ලාංකිය ඉතිහාසයේ දේශපාලකයන්  සිරගත කළ දුර්ලභ අවස්ථා


නීතියේ ආධිපත්‍යය සහ අපි

රටක නීතියක් ඇත. යුක්තිය හා සාධාරණය කියා දෙයක් ඇත. වැරැදි කළ විට රටක පවත්නා නීතියට අනුව ඔහුට හෝ ඇයට දඬුවම් ලැබිය යුතු ය. සියල්ලට ඉහළින් ඇත්තේ නීතිය යි. පාලකයා, පාලිතයා ඇතුළු රාජ්‍යය තුළ පවතින අවශේෂ සියල්ලට ම වඩා නීතිය හා අධිකරණය උත්තරීතර වේ. 'නීතිය ඉදිරියේ සියල්ල සමාන වේ' යනුවෙන් අපි දේශපාලන විද්‍යාවේ දී උගත්තෙමු. ඒ. වී. ඩයිසි ගේ නීතියේ ආධිපත්‍ය සංකල්පය තුළ ඒ බව තවත් පුළුල් ව පැහැදිලි කර ඇත. නමුත් ජර්මානු දාර්ශනික කාල් මාක්ස් සිය රචනාවල දී සඳහන් කර ඇත්තේ, වෙනස් ම සංකල්පයකි. නීතිය ඉදිරියේ සියලු දෙනා සමාන වේ යන්න නිෂ්ප්‍රමාණ මත‍යක් බව ඔහු අවධාරණය කරයි. නීතිය නමැති මකුළු දැලට හසු වන කුඩා සතුන් එහි ගොදුරක් බවට පත් වන බවත් සවිමත් සත්ත්වයන් පමණක් මකුළු දැල ඉරා ඉන් මිදෙන බවත් කාල් මාක්ස් සඳහන් කළේ ය.

මාක්ස් ගේ පැහැදිලි කිරීම ඉදුරා යථාර්ථයක් බව ශ්‍රී ලංකාව වැනි රාජ්‍යයන් තුළ නීතිය ක්‍රියාත්මක වන ආකාරයෙන් හඳුනාගත හැකි ය. ඒ පිළිබඳ පැහැදිලි කිරීමට පළමුව දියුණු යැයි සම්මත රාජ්‍යයන් තුළ නීතිය ක්‍රියාත්මක වූ ආකාරය ගැන සරල අදහසක් ඇති කර ගනිමු. මීට සති දෙකකට පමණ පෙර අමෙරිකානු හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරට අධිකරණයකින් නියෝගයක් ලබා දුන්නේ ය. අමෙරිකානු ලේඛිකාවක මෙන්ම මාධ්‍යවේදිනියක් වන ඊ.ජීන් කැරොල් හට අපහාස කිරීමේ චෝදනාවට අදාළ ව අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හට ඩොලර් මිලියන 83ක වන්දියක් ගෙවීමට එරට අධිකරණය නියෝග කළේ ය. නිව්යෝර්ක් ජූරි සභාවක් විසින් අදාළ නියෝගය ලබා දී ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කර තිබිණි. ට්‍රම්ප් ජනාධිපති ධුරයේ කටයුතු කළ 2019 වසරේ දී ජීන් කැරොල්ට එරෙහි ව මෙම අපහසාත්මක ප්‍රකාශය සිදු කර තිබූ බව සඳහන් ය.

ට්‍රම්ප් යනු, අමෙරිකාවේ සිටි බලවත්ම සහ විශාල ධනස්කන්ධයක් හිමි ප්‍රභූවරයෙකි. ඔහුට දඩ නියම වන්නේ, ලේඛිකාවකට අපහාස කිරීමේ චෝදනාවක් අධිකරණයේ දී ඔප්පු වීම හේතුවෙනි. කොටින්ම කියනවා නම්, පොත් ලියන කාන්තාවකට අපහාස කිරීම නිසා ට්‍රම්ප්ට ඩොලර් මිලියන 83ක වන්දියක් ගෙවීමට සිදු විය. අමෙරිකානු නීතිය ඉදිරියේ ඩොනල්ඩ් ට්‍රම්ප්ටත් ඊ.ජීන් කැරොල්ටත් ඇත්තේ සමාන අවස්ථාවකි. සමාන පුද්ගලයන් සහ සමාන ඉඩ ප්‍රස්ථා යන ප්‍රජාතන්ත්‍රවාදයේ මූලිකාංගය ආරක්ෂා කිරීමට අමෙරිකාව සමත් වී ඇත. ලෝක බලවතා වශයෙන් ජාත්‍යන්තර දේශපාලනය තුළ අමෙරිකාවේ ක්‍රියාවලිය පිළිබඳ අපට ඕනෑ තරම් විවේචන ඇති කළ හැක. විශේෂයෙන් තත් මොහොතේ පවතින ඊශ්‍රායල - පලස්තීන සහ රුසියා - යුක්රේන ගැටුම තුළින් උක්ත කාරණය මොනවට සාධනය කර ගත හැකි ය. ඒ කෙසේ වෙතත් රාජ්‍ය අභ්‍යන්තරය තුළ පුරවැසි අයිතිවාසිකම් දිවමතුරක් සේ ගෙන ආරක්ෂා කිරීමට අමෙරිකාව වග වී ඇත. 

2023 වර්ෂයේ ජූලි මස 24 වැනි දා බීමත්ව රිය පැදවූ බවට චෝදනා එල්ල වූ නවසීලන්ත අධිකරණ ඇමතිවරිය ඉල්ලා අස් විය. නවසීලන්ත අධිකරණ අමාත්‍ය 39 හැවිරිදි කිරි ඇලන්, ‍රිය අනතුරෙන් පසු බීමත් බව පරීක්ෂා කරන ආශ්වාස ප්‍රාශ්වාස පරීක්ෂණය හරහා බීමතින් සිට ඇති බව තහවුරු විය. ඉනික්බිති පරීක්ෂණ නිමා වීමටත් පළමුව ඇය සිය ධුරයෙන් ඉල්ලා අස් විය. 

