ත‍්‍රස්තවාදයෙන් රට බේරාගැනීමට කැප වූ අයට හිරගෙවල් හිමිවෙනවා රට බෙදන්න සටන් කරපු ත‍්‍රස්තවාදීන්ට නිදහස ලැබෙනවා - ජානිපෙ නායක, විමල් වීරවංශ

ත‍්‍රස්තවාදයෙන් රට බේරාගැනීමට කැප වූ අයට හිරගෙවල් හිමිවෙනවා
රට බෙදන්න සටන් කරපු ත‍්‍රස්තවාදීන්ට නිදහස ලැබෙනවා - ජානිපෙ නායක, 
විමල් වීරවංශ


ලොව ම්ලේච්ඡතම ත‍්‍රස්තවාදයෙන් රට බේරා ගැනීමට කැප වූ අයට හිරගෙවල් හිමිකර දී රට බෙදන්නට සටන් කළ දරුණු ත‍්‍රස්වාදීන්ට නිදහස ලබාදීමට රනිල්-මෛත‍්‍රී පාලනය කටයුතු කරන බවත් ඊට ඉඩදී නිහඩව බලාසිටීමට රටට ආදරය කරන කිසිවකුත් සූදානම් නොමැති බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා අවධාරණය කරයි.

ඊයේ(19) කොළඹ විහාර මහාදේවී එළිමහන් රංග පීඨයේදී ‘ජාතික නිදහස බිලි දෙන දෙමුහුන් යුද අපරාධ අධිකරණ මෙහෙයුමට එරෙහි වෙමු!’ යන තේමාව යටතේ පැවැති ජන සමුළුව අමතමින් විමල් වීරවංශ මහතා මෙසේ අවධාරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ විමල් වීරවංශ මහතා මෙසේද පැවසීය.

‘දෙමුහුන් පාණ්ඩුවක්’

‘‘දශක තුනක් තිස්සේ සිංහල, දෙමළ හා මුස්ලිම් සියලූ ජන කොටස් පීඩාවට පත් කළ, මේ රට ලෙයින් තෙත් කළ යුද්ධය, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන්, හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ මෙහෙයවීමෙන්, එවක ත‍්‍රිවිධ හමුදාපතිවරුන්ගේ හා රණවිරුවන්ගේ ජීවගුණයෙන් ජයගෙන වසර 06කට පස්සේ අද දෙමුහුන් ආණ්ඩුවක් බලයට පැමිණ තිබෙනවා. මේක ආණ්ඩුවක් නොවෙයි පාණ්ඩුවක්. එහෙම කියන්න වෙන්නේ, ජනාධිපතිවරයා මාධ්‍යයට පවසන දේවල් සමගයි.‘‘හිටපු හමුදා ප‍්‍රධානීන් FCIDයට අරගෙන ගිහිල්ලා අනේ මම දන්නේ නැහැ’ කියලා ජනාධිපතිවරයා මාධ්‍යයට පවසා තිබෙනවා.

යුද්ධය ජයගෙන වසර 06ක් ගත වී ඇති මොහොතේ බලයට ආපු මේ දෙමුහුන් පාණ්ඩුව, අතපය අහිමිකර ගෙන යුද වැදුණු රණවිරුවන් බිල්ලට දෙන දෙමුහුන් යුද අපරාධ අධිකරණයක් පිහිටුවන්නයි යන්නේ. මේ පාවා දීම ඉවසනවාද, නැද්ද? අද විහාර මහාදේවී එළිමහන් රංග පීඨයට රොද බැඳි ජන ගග සපථ කරනවා ‘මේ දෙමුහුන් පාණ්ඩුව රණවිරුවන් බිල්ලට දෙන පාවාදීම අපි පිළිගන්නේ නැහැ. එය පරාජයට පත් කරන්න අපි දිවිහිමියෙන් සටන් වදිනවා’ කියලා.

