌ෂය කෙරෙහි විශ්වාසයක්‌ තබන්න රටට ආදරය කරන ජනතාවට බැහැ. එබැවින් විකල්ප දේශපාලන ධාරාවක්‌ බිහිවිය යුතුයි.

සාකච්ඡා කළේ
පාලිත සේනානායක
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network