නවසීලන්ත හිටපු අගමැතිනි ජසින්ඩා ආර්ඩන් ව ද අපට සිහිපත් කළ හැකි ය. ඇයට කිසිදු චෝදනාවක් නොමැති නමුත් ඇය සිය ධුරයට සමු දුන් ආකාරය ලෝකයේ ම අවධානයට පාත්‍ර විය. දෙවැනි වරට ද අග්‍රාමාත්‍ය ධුරයට තරග වැදීමට අවස්ථාව තිබිය දී එක් වරක් පමණක් ධුරය දරා සමු ගැනීමට ඇය තීරණය කළා ය. කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ, නවසීලන්තය තුළ කොවිඩ් පාලනය සඳහා ජසින්ඩා ආර්ඩන් අතිසාර්ථක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළා ය. ඉන් ලද ප්‍රබල මහජන ප්‍රසාදය මෙන්ම සාර්ථක රාජ්‍ය පාලනයක් සිදු කිරීම හේතුවෙන් ඇයට දෙවැනි වර අග්‍රාමාත්‍ය ධුරයට පැමිණීම ඉතා පහසු කාරණයක් වන්නට තිබිණි. නමුත් ඒ සියල්ලට ම වඩා සිය පෞද්ගලික නිදහස වැදගත් කොට සැලකූ ඈ, සිය දරුවා සමඟ ජීවත් වීමට අවැසි බව කියමින් නවසීලන්තය නමැති විශිෂ්ට රාජ්‍යයේ විධායකය මොහොතකින් අත් හැර දැමීමට තීරණය කළා ය. අත්හැරීම නමැති සංකල්පය වචනාර්ථයෙන් භාවිත වුව ද ශ්‍රී ලංකාවට වඩා එහි ප්‍රායෝගික භාවිතාවන් ඇත්තේ, මෙවැනි රටවල නො වේ ද?

ඉහත උපුටා ඇත්තේ, ජාත්‍යන්තර දේශපාලනයට ඉතා සුලබ නමුත් අපට ඉතා දුලබ වූ සිදුවීම් ත්‍රිත්වයකි. එවැනි ඉල්ලා අස් වීම් හෝ පාලකයන්ට සෘජු ව නීතිය ක්‍රියාත්මක වීම් අප අත් දැක ඇත්තේ, අතළොස්සකටත් වඩා අඩු ප්‍රමාණයකි. ඉහත සඳහන් කළ සිදුවීම් කියවන විට ඒවා අප රට තුළ ක්‍රියාත්මක වීමක් ගැන සිතීම ම මුවට සිනහවක් නැඟෙන කාරණයක් වනු නොඅනුමාන ය. 
එසේ නීතිය ක්‍රියාත්මක වූ අවස්ථා කිහිපයක් පිළිබඳ සාකච්ඡා කළ හැකි නමුත් ඒවා ගෙන් අතිමහත් බහුතරයක් ම විකල්ප හෝ විපක්ෂ දේශපාලඥයන්ට ක්‍රියාත්මක වූ ඒවා ය. 

මිනිස්සු මැරෙන නිසා නේ ඉස්පිරිතාල ඉස්සරහ මල්ශාලා තියෙන්නේ
-සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පාර්ලිමේන්තුවේ දී-

ළඟ පාත කාලයේ දේශපාලකයාට නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ කතාබහක් කරළියට එන්නේ, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීමත් සමඟිනි. ශ්‍රී ලංකාව තුළ බරපතළ කැලඹීමක් ඇති කළ 'හියුමන් ඉමියුනෝග්ලොබියුලින්' ඖෂධ වංචාව පිළිබඳ සිදුවීම හරහා, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ගැන සුවිශේෂ සංවාදයක් සමාජය තුළ ඇති විය. අදාළ සිදුවීම පිළිබඳ දිගින් දිගට ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් විමර්ශන සිදු කළ අතර, සැකකරුවන් ලෙස රාජ්‍ය නිලධාරිහු කිහිප දෙනෙක් අත්අඩංගුවට පත් වූහ. නමුත් සමාජ ක්‍රියාකාරිකයන්, සිවිල් සංවිධාන සහ වෛද්‍ය සංගම් දිගින් දිගට ම චෝදනා කළේ, ඖෂධ වංචාවට අදාළ මහමොළකරු තවමත් නිදැල්ලේ සිටිනා බව යි. ඒ වෙන කිසිවකු නොව, වංචාව සිදු වන අවස්ථාවේ සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කෙහෙළිය රඹුක්වැල්ල බව මෙම සංවිධාන සඳහන් කළේ ය. 

කෙහෙළියට එරෙහි විරෝධය දිගින් දිගට ම සමාජය උණුසුම් කරද්දී සමඟි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය විසින් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහි ව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය. අප පෙර සඳහන් කළ නවසීලන්තයේ මෙන් කෙහෙළිය රඹුක්වැල්ල චෝදනා විමර්ශනය අවසාන වන තුරු සිය ධුරයෙන් ඉවත් වූයේ නැත. ඒ තබා ශ්‍රී ලංකාවේ උත්තරීතර ව්‍යස්වථාදායකය වත් කෙහෙළිය ගේ සෞඛ්‍ය පට්ටම ගැලවීමට තීරණය කළේ නැත. ඒ වෙනුවට විපක්ෂය ගෙන ආ විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමට ආණ්ඩු පාර්ශ්වය කටයුතු කළේ ය. මහජන මතය කෙහෙළියට එරෙහි ව පවතිද්දි නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ මුදුන් මල්කඩ බදු පාර්ලිමේන්තුව කෙහෙළිය ව ආරක්ෂා කළේ ය. එය හාස්‍යමය දේශපාලන විසංවාදයකි. විවිධ සංකූලතා හේතුවෙන් රෝහල්වල රෝගිහු මිය ගිය හ. ඊට හේතුව බාල ඖෂධ බවට බොහෝ පාර්ශ්ව චෝදනා කළේ ය. එය සත්‍ය වේ වා අසත්‍ය වේ වා සිය කනගාටුව ප්‍රකාශ කරනු වෙනුවට කෙහෙළිය රඹුක්වැල්ල සිදු කළේ, රෝගින් ගේ මරණ, සරල සහ ග්‍රාම්‍ය වාක්‍ය ඛණ්ඩයකට ලඝු කිරීමකි. ''මිනිස්සු මැරෙනවා තමයි. ඒ නිසා නේ ඉස්පිරිතාල ඉස්සරහ මල්ශාලා තියෙන්නේ'' යනුවෙන් පාර්ලිමේන්තුවේ දී උස් හඬින් කතා කළ කෙහෙළිය රඹුක්වැල්ල ව ලාංකේය පුරවැසියාට අමතක කළ නො හැක. කෙසේ වෙතත් බාල ඖෂධ සිද්ධිය සමාජය දිනෙන් දින උණුසුම් කිරීමත් සමඟ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් සෞඛ්‍ය අමාත්‍ය ධුරය කෙහෙළිය ගෙන් ඉවත් කර අමාත්‍ය රමේෂ් පතිරණට ලබා දෙන ලදි. ඉන් පසු, සෞඛ්‍යයේ යහපැවැත්ම සාධනය කිරීමේ වගකීම වෙනුවට පරිසරය ආරක්ෂා කිරීමේ වගකීම කෙහෙළියට හිමි විය.

කෙසේ නමුත් ඉකුත් පෙබරවාරි 02 වැනි දා කෙහෙළිය රඹුක්වැල්ල CID අත්අඩංගුවට ගැනුණු අතර, අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරු ව රක්ෂිත බන්ධනාගාරගත කරන ලදි. පසු ව ඔහු සිය පරිසර අමාත්‍ය ධුරයෙන් ද ඉවත් විය. ව්‍යවස්ථාදායකය නියෝජනය කළ ආණ්ඩුවේ අමාත්‍යවරයකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමක් ගැන අපට මෙසේ අසන්නට ලැබුණේ දිගු කාලයකට පසු ව වීම විශේෂත්වයකි.