මේ ආණ්ඩුව මේ පාවාදීම වසන් කරන්න හදන්නේ මේ පිළිබඳව ඇත්ත මතය ජනමාධ්‍යයෙන් එළියට එන්න නොදෙමිනුයි. අද ජනමාධ්‍ය හිරිවට්ටන භීතිකාවක් අරගෙන යනවා. බස් එකේ බෝම්බ පිපිරෙන අනාගතයක් අපට අහිමි කළ රණවිරුවන් සුද්දන්ගේ උසාවියකට නග්ගලා වද දෙන්න යනවා. ඒකට විරුද්ධ මතයට අද සමාජගත වෙන්න දෙන්නේ නැහැ. එදා අපේ මහා සංඝරත්නය රටට සාමය අරගෙන එන්න කියලා රණවිරුවන්ගේ අතේ පිරිත් නූල් ගැට ගැහුවා, ආශිර්වාද කළා. අපි අද අහනවා මහා නායක ස්වාමීන්වහන්සේලා ඇතුළු මහා සංඝරත්නයෙන් ‘ඔබවහන්සේලා ඒ රටට සාමය ගෙනාපු රණවිරුවන් පාවා දෙන්නන්ගේ අත්වලත් පිරිත් නූල් ගැට ගහනවාද?’ කියලා.

‘රනිල් ජපන් පාර්ලිමේන්තුව ඇමතුවාද?’

මේ රටේ අද තියෙන්නේ දෙමුහුන් පාණ්ඩුවක් නිසා ‘රාජ්‍ය නායකයා කවුද? කියලා හොයා ගන්නත් බැහැ. මේ ළගදී රනිල් වික‍්‍රමසිංහ මහත්තයා ජපානයට ගියා. ජපානයේ ශ‍්‍රී ලංකා තානාපතිවරයා මාධ්‍යයට කීවා, ‘රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා ජපානයේ පාර්ලිමේන්තුව අමතන තුන්වන රාජ්‍ය නායකයා. මීට කලින් එම අවස්ථාව රාජ්‍ය නායකයන් දෙදෙනකුට පමණයි ලැබී ඇත්තේ’ කියලා. රනිල් වික‍්‍රමසිංහ මහත්තයා ජපාන පාර්ලිමේන්තුව ඇමතුවා කියලා ඊට පසුව මාධ්‍යවල පින්තූරත් ගියා. හැබැයි ඒ පින්තූරවල තිබුණේ ජපාන පාර්ලිමේන්තුව නොවෙයි. ජපන් පාර්ලිමේන්තුවේ තිබෙන කුඩ කමිටු ශාලාවක්. කුඩා ශාලාවක මන්ත‍්‍රීවරුන් ටිකක් එකතු කළාම ඒකට කියන්නේ පාර්ලිමේන්තුවද? එහෙම නම් මෙතැනත් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 40කට අධික පිරිසක් ඉන්න නිසා මටත් කියන්න පුළුවන් ‘මම අද ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතුවා’ කියලා. අද මේ පාණ්ඩුව කරන්නේ තනිකරම බොරුව.

මේ පාණ්ඩුව අද දුන් පොරොන්දු ඉටු කරනවාද? රජයේ සේවකයන්ගේ මූලික වැටුපට වැඩි කළ රුපියල් 10,000 එකතු කළාද? ඉදිකිරීම් කර්මාන්තය වට්ටලා ඉවරයි. තේ, රබර්, වී වලට සහතික මිලක් නැහැ. තේ, රබර් කර්මාන්ත බිඳ වට්ටලා ඉවරයි. වී ගොවියා අද මහ පාරේ රස්තියාදු කරනවා. වී අස්වැන්න කුණු කොල්ලයට අතරමැදියා අතට යනවා. සමහරු බලාගෙන හිටියා, රනිල් වික‍්‍රමසිංහගේ දෙමුහුන් ආණ්ඩුව ආවාම කාර් එකක් මිලදී ගන්න. ඒ ’හීනය’ බිඳවට්ටන්න මුදල් ඇමතිවරයා ‘හැරෙන තැපෑලෙන්’ වැඬේ දුන්නා. දැන් අලියාට කතිරය ගහපු ඈයො ඉන්නේ ‘කා’ කියා ගන්නවත් බැරිවයි. මේ දෙමුහුන් ආණ්ඩුව ජනතාවට දුන්නු කිසි පොරොන්දුවක් අද ඉටු කරන්නේ නැහැ.

