වෙල්ගමට අගමැති සිහිනය පෙනෙනවා ලු - දැනට නිල නොවන විපක්ෂ නායක ලු -

වෙල්ගමට අගමැති සිහිනය පෙනෙනවා ලු - 
දැනට නිල නොවන විපක්ෂ නායක ලු -

වසර 23ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරන කළුතර දිස්ත්‍රික් එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා වත්මන් පාර්ලිමේන්තුවේ සිටින අත්දැකීම් බහුලම මන්ත්‍රීවරයෙකි. 1989 වසරේ සිට නොකඩවා පාර්ලිමේන්තුව නියෝජනය කරන හෙතෙම මෙවර විපක්ෂයේ අසුන් ගත් එජනිස මන්ත්‍රී කණ්ඩායම විසින් විපක්ෂ නායක ධුරයටද නම් කරනු ලැබ තිබිණි. 

#  ඔබ ඇතුළු එජනිස විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් පසුගියදා පාර්ලිමේන්තුවේ විරෝධතාවක් දැක්වූවා. මොකක්ද හේතුව?..


 මුදල් විසර්ජන පනත පිළිබඳව අප කථානායකතුමාට රීති ප්‍රශ්නයක් යොමු කළා. එහෙත් එතුමාට ඒවාට උත්තර දෙන්න බැරිව ගියා. එතුමා පාර්ලිමේන්තුව කල් තබා නැවතත් අසුනට පැමිණි නමුත් එතුමාට නිවැරැදි නීති උපදෙස් ලැබී තිබුණේ නෑ. එතුමා පැරැණි කතානායකවරුන්ගේ තීන්දු සලකා බලා මේ විසර්ජන පනත විවාදයට ගත හැකි බව නිවේදනය කළා. මුදල් පනත් එහෙම විවාදයට ගන්න බෑ.

 # දැන් අගමැතිතුමා සහ විපක්ෂ මන්ත්‍රීවරුන් අතර බහින්බස්වීම් දුරදිග යනවා නේද?

 ඔව්. කතානායකතුමාගේ තීන්දුවට එජනිස විපක්ෂ මන්ත්‍රීවරුන් විරෝධය දැක්වීමත් සමඟම අගමැතිතුමා දිනේෂ් ගුණවර්ධන සහ වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරුන් සමඟ බහින්බස් වුණා. හිඟන්නා කොට්ටේරුවා කියලා ඒ අය අතර වචන හුවමාරු වුණා. අන්තිමට අප අපේ විරෝධය දක්වන්න පාර්ලිමේන්තුවෙන් පිටතට පැමිණියා.

 # අගමැතිතුමාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට උපදෙස් දෙන්න බලයක් තියෙනවාද?

 එහෙම විශේෂ බලයක් නෑ. එහෙත් නීතියට පටහැණි දෙයක් සිදු වුව හොත් එතුමාට පාර්ලිමේන්තුවේ අත්දැකීම් ඇති මන්ත්‍රීවරයකු විදියට දැනුම්දීමක් කළ හැකියි. එහෙත් අගමැතිට මන්ත්‍රීවරුන්ට අණ දීමක් කරන්න බෑ.

 # එජනිස මන්ත්‍රීවරුන් අගමැතිතුමා අතින් නිර්දය විදියට විවේචනය වෙනවා නේද?

 ඔව්, අප ඒ නිසා තමයි පාර්ලිමේන්තුවෙන් පිටතට පැමිණ විරෝධය දැක්වූයේ. අප හිතනවා මින් ඉදිරියට අගමැතිතුමා එවැනි දේ නොකරාවි කියලා.

 # ඔබට කථානායකතුමා එක්ක අමනාපයක් තියෙනවාද?

අපොයි එහෙම දෙයක් නෑ! අප කිව්වේ මුදල් විසර්ජන පනත ගැන අපේ රීති ප්‍රශ්නයට පිළිතුරු එය විවාදයට ගැනීමට පෙර දිය යුතුයි කියලා. එතුමාට අප කිව්වා අද බැරි නම් ලබන 6 වැනිදාට අපට පිළිතුරක් දෙන්න කියලා. ඒත් එතුමා ඒක පිළිගත්තේ නෑ.

 # කථානායකතුමා සමඟ හැප්පෙන එක නුවණට හුරු නෑ නේද?

අප හැප්පෙනවා නෙමෙයි. එතුමා අතින් යම් වරදක් වුණොත් එය පෙන්වා දීම අපේ යුතුකම. අප විපක්ෂයේ යුතුකම ඉටු කළ යුතුයි. එහෙම නැති නම් අප පාර්ලිමේන්තුවෙන් බැහැරව යනවා.