සිරගත කළ දේශපාලඥයන් ගේ ඉතිහාසය

අප්‍රේල් කැරැල්ල සහ රෝහණ විජේවීර

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ සහ එහි ආරම්භක නායක පටබැඳි දොන් නන්දසිරි රෝහණ විජේවීර පළමු වරට සිරගත වන්නේ, 1970 දී ය. ඒ, 71 කැරැල්ල ඇති වීමට පෙර සමයේ දී රජයට විරුද්ධ ව කැරලි ගැසීමේ චෝදනාව යටතේ ය. අත්අඩංගුවට ගැනුණු රෝහණ විජේවීර යාපනය බන්ධනාගාරයේ රඳවා තැබිණි. රෝහණ විජේවීර ව මුදා ගැනීම සඳහා යාපනය බන්ධනාගාරයට ප්‍රහාරයක් එල්ල කිරීම ද 71 කැරැල්ලේ එක් සැලසුමක් බවට පත් ව තිබිණි. රැජින ගේ ආණ්ඩුව සහ එවකට අග්‍රාමාත්‍ය සිරිමා බණ්ඩාරනායක ගේ පාලන තන්ත්‍රය පෙරළා දැමීම ද කැරැල්ලේ තවත් එක් අරමුණක් විය. කෙසේ වෙතත් ජනතා විමුක්ති පෙරමුණ දියත් කළ මෙම සන්නද්ධ අරගලය අසාර්ථක එකක් බවට පත් විය. කැරැල්ලෙන් පසු සැකකරුවන්ට 'රැජින ගේ ආණ්ඩුවට හා අග්‍රාමාත්‍යවරියට එරෙහි ව කැරලි ගැසීම' යන චෝදනා එල්ල විය. චෝදනා විමර්ශනය සඳහා ' අපරාධ යුක්ති කොමිෂන් සභාව' නමින් කොමිෂන් සභාවක් ද පිහිටවූ අතර, 71 අප්‍රේල් කැරැල්ලේ මහනඩුවට ප්‍රධාන සැකකරුවන් 16 දෙනෙකු ඇතුළත් විය. රෝහණ විජේවීරට අමතර ව ලොකු අතුල හෙවත් අතුල නිමලසිරි ජයසිංහ, පොඩි අතුල හෙවත් වික්ටර් අයිවන්, ජවිපේ උපනායක උපතිස්ස ගමනායක මහනඩුවේ ප්‍රධාන සැකකරුවෝ වූහ. නඩු විභාගය අවසානයේ රෝහණ විජේවීර ඇතුළු පිරිසට සිර දඬුවම් නියම විය. කෙසේ වෙතත් 1977 ඔක්තෝබර් 27 වැනි දා අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභා පනත අවලංගු කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ දි සම්මත වුණු අතර, විජේවීර ඇතුළු අප්‍රේල් කැරැල්ලේ සිරකරුවෝ නිදහස ලැබූ හ. 88-89 කැරැල්ලෙන් පසු රෝහණ විජේවීරට සිරගත වීමට හෝ නිදහස් වීමට අවස්ථාවක් නො ලැබුණු අතර, ඔහු 1989 නොවැම්බර් 13 වැනි දා බොරැල්ල කනත්තේ දී ඝාතනයට ලක් විය.

විජය කුමාරතුංග සහ නැක්සලයිට් චෝදනාව

ලාංකේය දේශපාලනයේ පෙරළියක් ඇති කළ තවත් එක් ප්‍රධානතම දේශපාලන චරිතයක් ලෙස විජය කුමාරතුංග හඳුනා ගැනීම අවිවාදිත ය. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ගේ ස්වාමි පුරුෂයා වූ විජය කුමාරතුංග, සිංහල සිනමාවේ ස්වර්ණමය යුගය හැඩ කළ සිනමාවේ සිහින කුමාරයා ලෙස අදට ද හඳුනා ගැනේ. 1945 ඔක්තෝබර් 08 වැනි දා රාගම දී උපත ලැබූ විජය කුමාරතුංග, 1988 පෙබරවාරි 16 වැනි දා ඝාතනයට ලක් විය. ඔහු ගේ ඝාතනය පිළිබඳ පාර්ශ්ව කිහිපයකට චෝදනා එල්ල විය.

විජය කුමාරතුංග සමසමාජ පක්ෂයෙන් තම දේශපාලන දිවිය ආරම්භ කළේ ය. 1977 මහ මැතිවරණයේ දී කටාන ආසනයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග වැදී මනාප 19,738ක් ලබා ගත්තේ ය. ඔහු ක්‍රියාකාරී ලෙස 1982 දී හෙක්ටර් කොබ්බෑකඩුව දිනවීම සඳහා සටන් වැදිණි. 

කෙසේ වෙතත් මැතිවරණයයෙන් පසු විජය කුමාරතුංගට නැක්සලයිට් චෝදනා එල්ල විය. නැක්සලයිට්වරුන් යනු, ඉන්දියාවේ සිටි විමුක්ති සටන්කාමින් පිරිසකි. චීනයේ මාඕ සේතුන් ගේ යුදවාදී සංකල්පය සිය දාර්ශනික සහ දේශපාලන හරය කර ගත් නැක්සලයිට්වරු, කොමියුනිස්ට්වාදී පදනමකින් රාජ්‍යයට එරෙහි ව ජනතාව සංවිධානය කළ පිරිසක් වූ හ. 1964 දී ඉන්දියාව තුළ ආරම්භ වූ නැක්සලයිට් ව්‍යාපාරය ඉතා ශීඝ්‍රයෙන් ලෝකයේ ම අවධානය දිනා ගත් ව්‍යාපාරයක් බවට පත් විය. 

1982 ජනාධිපතිවරණයෙන් හෙක්ටර් කොබ්බෑකඩුව පරදා ජූනියස් රිචඩ් ජයවර්ධන ශ්‍රී ලංකාවේ පළමු විධායක ජනාධිපතිවරයා බවට පත් විය. එම ජනාධිපති සටනේ දී විජය කුමාරතුංග ගේ පූර්ණ සහයෝගය හිමි වූයේ, හෙක්ටර් කොබ්බෑකඩුවට ය. කෙසේ වෙතත් විජය කුමාරතුංගට රාජ්‍යය පෙරළීමට කුමන්ත්‍රණය කළ බවට නැක්සලයිට් චෝදනා එල්ල විය. මෙය 80 දශකය කැලඹූ ප්‍රබල සිද්ධියකි. මෙම චෝදනාව මත 1982 නොවැම්බර් 19 වැනි දා විජය කුමාරතුංග හිර ගෙදරට නියම විය. එතැන් සිට 1983 ජනවාරි 18 වැනි දා දක්වා ඔහු බන්ධනාගාරගත විය. බන්ධනාගාරයේ දී විජය කුමාරතුංග සිටි කුටියේ අධික ආලෝකයක් සහිත විදුලි බුබුලක් දල්වා තිබූ බවටත් එහි ආලෝකයේ සැර හේතුවෙන් විජය කුමාරතුංගට නිදා ගැනීමට පවා නො හැකි වූ බවටත් ජනප්‍රිය කතාවක් සමාජයේ පවතියි.