‘සියලූ කොටින්ට නිදහස දෙන ක‍්‍රමය’

නමුත් මේ ආණ්ඩුව කට්ටියකට දුන්නු පොරොන්දු නම් කඩ නොකර ඉටු කරනවා. ඒ තමයි ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු අධිරාජ්‍යවාදයට, අධිරාජ්‍යවාදයේ කලාපයේ උප කොන්ත‍්‍රාත්කරු වන ඉන්දියාවට හා කොටි හිතවාදී ඩයස්පෝරාවට දුන්නු පොරොන්දු. මේ තුන්ගොල්ලන්ට දීපු පොරොන්දු කඩ නොකර ඉටු කරන ගමන් ජනතාවට දුන් පොරොන්දු පොඩිපට්ටම් කරනවා. අද සිදු වෙමින් පවතින්නේ එයයි. රට බේරාගැනීමට කැප වුණු සේනාධිනායකයාට, ආරක්‍ෂක ලේකම්වරයාට හා හිටපු හමුදා ප‍්‍රධානීන්ට සිරගෙවල් සූදානම් කරනවා. රට බෙදන්න සටන් කරපු ත‍්‍රස්තවාදීන්ව පෝලිමේ නිදහස් කරමින් සිටිනවා. ජිනීවා යෝජනාවෙන් කියනවා, ‘ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසී කරනු ලැබේ’ කියලා. ඒ පනත අහෝසි කළාම ඒ යටතේ දඩුවම් ලබා ඇති පිරිස් ඉබේම නිදහස් වෙනවා. සියලූම කොටින්ට නිදහස දෙන ක‍්‍රමය තමයි, කොටින්ව අත්අඩංගුවට අරන්, නඩු අහලා දඩුවම් කරපු පනත අහෝසි කිරීම. දැන් මේ දෙමුහුන් අධිකරණය පිහිටුවලා අහන්නේ ‘යුද අපරාධ කළාද?’ කියලා. මේ ප‍්‍රශ්නය අහන්නේ අපේ ආරක්‍ෂක හමුදාවලින් පමණයි. දෙපාර්ශ්වය කියන වචනය තිබුණාට අද කොටි සංවිධානයෙන් ‘යුද අපරාධ කළාද?’ කියලා අහන්න දැන් කොටි නායකයන් නැහැනේ. ඒ නිසා මේ දෙමුහුන් අධිකරණයෙන් එල්.ටී.ටී.ඊයට එරෙහි චෝදනා විභාග කරන්නේ නැහැ. මානව හිමිකම් කවුන්සිලයේ පරීක්‍ෂණයේදී සාක්‍ෂි දුන්නු පිරිස අවුරුදු 20ක් යන තෙක් හෙළිදරව් කරන්නේ නැහැ. ඒ සාක්‍ෂි පිළි ගන්න විදිහට තමයි ඒ අධිකරණය ස්ථාපිත කරන්නේ. ඒ අනුව අපේ සාක්‍ෂි ආඥා පනතත් සංශෝධනය කරනවා. දැනට පවතින නීතිය අනුව සාක්‍ෂිකරුවන්ගෙන් හරස් ප‍්‍රශ්න අහන්න පුළුවන්. ඉහත සංශෝධනයෙන් එකත් අහෝසි කරනවා. ඊට පස්සේ අවුරුදු 20ක් යනතෙක් හෙළිදරව් කර ගන්න බැරි සාක්‍ෂිකරුවන් දුන්නු සාක්‍ෂි මත පදනම්ව මේ දෙමුහුන් අධිකරණයෙන් නඩු අහලා තීන්දු දෙනවා.

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ශ‍්‍රී ලංකාවේ සමඅනුග‍්‍රහය සහිතව ඉදිරිපත් කළ යෝජනාවලිය තිබෙනවා, ‘මානව හිමිකම් කොමසාරිස්වරයා විසින් ශ‍්‍රී ලංකාව පිළිබඳව ඉදිරිපක් කළ වාර්තාව සාදරයෙන් පිළිගන්නවා’ කියලා. මේ රටේ ආරක්‍ෂක හමුදා පාවා දෙන එක්සත් ජනපද ඉල්ලීම් සියල්ල ඇතුළත් කරපු ඒ විෂකුරු යෝජනාවලිය මේ ආණ්ඩුව අද පිළිඅරන් ඉවරයි. දැන් ශ‍්‍රී ලංකා රජය පිළි අරන් ඉවරයි ‘අපි යුද අපරාධ කළා. ඒ පිළිබඳව සොයා බලන්න ඕනෙ’ කියලා.

මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිතුමාගේ පක්‍ෂ ශාඛාවක් ද, මේ රටේ හමුදාව? මේ හදන්නේ රාජපක්‍ෂ ජනාධිපතිතුමන්ගෙන් විතරක් පලිගන්න නොවෙයි, සටන් වැදුණු සේනාංක, ඒවාගේ ප‍්‍රධානීන් ඇතුළු සියලූ දෙනාගෙන් පලිගන්න. මේ යෝජනාවලිය අනුව මේ රටේ ආරක්‍ෂක හමුදා ප‍්‍රතිසංස්කරණයකට ලක් කරන්න ඕනෙ කියනවා. බුද්ධි අංශය දියකර හැරලා, නැවත ත‍්‍රස්ත අභියෝගයකට මුහුණ දෙන්න බැරි හීලෑ කරපු අහිංසක හමුදාවක් බවට අපේ හමුදාව පත් කිරීමයි මෙයින් අදහස් වෙන්නේ. හමුදාව ප‍්‍රමාණයෙන් අඩු කරනවා විතරක් නොවෙයි, ගුණාත්මකවත් එහි ශක්තිය මොට කරනවා.

නෙදර්ලන්තයේ හේග් නුවර අන්තර්ජාතික අපරාධ අධිකරණයට ගෙනිහින් යුද අපරාධ නඩු අහන්න පුළුවන් ක‍්‍රම තුනයි තියෙන්නේ. ඒ අධිකරණයේ ව්‍යවස්ථාවට හෙවත් ‘රෝම ප‍්‍රඥප්තියට’ අපි රටක් ලෙස අත්සන් කරලා තියෙනවා නම් අපේ රටේ යුද අපරාධ චෝදනා එල්ල වූ අය නඩු අහන්න හේග් නුවර අන්තර්ජාතික අපරාධ අධිකරණය හමුවට රැගෙන යන්න පුළුවන්. ඒක පළමු ක‍්‍රමය. අපි රටක් ලෙස රෝම ප‍්‍රඥප්තියට අත්සන් කරලා නැති නිසා එහෙම කරන්න බැහැ. දෙවන ක‍්‍රමය තමයි එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලයේ යෝජනාවක් අනුව විශේෂ අධිකරණයක් පිහිටුවලා ඒ නඩුව අවසානයේදී හේග් නුවර අන්තර්ජාතික අපරාධ අධිකරණයට රැගෙන යන්න. ආරක්‍ෂක මණ්ඩලයේදී ශ‍්‍රී ලංකාවට එරෙහිව එවැනි තීන්දුවක් ගන්න බැහැ, චීනය හා රුසියාව එවැනි යෝජනාවකට එරෙහිව නිෂේධ බලය පාවිච්චි කරන හින්දා. තුන්වැනි ක‍්‍රමය තමයි අදාළ රටේ ආණ්ඩුව එකග කරවා ගෙන, එම රට තුළ දෙමුහුන් උසාවියයක් ආරම්භ කිරීම. මේ තුන්වැනි ක‍්‍රමයට අපි එකග නොවුණා නම් අපට එරෙහිව මෙවැනි පරීක්‍ෂණයක් ආරම්භ කිරීමට ඉඩක් ලැබෙන්නේ නැහැ.

‘අනුරගේ ජාතික ප‍්‍රශ්නය ථ ඇවන්ගාර්ඞ්’
රාජපක්‍ෂ ආණ්ඩුව කිසිවිටකත් මෙවැනි දෙමුහුන් අධිකරණයක් රට තුළට ගෙන ඒමට ඉඩ තියන්නේ නැහැ. ඒ නිසා මෙවැනි දෙමුහුන් අධිකරණයක් පිහිටුවීමේ පූර්ව කොන්දේසිය තමයි රාජපක්‍ෂ පාලනය අවසන් කිරීම. ඒකට පරස්පර මත දරන පාට, පාට කල්ලි එකට එකතුකර ගන්න ඕනෙ. පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි, පූජ්‍ය අතුරලියේ රතන හිමි, පාඨලි චම්පික රණවක ඇතුළු පිරිස් යොදා ගෙන සිංහල ජන මනස අවුල් කරන්න ඕනෙ. අනුර දිසානායකලා දමලා ‘නැති ලැම්බෝගිනි’ ජාතික ප‍්‍රශ්නය බවට පත් කරන්න ඕනෙ. දැන් බලන්න ජාතිය හමුවේ තිබෙන කේන්‍ද්‍රීය ප‍්‍රශ්නය යට ගහන්න අද අනුර දිසානායකගේ ජාතික ප‍්‍රශ්නය වෙලා තියෙන්නේ ඇවන්ගාර්ඞ් සිදුවීම.

