කොටි මුදාහැරීමෙන් විපතට පත්වූවන්ට "යුක්‌තිය" ඉටුවේද?

කොටි මුදාහැරීමෙන් විපතට පත්වූවන්ට "යුක්‌තිය" ඉටුවේද?

හිටපු කොටි මුදාහරිනු 
- තමිල් නාඩුවේ වයිකෝ 

ද්‍රවිඩ දේශපාලන සිරකරුවන්ව යුද අපරාධ සිදු කළ සෙබළුන්ට සම කිරීමට රජය උත්සාහ කිරීම විහිළුවක්‌. 
- උතුරු මහ ඇමැති සී. විග්නේශ්වරන් 

දෙමළ දේශපාලන සිරකරුවන්ගේ නිදහස උදෙසා හර්තාලයක්‌ දියත් කිරීමට ක්‍රියා කරන්නෙමු 
- තමිල් අරසු කච්චි නායක මාවයි සේනාධිරාජා 

දේශපාලන සිරකරුවන් මුදා ගැනීම සඳහාවූ හර්තාලයට සහය දෙන ලෙස උතුරේ ජනතාවගෙන් හා රාජ්‍ය සේවකයන්ගෙන් ඉල්ලා සිටිනවා 
- උතුරු පළාත් අමාත්‍ය දෙතිෂ්වරන් 

අපිව පුනරුප්ථාපනය නොකරනු වහාම මුදාහරිනු 
- ද්‍රවිඩ දේශපාලන රැඳවියන්

කොන්දේසිවලින් තොරව - රැඳවියන් නිදහස්‌ කළ යුතුයි 
- රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේශ්වරන් 

ද්‍රවිඩ සිරකරුවන් බේරා ගැනීමට - ද්‍රවිඩ සංධානයේ යුතුකමයි
- රටින් බැහැර ඊලම් ආණ්‌ඩුවේ ප්‍රධානී වී. රුද්රකුමාරන්

සියලු දේශපාලන රැඳවියන් නිදහස්‌ කරනු - සම අයිතීන් සංවිධානය

දේශපාලන සිරකරුවන් බේරා ගැනීමට යෝධ උද්ඝෝෂණයක්‌ පවත්වනවා
- උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍ය සත්‍යලිංගම් 

සියලුම දේශපාලන සිරකරුවන් මුදා ත්‍රස්‌ත මර්දන පණත අහෝසි කරනු 
- ජර්මනියේ රංජිත් ලොහොබියර් හෙන්නායක හෙවත් බඩල්ගම බර්ටි 

ජාතිවාදීන්ට බියවි රජය ද්‍රවිඩ දේශපාලන රැඳවියන් නිදහස්‌ කිරීමට චකිතයක්‌ දක්‌වනවා 
- හිටපු ද්‍රවිඩ සංධාන මන්ත්‍රී අප්පාතුරෙයි විනයගමුර්ති

කඩ සාප්පු වසා ප්‍රවාහන සේවා නතර කර දේශපාලන රැඳවියන් මුදා ගැනීමේ හර්තාලය ක්‍රියාත්මක කරනවා
- ගඡේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්

උතුරේ දේශපාලකයන් කොන්දේසි රහිතව මුදාහරින ලෙස ඉල්ලා ඇත්තේ දේශපාලන කටයුතු කිරීම නිසා අත්අඩංගුවේ සිටින ද්‍රවිඩ දේශපාලන සිරකරුවන් පිරිසක්‌ නොව ප්‍රභාකරන් සමග එක්‌ වී බිහිසුණු යුද අපරාධ කළ හිටපු කොටි ත්‍රස්‌තයන්ය.

මෙලෙස නිදහස්‌ කරන ලෙස ඉල්ලන කොටි සිදු කළ අපරාධ මෙසේය.

1. මගී ගුවන් යානාවකට මිසයිල ප්‍රහාර එල්ල කිරීම

2. බස්‌ බෝම්බ හා බිම්බෝම්බ තබා සිවිල් ජනතාව ඝාතනය කිරීම

3. උතුරු නැගෙනහිර ගම්මානවල වැසියන් ළදරුවන් කපා කොටා මරා දැමීම.

4. නාවික යාත්‍රා පුපුරුවා හැරීම

5. හමුදා සෙබළුන් (අත්අඩංගුවේ සිටි) වෙඩි තබා මරා පුළුස්‌සා දැමීම.

6. ගල්කිස්‌ස ත්‍රස්‌ත මර්දන ඒකකයේ පොලිස්‌ පරීක්‍ෂක ජෙයරත්නම් මරා පුළුස්‌සා දැමීම.

7. හමුදා කඳවුරුවලට ප්‍රහාර එල්ල කිරීම

8. විල්පත්තුවේදී හමුදා නිලධාරියකු ඇතුළු සෙබළුන් පිරිසක්‌ මරා දැමීම

9. පුපුරණ ද්‍රව්‍ය අටවා සිවිල් ජීවිත වැනසීම 

10. වෙනත් ත්‍රස්‌ත ක්‍රියා

විග්නේශ්වරන් ඇතුළු උතුරේ දේශපාලකයන් දේශපාලන සිරකරුවන් ලෙස හඳුන්වා ඇත්තේ මේ බිහිසුණු අපරාධකරුවන්ය.