අධිකරණයට අපහාස කළ එස්.බී

අධිකරණයට අපහාස කිරීම පිළිබඳ සාකච්ඡා විටින් විට සමාජය තුළින් මතු වේ. අවසන් වතාවට එවැන්නක් පිළිබඳ අපට අසන්නට ලැබුණේ, හදිසි අනතුරකින් මිය ගිය සනත් නිශාන්ත අමාත්‍යවරයා ගෙනි. ඔහු අධිකරණයට අපහාස කළ බවට කණ්ඩායම් කිහිපයක් ම චෝදනා එල්ල කළ නමුත් එම චෝදනා පිළිබඳ අධිකරණ කටයුතු නිමා වීමට පෙර ඔහු ජීවිතක්ෂයට පත් විය. කෙසේ වෙතත් අධිකරණයට අපහාස කිරීම යන චෝදනාව යටතේ අප ගේ මතකයට නැඟෙන ප්‍රධානතම සිද්ධියක් වන්නේ, 2003 වර්ෂයේ දී එවකට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ එස්.බී.දිසානායක අධිකරණයට අපහාස කළ සිදුවීම යි. 

2003 වසරේ හබරාදූවේ පැවැති වප්මඟුල් උලෙළක දී මාධ්‍යය ඉදිරියේ දී කළ ප්‍රකාශයක් මුල්කර ගනිමින් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට ඔහු ලක් විය. එකල ඔහු කෘෂිකර්ම අමාත්‍යවරයා විය. 2003 වසරේ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය චෝදනා විභාග කර එස්.බී. දිසානායකට සිර දඬුවම් නියම කළේ ය. ඒ 2004 වසරේ දෙසැම්බර් 12 වැනි දා ය. අධිකරණ තීන්දුව ප්‍රකාර ව ඔහුට වසර දෙකක සිර දඬුවමක් නියම විය.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරැදිකරු කෙරුණු හිටපු අමාත්‍ය එස්.බී දිසානායකට බරපතළ වැඩ ඇති ව දෙවසරක සිර දඬුවමක් නියම කෙරිණි. ඒ, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ගේ ආණ්ඩුව සමයේ ය. ඉක්බිති 2005 වසරේ දී පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා වූ අතර, ඔහු සිය විධායක බලතල භාවිත කර එස්.බී. දිසානායකට නිදහස ලබා දුන්නේ ය. පසු ව එස්.බී.දිසානායක මහින්ද රාජපක්ෂ සමඟ දේශපාලන දීගයක් ඇරඹීය.

සරත් ෆොන්සේකා සිරගත කිරීම

2009 දී උතුරේ බෙදුම්වාදී අරගලයට යුදමය අවසානයක් උදා විය. ශ්‍රී ලංකා දේශයේ මහා අධිරාජ්‍යයා ලෙස හිටපු ජනපති මහින්ද රාජපක්ෂ විරාජමාන වූයේ, මෙම සමයේ ය. ඔහු ගේ නමින් 'ආයුබෝ වේ වා මහරජාණනි' යනුවෙන් ගීත පවා ගැයුණේ මෙම වකවානුවේ දී ය. ඉන් පසු 2010 ජනාධිපතිවරණය කැඳවිණි. ජනපති සටන තුළ කොන්දේසි විරහිත ව නැඟී ආ මහා පෞරුෂය වූයේ මහින්ද රාජපක්ෂ ය. මහින්ද ගේ පසමිතුරා වූ වත්මන් ජනපති, එවකට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහට එම මොහොතේ තිබුණේ, අඩි 06ක් පොළොව යට වළ දැමූ මහජන මතයකි. ''යුද්ධ කරන්න ඕන ගොනෙකුට පුළුවන්' යැයි පැවසූ ලක්ෂ්මන් කිරිඇල්ලලා, ''අලිමංකඩ යනවා කියලා පාමංකඩ යනවා, කිලිනොච්චි යනවා කියලා මැදවච්චි යනවා'' යැයි පැවසූ රවීලා මැද රනිල් ගේ මහජන මතය තිබුණේ, වැලේ වැල් නැති ව ය. මහින්ද රාජපක්ෂ ව ජනපති සටනින් පැරදවීම නමැත්ත කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බැලීමටත් වඩා දුර්ලභ වූ එකක් බව රනිල්ට වැටහිණි. මළ දරුවා ළයේ හොවාගෙන උමතුවෙන් පාරක් පාරක් ගාණේ ඇවිද ගිය කිසාගෝතමිය මෙන් පණ අදින එක්සත් ජාතික පක්ෂය නමැති දරුවා රැගෙන ජනපති සටන තුළ හසරක් නොමැති ව නන්නත්තාර වීමට රනිල්ට සිදු විය.

සියල්ල ඇරඹුණේ ඉන් පසු ය. විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස රනිල් ප්‍රමුඛ පාර්ශ්වය, යුද ජයග්‍රහණයේ කේන්ද්‍රීය නියමුවකු වූ ජෙනරාල් සරත් ෆොන්සේකා ව ජනපති සටනට කැන්දාගෙන පැමිණිය හ. තත් මොහොත තුළ මහින්දට එරෙහි ව පොර පිටියට දැමීම සඳහා සරත් ෆොන්සේකා හැර වෙනත් කිසිවකු සොයා ගැනීමට රනිල්ට නො හැකි වූවා සේම ඒ සඳහා වෙනත් සුදුසු කිසිවකු ද ලාංකේය දේශපාලනයේ එම මොහොත තුළ නොසිටියේ ය. 2010 ජනාධිපතිවරණය පැවැත්විණි. ඉන් මහින්ද රාජපක්ෂ වැඩි ඡන්ද ලක්ෂ 18කින් සරත් ෆොන්සේකා පරාජය කර දෙවැනි වරට ද ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා බවට පත් විය. 

සරත් ෆොන්සේකාට කල්දේරම් බත්

ජනපති සටන නිමා වී සතියක් යන්නටත් පෙර ජෙනරාල් සරත් ෆොන්සේකා ව අත්අඩංගුවට ගැනිණි. ඔහුට චෝදනා කිහිපයක් එල්ල විය. ඒ 2010 වර්ෂයේ දී ය. චෝදනා විභාග කළ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල විසින් අධිචෝදනා යටතේ සරත් ෆොන්සේකාට වසර 03ක සිර දඬුවමක් නියම කෙරිණි.

