විමල් වීරවංශ අත්අඩංගුවට

විමල් වීරවංශ අත්අඩංගුවට


ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සදහන් කළේ විදේශ ගමන් බලපත්‍ර දෙකක් ළඟ තබා ගැනීමේ චෝදනාව මත මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත් බවයි. 

ඔහු මීගමුව මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.

විමල් වීරවංශ මන්ත්‍රීවරයා අද අලූයම කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණ ඇත්තේ යුරෝපයේ සංචාරයක් සඳහා විදේශ ගතවීමටයි. එහිදී ඔහුව ආගමන විගමන බලධාරින් නැවත හරවා යවා ඇත්තේ එම ගුවන් ගමන් බලපත්‍රය අවලංගු වී ඇති බවට පවසමින්. පසුව ඔහු තවත් ගුවන් ගමන් බලපත්‍රයකින් විදේශ ගතවීම සඳහා යලිත් කටුනායක ගුවන්තොටුපලට පැමිණි අවස්ථාවේදී ආගමන විගමන නිලධාරින්ගේ දැනුවත් කිරීම මත රහස් පොලිසිය මන්ත්‍රීවරයාගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කළා. අනතුරුවයි ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

විමල් වීරවංශ මන්ත්‍රීවරයා ඩුබායි බලා පිටත්වීම සඳහා අද අලූයම කටුනායක ගුවන්තොටුපලට පැමිණ තිබුණා. මන්ත්‍රීවරයා සතුව අවලංගු ගමන් බලපත්‍රයක් පැවතීම හේතුවෙන් ගුවන්තොටුපල බලධාරින් ඔහු හරවා යවා ඇත.

ඉන් අනතුරුව අද උදෑසන තමන්ගේ ගමන් බලපත්‍රය අස්ථානගත වූ බවට විමල් වීරවංශ මන්ත්‍රීවරයා තලංගම පොලිසියේ පැමිණිල්ලක් ද ගොනුකර තිබෙනවා. ඒ අනුව, නව විදේශ ගමන් බලපත්‍රයකින් උදෑසන 10 ට පමණ යළිත් විදේශ ගත වීම සඳහා විමල් වීරවංශ මන්ත්‍රීවරයා ගුවන්තොටුපල වෙත පැමිණ ඇති අතර, ඔහුට වීසා නිකුත් කර ඇත්තේ පැරණි ගමන් බලපත්‍රයට බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

විමල් වීරවංශ මන්ත්‍රීවරයා විදේශ ගතවීමට කටුනායක ගුවන්තොටුපලට පැමිණි අවස්ථාවේදී ආගමන විගමන නිලධාරින් ඔහුව හරවා යවා ඇති බව මුල්වරට පාර්ලිමේන්තුවට අනාවරණ කළේ මහජන එක්සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධනයි. ඒ පිළිබඳව සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කරන ලෙස කථානායකවරයා ආණ්ඩු පක්ෂයට දැනුම් දුන් අතර, ඒ අනුව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව දැනුවත් කළා.

ඔහු කියා සිටියේ විමල් වීරවංශ මන්ත්‍රීවරයා අවලංගු ගමන් බලපත්‍රයක් උපයෝගි කර ගනිමින් විදෙස් ගත වීමට උත්සාහ කර ඇති බවයි. කෙසේ වෙතත්, අගමැතිවරයාගේ මැදිහත්වීම මත ඔහුට සිය විදෙස් සංචාරය සඳහා නීතිමය ප්‍රතිපාදන සලසා දී ඇති බව ද අමාත්‍යවරයා සභාවට දැනුම් දුන්නා.  

කෙසේ වෙතත් විදේශ ගමන් බලපත්‍ර දෙකක් ළඟ තබා ගැනීමේ චෝදනාව මත, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු මීගමුව මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි .

මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Copyright © 2012 Sri Av Tv Network