 # ඔබේ විපක්ෂනායක සිහිනය බොඳ වුණා නේද?

 ඔව්. අපේ විපක්ෂ එජනිස මන්ත්‍රීවරුන් විපක්ෂ නායක විදියට මා නම් කළා. මා හිතුවා ජ්‍යේෂ්ඨත්වයට අනුව මට සාධාරණයක් ඉටු වේවි කියලා. මාත් ඒකට කැමැත්තෙන් හිටියා. හැබැයි ඉතින් රජය ඉන්දියාව එක්ක කලින් සකච්ඡා කරගත් විදියට දෙමළ ජාතික සන්ධානයට විපක්ෂනායක ධුරය ලබා දුන්නා. ඔවුන් ඉන්දියාවේ පොරොන්දුව ඉටු කළා. අප රැවටුවා.

 # ජිනීවා මානව හිමිකම් වාර්තාව ගැන ඔබේ කණ්ඩායමේ මතය කුමක්ද?

 අන්තර්ජාතික උසාවියක් අපට අවශ්‍ය නෑ; දෙමුහුන් අධිකරණයක් අවශ්‍යත් නෑ. අපේ රටට අන්තර්ජාතික විනිසුරුවන් අවශ්‍යත් නෑ. අපේ රටේ දක්ෂ විනිසුරුවරුන් සහ නීතිඥයන් සිටිනවා. ඒ නිසා කරන පරීක්ෂණයක් අපේ රටේ සිදු කරන ලෙස අප රජයට කියනවා.

 # හැබැයි ජිනීවා යෝජනාව ගැන ශ්‍රීලනිප මතය හාත්පසින්ම වෙනස් නේද?

 ඔවුන් පිළිගන්නා දේවල් අප පිළිගන්නේ නෑ. අපේ එජනිස විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම හයිබ්‍රිඩ් උසාවියකට කැමැති නෑ. අපි ඔය කියන පරීක්ෂණය දේශීය යාන්ත්‍රණයකින් කරමු.

 # හැබැයි දැන් ඔබේ සටන් පාඨ සියල්ල වතුරේ යනවා. ජෝන් කෙරී කියා තිබෙනවා දේශීය යන්ත්‍රණයකට අැමෙරිකාව සහාය දීම පමණයි කරන්නේ කියා?

 ඔබ කියන ප්‍රවෘත්තිය ගැන මා අධ්‍යයනය කළ යුතුයි. අපි බලාගෙන ඉමු මොකද වෙන්නේ කියලා. අනාගතය විසින් සියල්ල විසඳාවි.

 # දැන් ඔබේ කණ්ඩායමේ ඉන්න මන්ත්‍රීවරුන් පවා ආණ්ඩුවේ තනතුරු ලබාගන්නවා නේද?

 ඔව්. අපට ඒවාට විරුද්ධ වෙන්න බෑ. අනෙක ඒවා පක්ෂයේ තීන්දු. ඔය යන අය ගියාවේ. එයාලා යනවා වගේම ඒවි. ඉවසාගෙන ඉමු. ඔය දැන් පේනේනේ නැද්ද දැන්ම මෙයාලා ඇනකොටාගන්නවා. මං දන්නේ නෑ මේක අවුරුද්දක්වත් ඇදගෙන යන්න පුළුවන් වේවිද කියලා. දැන් බලන්න යූඇන්පී ඇමැතිවරුන් ශ්‍රීලනිප ඇමැතිවරුන්ට 'පිං ඇමැතිලා' කියනවා. මේ දීගය හරි යන්නේ නෑ. පොරොන්දම් බැලුවත් මඟුල් කැඩෙන අවස්ථා තියෙනවා.

 අප හැමදාම ආණ්ඩු හැදුවේ වාමාංශික පක්ෂ සමඟ. දැන් බලන්න ශ්‍රීලනිප කැබිනට් ඇමැති, නියෝජ්‍ය ඇමැති එජාපයේ. ඊළගට: කැබිනට් ඇමැති යූඇන්පී, නියෝජ්‍ය ඇමැති ශ්‍රීලනිප. ඒ නිසා මේ මඟුල කැඩෙනවා; හවුල අවුල් වෙනවා. ඇත්තටම එජාපයට දෙමළ සන්ධානය එක්ක ආණ්ඩුවක් හදාගන්න පුළුවන්. ඒකට අප ඉඩ දිය යුතුයි. අපි 95 දෙනා විපක්ෂයේ කාර්යභාරය කරනවා නම්, ඒක තමයි රටේ අනාගතයට වටින්නේ.

 # විපක්ෂ නායකකම ගන්න සටන් කරන්න අදහසක් නැද්ද?

 එහෙම සැලැසුමක් නම් නෑ. දැන් ඒක කරන්නත් බෑ. කතානායකතුමා පිළිගන්නේ එජනිස මහ ලේකම්වරයාගේ මතය. ඒ නිසා අපිට එජනිස මහ ලේකම්ගේ ආශීර්වාදය දැනට ලැබෙන්නේ නෑ.