කෙසේ වෙතත් ජනපති සටනින් පසු ජෙනරාල් සරත් ෆොන්සේකා, නව දේශපාලන පක්ෂයක් ආරම්භ කරමින් මහමැතිවරණය සඳහා තරග කළේ ය. ඉන් ඔහු පාර්ලිමේන්තුවට ද තේරී පත් වූ නමුත් සිරදඬුවම් හේතුවෙන් පාර්ලිමේන්තුවට පැමිණීමේ අවස්ථාව අහිමි විය. ඉන් පසු 2015 රනිල් - මෛත්‍රී යහපාලන ආණ්ඩුව බිහි වුණේ, මහින්ද රාජපක්ෂට මැදමුල වලවුවේ ජනේලයේ එල්ලීමට කටයුතු සලස්වමිනි. ඉන් පසු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, ජෙනරාල් සරත් ෆොන්සේකා සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කර ඔහු ගේ පදක්කම් ද නැවත පිරිනැමීමට කටයුතු කළේ ය. එසේම ලාංකේය ඉතිහාසයේ පළමු වරට ෆීල්ඩ් මාෂල් ධුරය ද ඔහුට ලබා දුන්නේ ය.

කුමාර් ගුණරත්නම් ගේ දිවිත්ව පුරවැසිභාවය

1988-89 වකවානුවේ ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන ගිය සන්නද්ධ අරගලය අසාර්ථක විය. එසේම ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවේ සහ රාජ්‍ය හමුදාවල බරපතළ මර්දනයකට ලක් විය. එම මර්දනය හමුවේ ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර, උපනායක උපතිස්ස ගමනායක, සන්නද්ධ අංශයේ නායක කීර්ති විජයභාහු ඇතුළු ජවිපේ ප්‍රබලයන් සියල්ල ම පාහේ ඝාතනයට ලක් විය. ප්‍රබලයන් ලෙස ඉතිරි වූයේ කිහිප දෙනකු පමණි. ඒ අතර ජවිපේ හිටපු නායක සෝමවංශ අමරසිංහ, ලයනල් බෝපගේ, ටිල්වින් සිල්වා, නන්දන ගුණතිලක වැනි අය වූහ. සන්නද්ධ අරගල‍යෙන් පසු සෝමවංශ අමරසිංහ එංගලන්තයට පැන ගිය බවත් ඉතිරි නායකයන් තැන් තැන්වල නිශ්ක්‍රීය ව ක්‍රියාතමක වූ බවත් ජවිපේ ඉතිහාසය කියවන විට අපට හමු වේ. 

ජවිපේ නැවත බිහි වීම පිළිබඳ සාකච්ඡා කිරීමේ දී මතු වන ප්‍රධාන චරිතයක් ලෙස කුමාර් ගුණරත්නම් හඳුනාගත හැකි ය. වත්මන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මහලේකම්වරයා වන්නේ ද කුමාර් ගුණරත්නම් ය. 88-89 සමයේ ජනතා විමුක්ති පෙරමුණු මධ්‍යම කාරක සභාවට අමතර ව ඊට පහළින් පැවති නිලධාරී ධුරාවලියක් පැවතුණු බව සඳහන් ය. එම අප්‍රකට සහ සැඟවුණු දේශපාලනයේ ප්‍රබල ක්‍රියාකාරිකයකු ලෙස කුමාර් ගුණරත්නම් හඳුනාගත හැකි බව ජවිපේ ඉතිහාසය ගැන කියන්නන් නිතර සඳහන් කරන කාරණයකි. නොයෙල් මුදලිගේ, කුමාර් මහත්තයා යන අන්වර්ථ නාමවලින් ද ඔහු පෙනී සිට තිබේ. කෙසේ වෙතත් කුමාර් ගුණරත්නම් පිළිබඳ වත්මන් ජනතා විමුක්ති පෙරමුණ තුළ ඇත්තේ, පරස්පර අදහසකි. වරක් මාධ්‍යවේදියකු ඇසූ පැනයකට පිළිතුරු ලබා දෙමින් ජවිපේ වත්මන් නායක අනුර කුමාර දිසානායක පැවසුවේ, කුමාර් ගුණරත්නම් නමැති පුද්ගලයකු කිසි දා ජනතා විමුක්ති පෙරමුණේ නො සිටි බව යි. කෙසේ වෙතත් අනුර කුමාර දිසානායක ඉංග්‍රීසි උගත්තේ, කුමාර් ගුණරත්නම් ගේ මව ගෙන් බව ජවිපේ දේශපාලන ඉතිහාසය දන්නා ඕනෑම අයකු පවසන කාරණයකි.

2015 වර්ෂයේ දී කුමාර් ගුණරත්නම් ශ්‍රී ලංකාවට පැමිණියේ ය. එතෙක් ඔහු සිටියේ ඔස්ට්‍රේලියාවේ ය. තමා ගේ හුරු පුරුදු දේශපාලනය කිරීමට සහ තමා ගේ දේශපාලනයේ අක්මුල් සොයා නැවත ලංකාවට පැමිණි බව ඔහු වරක මාධ්‍ය සාකච්ඡාවක දී සඳහන් කළේ ය. 2015 දී ජනතා විමුක්ති පෙරමුණේ සිටි පිරිසක් පක්ෂයෙන් ඉවත් වී පෙරටුගාමී සමාජවාදී පක්ෂය නමින් පක්ෂයක් බිහි කර ගත් අතර, එහි මහලේකම්වරයා වූයේ කුමාර ගුණරත්නම් ය. කෙසේ වෙතත් ආගමන විගමන නීති උල්ලංඝනය කිරීමේ චෝදනා යටතේ කුමාර් ගුණරත්නම්ට නඩු පැවරිණි. ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය තිබිය දී වීසා නොමැති ව මෙරට දේශපාලනය කිරීම වැනි කාරණා ඔහුට විරුද්ධ ව පැවති චෝදනා වේ. ඒ අනුව ඔහු 2016 වර්ෂයේ දී ඔහු බන්ධනාගාරගත වන අතර, 2016 දෙසැම්බර් 02 වැනි දා නිදහස ලැබුවේ ය. කෙසේ වෙතත් ඉන් පසු නීත්‍යනුකූල ව ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ඉවත් කර ගත් කුමාර් ගුණරත්නම් මේ වන විට ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ දේශපාලනය තුළ නිරත ව සිටියි.