මේ ආණ්ඩුව අද දෙමළ ජාතික සන්ධානයට විපක්‍ෂ නායක ධුරය ලබා දීලා තිබෙනවා. ජවිපෙට විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ධුරය ලබාදී තිබෙනවා. තමන්ට හීලෑ කරගත හැකි විපක්‍ෂයක් පාර්ලිමේන්තු තුළ හදා ගෙන තියෙනවා. සැබෑ විපක්‍ෂයේ අයිතිවාසිකම්, වරප‍්‍රසාද කප්පාදුකර තිබෙනවා. අපි තේරුම් ගත යුතුයි, ‘මේ බටහිර බලවතුන් මේ දෙමුහුන් අධිකරණ ක‍්‍රියාවලිය ගෙන එන්නයි මහින්ද ගෙදර යවා මේ රූකඩ හවුල් ආණ්ඩුව හදා ගත්තේ කියලා.

‘මානව හිමිකම් කුමාරයා ලංකාවට එනවා’

දැන් බලන්න, ලබන මාසය වන විට කාම්බෝජයේ පිහිටුවපු දෙමුහුන් අධිකරණයේ නඩු අහපු ජපාන විනිසුරුවරයා ලංකාවට එනවා. ඒ විතරක් නොවෙයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් හුසේන් කුමාරයා ඇවිල්ලා මානව හිමිකම් කවුන්සිලයේ කාර්යාලයක් ශ‍්‍රී ලංකාව තුළ විවෘත කරනවා. යුද්ධය පැවැති කාලය තුළදීවත් මෙවැනි කාර්යාලයක් විවෘත කරන්න කොන්ද පණ තිබුණු නායකයා මහින්ද රාජපක්‍ෂ ඉඩ දුන්නේ නැහැ. එවකට මානව හිමිකම් ප‍්‍රධානී ලූවී ආබර්ගේ යෝජනාව එදා මහින්ද රාජපක්‍ෂ මහත්තයා දැඩි ලෙස ප‍්‍රතික්‍ෂේප කළා.

වන්නියේ සිට ජිනීවා වෙත...

ඒ ශ‍්‍රී ලංකාව තුළ පිහිටුවන මානව හිමිකම් කවුන්සිලයේ කාර්යාලයෙන් තමයි තීරණය කරන්නේ, ඇමෙරිකා - ශ‍්‍ර‍්‍රී ලංකා යෝජනාවලිය යටතේ පිහිටුවනු ලබන ‘සත්‍ය සේවීමේ කොමිසමට’ යන්නේ කවර දුක් ගැනවිලි ද දෙමුහුන් අධිකරණයට යන්නේ කවර පැමිණිලිද කියලා. ‘මේක දේශීය යාන්ත‍්‍රණයක්’ කියලා ආණ්ඩුව ලැජ්ජා නැතිව කියනවානේ. මේ අධිකරණ යාන්ත‍්‍රණයට අයත් කාර්යාලවල සේවය කරන අයට පඩි ගෙවන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් සහ ඇමෙරිකා එක්සත් ජනපදය, නෝර්වේ ඇතුළු බටහිර රටවල් විසින්. මේ දෙමුහුන් අධිකරණයේ විජාතික විනිසුරන් අභිචෝදකයන්, නීතිඥයන්, විමර්ශකයන්ට සල්ලි වියදම් කරලා මේ බටහිර බලවතුන් කවර තීන්දුවක්ද බලාපොරොත්තු වෙන්නේ? ‘ශ‍්‍රී ලංකාවේ හමුදාව හරි හොඳයි. යුද අපරාධ කරලා නැහැ’ කියලා තීන්දුවක් දෙනවා නම් ඒකට සල්ලි වියදම් කරන්න මේ අයට පිස්සුද? මේ අයගේ උවමනාව තමයි මේ දෙමුහුන් අධිකරණය මගින් ශ‍්‍රී ලංකාවේ සිදු නොවුණු යුද අපරාධ, සිදු වුණා කියලා ඔප්පු කිරීම.