 # ශ්‍රීලනිප සියලු මන්ත්‍රීවරුන් විපක්ෂ නායක ලෙස ආර්. සම්පන්දන් පිළිගත් බවට පළ වූ නිවේදනයට ඔබ එකඟද?

 ඔය කියන තීන්දුව ගත් සාකච්ඡාවට මා ගියේ නෑ. මාත් ඔය කියන පුවත්පත් වාර්තාව දැක්කා. දැන් විපක්ෂ නායක ලෙස කතානායකවරයා පිළිගන්නේ ආර්. සම්පන්දන්. ඒත් අපේ එජනිස විපක්ෂ මන්ත්‍රීවරුන් නිල නොවන විපක්ෂ නායක ලෙස පිළිගන්නේ කුමාර වෙල්ගම. අපි ඉවසාගෙන බලා ඉමු ඉදිරියට මොකද වෙන්නේ කියලා.

 # විපක්ෂ නායක කියන්නේ රටේ ඊළග අගමැති විදියට තමයි පිළිගන්නෙ. ඔබේ සිහින සියල්ල බොඳ වුණා නේද?

 නෑ. අගමැති සිහිනය බොඳ වෙලා නෑ. ඔය කියන සිහින පෙනෙනවා; නොපෙනී යනවා. හැබැයි සිහින කවදාවත් බොඳ වෙලා යන්නේ නෑ. බොඳ වෙනවා කියන්නේ සිහින නොපෙනීම යන්න ඕනේ. මට එහෙම වෙලා නෑ. මෛත්‍රීපාල මැතිතුමා ජනාධිපති වෙයි කියලා කවුද හිතුවේ. එතුමා අගමැති වෙයි කියලා තමයි කවුරුත් හිතුවේ. ඒ නිසා අද බොඳ වූ සිහින හෙට පෙනෙනවා.

 # 'මහින්ද සමග නැඟිටිමු' වේදිකාවේ හිටපු අයත් ඇමැතිකම් ගත්තා. ඔවුන් සමඟ තිබෙන සම්බන්ධතාව කොහොමද?

අප පාර්ලිමේන්තුවේදී හමු වුණාම කතා-බහ කරනවා. අපි මිතුරෝ. ඒවා නැති වෙන්නේ නෑ. හැබැයි හිතට දුක තියෙන්නේ අපි ජීවිතේට නොහිතපු අයත් ගියා.

 # කවුරු ගියත් ටී.බී. ඒකනායක යයි කියලා හිතුවේ නෑ නේද?

 සහතික ඇත්ත. ටීබී මාත් එක්ක ශ්‍රීලනිප තරුණ සංවිධානයේ අවුරුදු 31ක් හිටියා. ටීබී තමයි දින සියයේ ආණ්ඩුවට අපෙන් ගිය අයට ගන්ධබ්බයෝ කියලා කිව්වේ. ඒ නම දාපු ටීබීත් ගියා. ඔහු කියපු ගන්ධබ්බයෝ ගොඩට වැටීම ගැන නම් මටත් දුකයි.

# ටීබීගෙන් මේ ගැන ඇහුවේ නැද්ද?

 මොනවා අහන්නද? ගියාට පස්සේ මරණ පරීක්ෂණ තියලා මොකටද? හැබැයි මම එක ප්‍රතිපත්තියක ඉන්නවා. පසුගිය ජනවාරි මාසයේ ජනාධිපතිතුමා ජාතික ආණ්ඩුවක් ගැන කිව්වාම මං තමයි ඒකට විරුද්ධ වෙලා සභාවෙන් නැඟිටලා ආවේ. මං පිටුපස හැරිලා බැලුවා තව කවුරුහරි මාත් එක්ක එනවාද කියලා. හැබැයි කවුරුත් මාත් එක්ක ආවේ නෑ. ඒත් අද මගේ ඒ අදහස පිළිගන්න එජනිස මන්ත්‍රීවරුන් 48ක් ඉන්නවා.