රන්ජන් රාමනායක ගේ අධිකරණ අපහාසය

2020 මහමැතිවරණයේ දී සමගි ජන බලවේගයෙන් දිවුලපිටියට තරග කළ රන්ජන් රාමනායක ඉන් ජයග්‍රහණය කොට පාර්ලිමේන්තුවට තේරී පත් විය. කෙසේ වෙතත් ඔහුට වැඩි කලක් සිය මන්ත්‍රී අසුන තුළ කටයුතු කිරීමට නොහැකි විය. විටින් විට ආන්දෝලනාත්මක ප්‍රකාශයන් නිකුත් කළ රන්ජන් රාමනායක, දේශපාලනය තුළ එක්තරා 'වීර' චරිතයක් ද නිරූපණය කළේ ය. ''උනුත් එකයි මුනුත් එකයි ඔක්කොම හොරු මල්ලි'' වැනි ප්‍රකාශ හරහා රන්ජන් රාමනායක කෙරෙහි යම් ජනාදරයක් නිර්මාණය වය. 

කෙසේ වෙතත් රන්ජන්ට මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශ දිගින් දිගටම සිදු කළ නොහැකි විය. මාධ්‍යය ඉදිරියේ අධිකරණය විනිසුරුවන් ගේ තීරණ පිළිබඳ විවේචනාත්මක අදහස් පළ කිරීමේ චෝදනාව යටතේ රන්ජන් රාමනායකට නඩු පැවරිණි. ඒ අනුව 2020 වර්ෂයේ දී රන්ජන් රාමනායක සිරගත වුණු අතර, ඉන් පසු ඔහු බන්ධනාගාරගත කෙරිණි. පසු ව 2022 වර්ෂයේ දී ජනාධිපති සමාව ලැබීමෙන් පසු ඔහු නිදහස ලැබීය.

ඉහත දක්වා ඇති සිදුවීම්වලින් අතිමහත් බහුතරය පිළිබඳ විමසීමේ දී පැහැදිලි වන මහාපොදු සාධකය වන්නේ, මෙම නීතිය ක්‍රියාත්මක වීම් සියල්ල ම පාහේ විපක්ෂ සහ විකල්ප දේශපාලඥයන්ට එදිරි ව ක්‍රියාත්මක වූ ඒවා බව ය. එස්.බී දිසානායක පමණක් ආණ්ඩු පාර්ශ්වය නියෝජනය කරමින් සිට සිරගත වුව ද ඔහුට එල්ල වූ චෝදනාව බරපතළ එකකි. ඒ, අමු අමුවේ අධිකරණයට ප්‍රසිද්ධියේ අපහාස කිරීම ය. ඒ හැර සෙසු සියලු සිදුවීම් විපක්ෂ දේශපාලඥයන්ට එරෙහි ව නීතිය ක්‍රියාතත්මක වීම් ය. නමුත් බොහෝ කලකට පසු ව එම ක්‍රමය වෙනස් වී මේ මොහොතේ කෙහෙළිය රඹුක්වැල්ල බන්ධනාගාරගත වී ඇත. එය ආණ්ඩුවේ සංදර්ශනයක් විය හැකි බවට ද විවිධ පිරිස් මත පළ කරති. එම මතය ද බැහැර කළ නො හැක්කේ, අප ඉතිහාසය හොඳින් දන්නා බැවිනි. එමෙන්ම මෙම අවස්ථාවේ දී නම් කෙහෙළිය බෙල්ල මුලින්ම සිර වී ඇති බවත් ඔහුට ගැලවීමේ හැකියාවක් නැති බවත් තවත් පාර්ශ්ව පළ කරන අදහසකි.

ඉදින් මේ ආදී සිදුවීම්වලින් හා ඉතිහාසය පිළිබඳ විමර්ශනයෙන් අපට අනාගතය පිළිබඳ පුරෝකථනයන් සිදු කළ හැකි ය. ඒ අනුසාරයෙන් ශ්‍රී ලංකාව නමැති රාජ්‍යය විශිෂ්ට රාජ්‍යයක් ලෙස ඔසවා තැබීමට අපට හැකියාව ලැබෙනු ඇත. තරාතිරම, පක්ෂ, පාට නො බලා නීතිය සැමට එක සේ ක්‍රියාත්මක වන රාජ්‍යයක් බවට ශ්‍රී ලංකාව ද පත් වේ වා යි අපි බලාපොරොත්තු දල්වා සිටිමු.

ඇඩ්මින් - Amila ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

සමාජමාධ්‍යයේ අනුර පුම්බන්න ජවිපෙ කෝටි පහක් වියදම් කරලා – සාක්ෂිත් සමගම කැම්පේන් විස්තර එළියට

 


ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රතිරූපය උදෙසා ප්‍රවර්ධන ආයතනයක් විසින් ජනතා විමුක්ති පෙරමුණෙන් මුදල් ලබා සිදුකරන ප්‍රචාරණ ව්‍යාපෘතියක අයවැය ලේඛනයක් සමාජජාලා මාධ්‍යයට නිකුත් වී තිබේ.

‘අලුත් මාවතකට හැරෙමු’ නමින් නම් කර ඇති මෙම ප්‍රචාරණ ව්‍යාපෘතිය දිවයිනේ ප්‍රකට එමෙන්ම, ජනතා විමුක්ති පෙරමුණ සමග සමීපව කටයුතු කරනා “Ogilvy Digital” ප්‍රචාරණ ඒජන්සිය විසින් මෙහෙයවයි.

එහිදි එම ආයතනය විසින් ලබා දුන් යෝජනාවේ සම්පූර්ණ වටිනාකම රුපියල් මිලියන පනහකි (කෝටි පහකි). එහිදි ජනතා විමුක්ති පෙරමුණ විසින් ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පෙරම 50%ක අත්තිවාරම් මුදලක් එනම් කෝටි දෙක හමාරක මුදලක් මෙම ප්‍රචාරණ ඒජන්සිය වෙත ගෙවා තිබේ.

මෙහිදි මෙම ව්‍යාපෘතිය විසින් ප්‍රසිද්ධ මාධ්‍ය වල වැඩසටහන් අනුර කුමාර දිසානායකට වෙන් කිරීමටත් “Ogilvy Digital” ප්‍රචාරණ ඒජන්සිය එකඟ වී තිබේ. සාමාන්‍යයෙන් මෙම වැඩසටහන් වල ආරාධිතයන් තීරණය කරන්නෙ එහි නිෂ්පාදකවරයා අතර, ඔහුට හෝ ආයතනයේ මාකටිං අංශයට සෘජුවම මුදල් ගෙවා මෙම වැඩසටහන් ලබා ගැනීමේ හැකියාව පවති.

තවද ‘Talk With Chamuditha’ , ”Suda Creation” වැනි ජනප්‍රිය යූටියුබ් නාළිකාද මෙම කැම්පේන් ව්‍යාපෘතිය සඳහා යොදාගැනීමට ප්‍රචාරණ ඒජන්සිය යෝජනා කර තිබේ. එම යූටියුබ් නාළිකා වල වැඩසටහන් ඕනෑම පුරවැසියෙකුට මුදල් ගෙවා මිලට ගැනීමේ හැකියාව පවති.

