සිරියාවට දෙන රුසියානු සහයෝගය නිසා ඇමරිකාව හා ගැටුමක් ඇති විය හැකියි

සිරියාවට දෙන රුසියානු සහයෝගය නිසා ඇමරිකාව හා ගැටුමක් ඇති විය හැකියි

සිරියානු රජයට ලබාදෙන රුසියාවේ සහයෝගය හේතුවෙන් සිරියාව තුළ රුසියානු හා ඇමරිකානු හමුදා අතර ගැටුමක් ඇතිවීමේ අවදානමක් ඇති බව ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී පවසා ඇතැයි වාර්තා වේ.

ඔහු පවසා ඇත්තේ බෂාර් අසාද් හමුදා ශක්තිමත් කිරීමෙන් සිදුවන්නේ සිරියානු අර්බුදය උත්සන්නවී තවතවත් අහිංසක ජීවිත විනාශ වීමත් සරණාගතයින් ගලා ඒම ඉහළ යාමත්  පමණක් බවයි.

එමෙන්ම සිරියාව තුළ ක‍්‍රියාත්මක වන ISIS විරෝධී ජාත්‍යන්තර සන්ධානය හා ගැටුමක් ඇතිවීමේ අවදානමක්ද පවතින බව කෙරී පවසා තිබේ.

සිරියාව වෙත ලබාදෙන රුසියානු මිලිටරි සහයෝගය පිළිබඳව වොෂින්ටනය දැඩි අවධානයකින් පසුවන බව තමන් රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් වෙත දැනුම් දුන් බවද ඉතාලියේ ලා ස්ටාම්පා පුවත්පත වෙත අදහස් දැක්වූ රාජ්‍ය ලේකම්වරයා පවසා ඇත.

ඇමරිකානු නිලධාරීන්ට අනුව රුසියාව විසින් ප‍්‍රහාරක යානා, කාලතුවක්කු ඒකක, යුධ ටැංකි සහ හමුදා භටයින් සියගණනක් බටහිර සිරියාවේ ලටාකියා නගරය ආසන්නයේ පිහිටා ඇති ගුවන් හමුදා කඳවුරක් වෙත ගෙන ගොස් තිබේ.

වොෂින්ටනය පවසන්නේ සිරියානු රජයේ හමුදාවන්ගේ සටනට සහය දීම සඳහා රුසියාව විසින් සිරියාව තුළ මිලිටරි කඳවුරක් ඉදිකරමින් ඇති බවයි.

එහි සිට ඉදිරියේදී ගුවන් ප‍්‍රහාරද දියත් විය හැකි බව ඔවුන්ගේ අදහසයි.  මේ අතර සිදුවිය හැකි ගැටුමක් වළක්වාගැනීම සඳහා දෙරටේ හමුදා අතර සන්නිවේදනයන් ස්ථාපිත කිරීමට රුසියාව විසින් යෝජනා කර ඇතැයිද වාර්තා වේ.

තව කෙනෙකුට කියවන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network