 # ඔබට විතරද ප්‍රතිපත්ති තියෙන්නේ?

අනෙක් අය ගැන මට සහතික දෙන්න බෑ. දැන් බලන්න 2010 මහ මැතිවරණයේදී මට ලැබුණේ ඡන්ද 125000යි. 2015 මහ මැතිවරණයෙන් එජනිසයට ඡන්ද 338000ක් ලැබෙන කොට මට මනාප ඡන්ද 218614ක් ලැබෙනවා. ඒ ඇයි? මිනිසුන් මගේ ප්‍රතිපත්තියට ගරු කරනවා. කළුතර විතරක් නෙමෙයි, මුළු රටේම මිනිසුන් මට ගරු කරනවා. දැන් බලන්න අගලවත්ත ආසන සංවිධායක අපේ මහින්ද සමරසිංහ මැතිතුමා. මට ඒ ආසනයෙන් මනාප 30000 ක් ලැබුණා. මහින්ද මනාප සටහනේ 5ට හිටියේ. දිස්ත්‍රික් මනාප සටහනේ එතුමා 8 වැනියා. මගේ ප්‍රතිපත්තියට මිනිසුන් සලකා තිබෙන විදිය කොහොමද කියලා තේරෙනව ඇති නේද?

 # හැම දිස්ත්‍රික්කයකම සමහරුන් පනින්න ඉන්නේ කියන මතය නිසා නේද ඔවුන් පැරැදුණේ?

 ඔය පනිනවා කියන මතය ආවේ ජාතික ආණ්ඩුවට ගිය අය ගැනයි. අපිට හෘදය සාක්ෂියක් තියෙනවා. හෘදය සාක්ෂියට අනුව ජාතික ආණ්ඩුවට යන්න බෑ. එහෙම ගිය අයට ඉදිරි මහ මැතිවරණයේදී ජනතාව උත්තර දේවි. ජාතික ආණ්ඩුවට යන අයට ප්‍රතිපත්තියක් නෑ කියලා තමයි ජනතාව කිව්වේ. දැන් බලන්න මගේ මිත්‍රයා පියසේන ගමගේ, 1981දී අපි දෙන්නා එකටමයි මැතිනිය අතින් හොරගොල්ල වලව්වේදී ආසන සංවිධායක තනතුරු ගත්තේ. එතුමාත් මාත් 1989 ඉඳලා නොකඩවා පාර්ලිමේන්තුව නියෝජනය කළා. හැබැයි මේ පාර එතුමා පනිනවා කියන මතය නිසා ජනතාව එතුමා ගෙදර යැව්වා.

 # ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ඔබේ කණ්ඩායම මොනවද කරන්නේ?

 අප පක්ෂය සමඟ සිටිනවා. ඒත් මට මේ දේ කියන්නම වෙනවා. මේක තමයි ජනතා මතය. මං පසුගිය දිනවල කළුතර, බදුරලිය, බේරුවල, පාණදුර, හොරණ යන ‍ප්‍රදේශවල ජනතාවට ස්තුති කිරීමේ රැස්වීම් 300කට පමණ ගියා. ඒ හැම රැස්වීමකදීම අපේ පාක්ෂිකයන් කියන්නේ ජනාධිපතිතුමාගේ ලිපි දෙක නිසා සහ අපේ පක්ෂ ලේකම්වරුන් අස් කිරීම නිසා තමයි එජනිසය මහ මැතිවරණය පරාජයට පත් වුණේ කියලා. මොකද: අපේ පාක්ෂිකයන් මහින්ද අගමැති වෙන්නේ නෑ කියන මතය නිසා ඡන්ද පොළට ගියේ නෑ. ඒ නිසා ජනතාව කේන්තියෙන් ඉන්නේ. ඒ නිසා ජනතාව දැන් එකාවන්ව කියන්නේ අපි ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී කාටවත් ඡන්දය දෙන්නේ නෑ කියලා. මේ සහතික ඇත්ත කථාව මට නොකියා ඉන්න බෑ. ඒකයි කිව්වේ.

# මහින්ද සහ මෛත්‍රී පළාත් පාලන මැතිවරණයේදී එකතු වේවිද?

 මං දන්නේ නෑ ඒකට ජනතාව කැමැති වේවිද කියලා. මොකද: ජනතාවගේ විශ්වාසය කඩ වෙලා තියෙන්නේ. බොරුවක් කරලා රැවටුවා කියන මතය ජනතාව තුළ තියෙන්නේ.

 (උපුටා ගැනීම සිළුමිණ)

වර්තමානයේ පවතින දේශපාලන  ඊනියාව  තුලින් රට යන මග පිළිබද නිසි තොරතුරු එසැනින් දැනගන්න පිවිසෙන්න
Facebook -www.facebook.com/sriavtvnetwork 
Twitter -www.tiwtter.com@sriavtvnetwork 
Youtube - www.youtube.com/sriavtvnetwork 
Blogspot -  www.sriavtvnetwork.blogspot.it  
Google+ - www.plus.google.com/sriavtvnetwork 

තව කෙනෙකුට බලන්න share කරන්න
page එකට Like එකක් දාන්න අමතක කරන්න එපා හරි.....
ℓιкє ✔ тαg & ✔ ѕнαяє.
තව කෙනෙකුට කියවන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network