තවද ජනප්‍රිය ෆේස්බුක් පිටු, වෙබ් අඩවි මෙන්ම ෆේස්බුක් ගිණුම්ද අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රතිරූපය නංවන මෙම ප්‍රචාරණ වැඩපිළිවෙලට යොදා ගැනීමට “Ogilvy Digital” ආයතනය යෝජනා කර තිබේ.

මෙහි විශේෂත්වය වන්නේ “Tik Tok” සමාජජාලා මාධ්‍යයේද මෙම ප්‍රචාරණ ව්‍යාපෘතිය සිදු කිරීමයි. මින්පෙර කිසිඳු දේශපාලන පක්ෂයක් ‘Tik Tok’ මාධ්‍යය දේශපාලන ප්‍රචාරණ ව්‍යාපෘතීන්ට භාවිතා කළේ නැත. එය ඉතා නිර්මාණශීලි උපක්‍රමයක් වන්නේ මීළග මැතිවරණයක මුල්ම ඡන්දය හිමි තරුණ පිරිස අතර “Tik Tok” සමාජජාලා මාධ්‍යය අතිශය ජනප්‍රිය වීම හේතුවෙනි.

තවද ෆේස්බුක් සමාජජාලා මාධ්‍යයේ පළ කිරීම් “අසත්‍යය” යැයි ලයිස්තුගත කිරීමට බලය හිමි ‘Fact Crescondo’ ෆැක්ට් චෙකිං ආයතනයට මුදල් ගෙවීමටත් මෙම ව්‍යාපෘතියෙන් යෝජනා කර තිබේ. එමගින් ජවිපෙට එරෙහි සමාජජාලා පළ කිරීම් අසත්‍ය ලෙස ලයිස්තු ගත කිරීමටය.

දැනමටත් ‘Fact Crescendo’ වෙබ් අඩවියේ පළ කිරීම් වලින් 60%ක් පමණ වෙන් කර ඇත්තේ තෙවන පාර්ශවයක් වන ජවිපෙට එරෙහි පළ කිරීම් උදෙසා වීමත් විශේෂය. මේ පිළිබඳව මාධ්‍ය සංවිධානයක් ‘Fact Crescendo Sinhala’ වෙබ් අඩවියට එරෙහිව ෆේස්බුක් ආයතනයට සහ IFCN ආයතනයට පැමිණිලි කිරීමේ සුදානමක් පවතින බවද වාර්තා වේ.

කෙසේ වෙතත් මෙලෙසට Fact Crescendo’ ෆැක්ට් චෙකිං ආයතනය ජවිපෙ වෙනුවෙන් කටයුතු කරන්නේ මෙම ප්‍රචාරණ ව්‍යාපෘතියෙන් මුදල් ලබාගෙන තිබීම හේතුවෙන් බවද වාර්තා වේ.

Ogilvy Digital  ආයතනයේ හිමිකරු වන්නේ එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකයෙකු ලෙස කටයුතු කළ අර්වින් වීරක්කොඩි වීම විශේෂයකි.





 

Ogilvy Digital ආයතනය විසින්, අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයාගේ ප්‍රතිරූපය නැගී සිටීමට දියත් කරන කැම්පේන් ව්‍යාපෘතියේ නිල පත්‍රිකා පහතින්,

ඇඩ්මින් - Amila ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
ලොවපුරා ඉන්ධන හිඟයක් : ලොව රටවල් කිහිපයක විදුලි සැපයුමත් ඇණ හිටියි 


ඉන්ධන හිඟකම නිසා ලෙබනනයේ ප්‍රධාන විදුලි බලාගාර දෙක සිය විදුලි උත්පාදන නවතාලීම හේතුවෙන් මිලියන 06 කට ලෙබනන් වැසියන්ට විදුලි බලය ඇණ හිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

අද සිට විදුලි උත්පාදන කටයුතු නතර කරනු ලැබූ බවට ලෙබනන් රජය නිල වශයෙන් දැනුම් දුන් අතර එය හැකියාව වෙතොත් ලබන සඳුදා නැවත ඇරඹීමට බලාපොරොත්තු වෙන බවද ඔවුන් සඳහන් කර සිටියි.

ලෙබනන් හමුදාව සතු ඉන්ධන සංචිත යොදා ගෙන විදුලි උත්පාදන කටයුතු ඇරඹීමට ලෙබනන් විදුලි සමාගම බලාපොරොත්තු වෙන් පසුවුවත් එය ඉක්මනින් සිදුවේද යන්න ගැටළු සහගත බවයි එරට රජය පවසන්නේ.

2020 වර්ෂයේ බේරූට් වරායේ සිදුවූ පිපිරීමෙන් පසුව එරට පාලන බලයේ සිටි රජය ඉවත් වීමත් සමග ලෙබනනයේ තත්ත්වය දිනෙන් දින පිරිහීමට ලක්වෙමින් තිබෙනවා.

අවශ්‍ය ඉන්ධන ගබඩා නොකර ගැනීම ඇතුළු අත්‍යාවශය භාණ්ඩ හිඟකමට ප්‍රධාන හේතුව වී ඇත්තේ රටේ පාලන බලය අල්ලා ගැනීමට වෙර දරණ විවිධ කණ්ඩායම් අතර ඇතිව තිබෙන බල අරගලය බවයි ජාත්‍යන්තර විශේෂඥයින් පවසන්නේ.

මේ අතර ලොවපුරා බලශක්ති හිඟ තාවයක් මතුවෙමින් පවතිනවා. ඒ ගෝලීය ඉන්ධන හිඟතාවයක් මතුවීමත් සමගයි. 

ඉන්දියාවේ ගල් අඟුරු විදුලි බලාගාර ඉදිරි දීන 03 තුලදී අක්‍රිය වෙනු ඇති බවට එරට රජය දැනටමත් ප්‍රකාශ කර ඇත. ඒ ඔවුන්ගේ ගල් අඟුරු බලාගාර 135 සඳහා ඇත්තේ දින 03කට ප්‍රමාණවත් ඉන්ධන බවයි රජයේ දත්ත පෙන්නුම් කරන්නේ.

මේ තත්ත්වය හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී ඉන්දියාවේ නව දිල්ලි නුවර මිලියන 20 කට අධික ජනතාවට අඳුරේ සිටීමට සිදුවෙනු ඇති බවට දැනටමත් අනතුරු අඟවා ඇත.

මේ අතර කොවිඩ් වසංගතයෙන් පසු රටේ ආර්ථිකය නැවත විවෘත කිරීමත් සමග චීනයේ ගල් අඟුරු බලාගාර නැවත සක්‍රිය කෙරුණද ලොවපුරා ගල් අඟුරු සඳහා ඇතිවී තිබෙන අධික ඉල්ලුම හේතුවෙන් මිල ගණන් ඉහළ යෑම නිසා එම විදුලි බලාගාර පාඩු ලැබීම හේතුවෙන් වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.

මේ හේතුවෙන් චිනයේද ඇතැම් ප්‍රදේශවල විදුලි සැපයුම ඇණ හිට තිබෙන බව සඳහන්. 