එහෙම යුද අපරාධ සිදු වුණා කියලා ඔප්පු කරලා සේනාධිනායකයා, ආරක්‍ෂක ලේකම්වරයා ඇතුළු සටන්කාමී සේනාංකවල ප‍්‍රධානීන්ට දඩුවම් ලබාදීමයි ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර බලවතුන්ට අවශ්‍යව ඇත්තේ. මේ යෝජනාවලියේ තියෙන්නේ යුද අපරාධ ගැන සෙවීම පමණක් නොවෙයි, 13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කිරීම පිළිබඳවත් මෙහි සඳහන් වෙනවා.

මොකක්ද මේ කරන්න හදන්නේ. උතුරු - නැග‍ෙනහිර ඒකාබද්ධ කරලා පොලිස්, ඉඩම්, මූල්‍ය බලතල පූර්ණ වශයෙන් දීලා උතුරු - නැග‍ෙනහිර පළාත් සභාවක් හදනවා. උතුරෙන් සම්පූර්ණයෙන්ම හමුදාව ඉවත් කරනවා. එවිට ඉතිරි වන්නේ මහ ඇමතිවරයාගේ බලය යටතේ සිටින පළාත් පොලීසියක් පමණයි. ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරලා කොටි ත‍්‍රස්තවාදීන් එළියට දාන්නේ, හෙට අනිද්දා තවත් පිරිසක් දේශපාලන සිරකරුවන් සේ සලකලා එළියට දාන්නේ මේ උතුරු - නැග‍ෙනහිර පොලීසියට බඳවාගන්න. මේ නිදහස් වන කොටි සාමාජිකයන් පොලීසියට බඳවා ගන්නවා පමණක් නොවෙයි, ඔවුන් දෙමුහුන් අධිකරණය ඉදිරියට ඇවිල්ලා අපේ ආරක්‍ෂක හමුදාවන්ට එරෙහිව සාක්‍ෂි දීමට සූදානමින් ඉන්න බවත් අප තේරුම් ගත යුතුයි.

ජිනීවා සිට නිව්යෝර්ක් වෙත...

මේ දෙමුහුන් උසාවිය යුද අපරාධ සිදු වුණා කියලා තීන්දු කළාම, ඒ අධිකරණ තීන්දුව මත පදනම් වෙලා උතුරු - නැගෙනහිර පළාත් සභාව පාලනය කරන අයට පුළුවන් වෙනවා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයෙන් ඉල්ලන්න, ‘අපට ශ‍්‍රී ලංකා රාජ්‍යයේ ආරක්‍ෂාවක් නැහැ. දෙමුහුන් අධිකරණයේ තීන්දුවෙන් ඔප්පු වෙලා තියෙනවා අපේ ජනතාව සමූහ වශයෙන් මරාදමා තිබෙනවා කියලා. අපි දැනටමත් උතුරු - නැගෙනහිර ප‍්‍රදේශය පාලනය කරනවා. මේ ප‍්‍රදේශය වෙනම රාජ්‍යයක් ලෙස පිළිගන්න.’ කියලා. දැන් වන්නියෙන් පටන්ගත් ඊළාම් සටන ජිනීවා ගිහිල්ලා යම් ජයග‍්‍රහණයක් ලබාගෙන අවසන් ජයග‍්‍රහණය ලබාගන්න නිව්යෝර්ක් යන්නයි හදන්නේ. ඉහත කී ආකාරයට මේ දෙමුහුන් අධිකරණයේ තීන්දුවත් උපයෝගී කරගෙන නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට යන්නයි මේ ඊළාම්වාදීන් සැරසෙන්නේ.

මෙවැනි දැවැන්ත අභියෝගයක් අප හමුවේ තිබෙනවා. මෙය සුළුකොට තැකිය යුතු නැහැ. ඔබ කවර පක්‍ෂයකට අයත් වුවත් මේ මහා පාවාදීමට එරෙහිව සැබෑ ශ‍්‍රී ලාංකිකයකු ලෙස නැ`ගී සිටිය යුතුයි. මේ අවාසනාවන්ත ඉරණමෙන් ජාතිය බේරාගැනීමට ඔබ තුළ වන අධිෂ්ඨානයයි, අද මේ විහාර මහාදේවී එළිමහන් රංග පීඨය එකම හිස් ගොඩක් බවට පත්වීමෙන් පෙනී යන්නේ.’’

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ
2015.10.20
මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

Copyright © 2012 Sri Av Tv Network