මේ පසුබිම මැද එකී අපරාධකරුවන් රජයේ බලධාරීන්ට තර්ජනයක්‌ කරමින් අපව මුදාහැරීමට ක්‍රියා නොකළ හොත් මාරාන්තික උපවාසයක්‌ ආරම්භ කරන බවට තර්ජනය කර ඇත.

ප්‍රභාකරන් හා මෙම කොටි ත්‍රස්‌තයන් බිහිසුණු අපරාධ සිදු කරද්දී ඔවුන්ව මුදාහරින්නැයි ඉල්ලන පාර්ශව සිටියේ කොහේද?

මෙකී හිටපු කොටි ත්‍රස්‌තවාදීහු ත්‍රස්‌ත මර්දන බලධාරීන් හමුවේ පාපොච්චාරණය කර ඇත. ඔවුන් අහිංසකයන් නොවේ. රට අරාජික කිරීමට ත්‍රස්‌තවාදය පැතිරවූවන්ය. 

එම තත්ත්වය මත මොවුන් රටේ නීතියට පිටින් සිටින්නේද යෑයි විමසිය යුතුව ඇත.

මේ හිටපු කොටි ත්‍රස්‌තයන් මුදා හැරීම යනු යුද අපරාධ කරුවන් මුදා හැරීමකි.

එවන් පසුබිමක්‌ උදා වූවොත් ජිනීවා යෝජනාව ප්‍රකාර දඬුවම් හිමිවිය යුත්තේ හමුදා සෙබළුන්ට පමණක්‌ද? එහිදී කොටි ත්‍රස්‌තවාදීන් නිසා විපතට පත් වූවන්ට "යුක්‌තිය" ඉටුවේද?

වැලිවේරිය බෝම්බ පිපිරීම නුගේගොඩ නෝලිමිට්‌ බෝම්බය, කොටුව දුම්රිය ස්‌ථානයේ බෝම්බ පිපිරීම, පිලියන්දල සහ රත්මලාන බස්‌ බෝම්බ පිපිරීම් වැනි බිහිසුණු ත්‍රස්‌ත ක්‍රියාවලින් ඝාතනය වූ සිවිල් ජනතාවගේ ඥාතීහු කොටි ත්‍රස්‌තයන්ට අරමුදල් සැපයූ රාඡ් රාජරත්නම් නැමැති ව්‍යාපාරිකයාට එරෙහිව පැවරූ නඩුව ඇමරිකානු අධිකරණ හමුවේ පවතී.

එම ඥාතීන් ඇමරිකානු අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ තමන්ට යුක්‌තිය ඉටු කරන ලෙසයි.

එසේ නම් රැඳවුම්භාරයේ සිටින කොටින්ට නිදහස දිය යුතුද? 

කියුබාවේ ග්වන්තනාමෝබේ සිරකඳවුර වසා එහි සිටින ත්‍රස්‌තයන් ඇමරිකාවේ බන්ධනාගාරවලට ගෙන ඒම සඳහා ජනාධිපති බරක්‌ ඔබාමා කළ ඉල්ලීම ඇමරිකානු සෙනෙට්‌ සභාව ප්‍රතික්‍ෂේප කර එකී ත්‍රස්‌තයන් එම සිරකඳවුරේම සිටිය යුතු යෑයි පවසා ඇත. 

එම ත්‍රස්‌ත සිරකරුවන් මුදාහරින ලෙස සෙනෙට්‌ සභාව ඔබාමාගෙන් ඉල්ලා නැත.

මේ පසුබිම මැද තමිල් අරසු කච්චි පක්‍ෂයේ නායක මාවයි සේනාධිරාජා මෙලෙස ප්‍රකාශ කර ඇත. ශ්‍රී ලංකා රජය ජිනීවා මානව හිමිකම් කොමිසමට ලබාදුන් පොරොන්දුව අනුව දේශපාලන රැඳවියන්ට පොදු සමාව ලබාදී නිදහස්‌ කළ යුතුය. ඒ සඳහා නොවැම්බර් 13 දා වව්නියාවේදී හර්තාලයක්‌ දියත් කිරීමට කටයුතු යොදා ඇත.

මේ අතර උතුරු පළාත් අමාත්‍ය දෙතිස්‌වරන් පවසන්නේ දේශපාලන රැඳවියන්ගෙන් 127 ක්‌ උතුරේ පදිංචිකරුවන් බවත් දඬුවම් ලබා ඇති රැඳවියන් 42 ක්‌ද බන්ධනාගාරවල සිටින බවයි. මෙම තත්ත්වය මත කොටි ත්‍රස්‌තවාදයට ගොදුරුවූවන්ගේ ඥාතීන් පවසන්නේ විපතට පත්වූවන්ට යුක්‌තිය අහිමිවන බවයි.
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network