විශේෂයන් දකුණු ගුආන්ඩොන්ග් ප්‍රාන්තය සහ නිරිත දිග චීනයේ කර්මාන්ත ශාලා බහුලව පිහිටි ජිලිං, ලියෑනිංන් සහ හෙලිඔන්ගීජෑන්ග් යන ප්‍රදේශවලට මෙම තත්ත්වය තදින්ම බලපෑමකට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

මේ අතර චීනයේ ප්‍රාන්ත 16ක ඉන්ධන ඇතුළු බලශක්ති බෙදා හැරීම සලාක ක්‍රමයට යටත් කිරිමට කටයුතු ආරම්භ කර තිබෙනවා. ඒ පුර්ණ විදුලි ඇණ හිටීමක් සිදුවීම වලක්වා ගැනීම සඳහායි.

මේ අතර කොවිඩ් -19 වසංගතයෙන් පසු ආර්ථික කටයුතු නැවත ඇරඹීමත් සමගම යුරෝපයේ ද ඉන්ධන හිඟතාවයක් මතුවෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

ඇඩ්මින් - Amila ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිද ජලනි පේ‍්‍රමදාස මහත්මිය විසින් තම නිවසක් බලහත්කාරයෙන් අල්ලාගෙන සිටින බව කොළඹ 7 කුරුඳුවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු චෝදනා කරයි.

2007 වසරේ සිට කුලී පදනම මත නිවස ජලනි ප්‍රේමදාස මහත්මිය විසින් භාවිතා කළ ද දැනට ලක්ෂ 35 ක පමණ හිග කුලී මුදලක් තමන්ට දීමට නියමිතව ඇතැයිද ඔහු සඳහන් කරයි.

ඔවුන් විසින් දිගින් දිගටම කුලී මුදල් ගෙවීම පැහැර හරිමින් ඇති බවත් නිවස මිලදී ගැනීමට සාකච්ඡා කළ ද ඒ සඳහා වුවද මුදල් ගෙවීම් නොකරන බව ද ඔහු පැවසීය.

මේ සම්බන්ධයෙන් අධිකරණයේ නඩු කටයුත්තක් ක්‍රියාත්මක කර ඇති බවද පැවසූ ඔහු තමාට අවශ්‍ය වන්නේ තම නිවස නිදහස් කර ගැනීම හෝ නිවසේ වර්තමාන වටිනාකමට ඔවුනට එම නිවස විකුණා දැමීම බවත් කියා සිටී.

ඇඩ්මින් - Amila ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

පරාක‍්‍රම සමුද‍්‍රය ඉස්මත්තේ ඇති හිටපු ජනපතිගේ නිවාස හෝටල් ඉවත් කරගන්නැයි කියයි

පරාක‍්‍රම සමුද‍්‍රය ඉස්මත්තේ ඇති හිටපු ජනපතිගේ නිවාස හෝටල් ඉවත් කරගන්නැයි කියයි…

පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයෙහි වැව් තාවුල්ල ගැන කතා කරන අය කරන්නේ වීදුරු ගෙවල්වල ඉඳලා ගල් ගැහීමක් .එයාලා පරාක්‍රම සමුද්‍රයට ආදරය නම් මුලින්ම කළ යුත්තේ එයාල හදපු හෝටල් හා ගෙවල් ඉවත් කරගන්න එක.යැයි පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.

රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මෙසේ පැවසූයේ අද දින කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක වාද්දුව  ශ්‍රී බෝධිරාජාරාමාධිපති මහාචාර්ය කොටපිටියේ රාහුල නාහිමියෝ බැහැ දැකීමට ගිය අවස්ථාවේදීය.

එහිදී රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය.

ගොවි ජනතාවත් හොඳින් අවබෝධ කර ගන්න ඕන සහතික මිලක් කියන්නේ එයිට වඩා අඩුවෙන්  වී මිලදී ගන්න බැහැ කියන එක. දැන් උදාහරණයකට ගත්තොත් පහුගිය යහපාලන ආණ්ඩුව කාලේ වී මිල රුපියල් 32 යි 33 යි ජනතාවගේ හඳවතේ ගලේ කෙටුවාවගේ තියා ගත්ත නම් හොඳයි. යහපාලනය ගොවියා නැති භංගස්ථාන කරයි කියන එක, එතකොට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඇවිල්ලා වී වලට රුපියල් 50 ක සහතික මිලක් දුන්නා. පසු ගිය කාලේ නැවත වී මිල බස්සලා ගන්න කොට තමයි වී ටිකට නාඩු සඳහා රුපියල් 55 කුත්, සම්බා සඳහා 60 කුත්, කීරි සම්බා සඳහා රුපියල් 70 ක සහතික මිලක් දීල තියෙන්නේ. එතකොට එම සහතික මිලට වඩා වැඩි ගනනකට කවුරුහරි ගන්න ඉන්නව නම් ඒකෙ ගැටළුවක් කොහෙවත් නැහැ. ගොවියා ආරක්ෂා කර ගන්න තමයි සහතික මිලක් තියෙන්නේ. ඊට වඩා වැඩි ගනන් වලට ඕන කෙනෙකුට ගැනීමේ හැකියාව තියෙනවා.

එතුමලා ඉතින් සාකච්ඡා කරන්න දෙයක් නැහැනේ මොනවද ඉතින් අර හම්බන්තොට වරාය හිටපු ජනාධිපති තුමාගේ කාලයේදී අපේ රටේ ආර්ථික මර්මස්ථානය සම්පූර්ණයෙන්ම විකුණලා දැම්මේ. මේ ගොල්ලො කරන්න තියෙන ඔක්කොම විනාශය රටට කරලා දැන් එක එක කඩාකප්පල්වකරී ක්‍රියා කරන්න හඳනවා ඇතුළෙ ඉඳන් එක නිසා මම මේවා ගැන දීර්ඝ වශයෙන් කතා කරන්න කැමති නැහැ.

රටේ ජනතාව අවබෝධයෙන් ඉන්න එක තමයි විශේෂයෙන් තියෙන්නේ. එදා එළියෙ ඉඳන් කුමන්ත්‍රණ කරපු සමහරු අද ඇතුළෙ ඉඳන් කුමන්ත්‍රණ කරනවා මේ රටේ 2/3 ක ජන වරමක් ගොඨාභය මහතා ප්‍රමුඛ පොදු ජන පෙරමුණට ජනතාව දීල තියෙන්නේ වැඩ කරන්න. එම වගකීම අපි හරියට අරන් කරනවා.

ආයෝජන රටට එන්න ඕනෙ එහෙම නැතුව අපේ රට දියුණු කරන්න බැහැ මේ රටේ රාජ්‍ය අංශය ශක්තිමත් කරන්න පුළුවන් රාජ්‍ය ආයතන ටික නැවත පණ ගන්වන්න පුළුවන් පෞද්ගලික අංශයත් එක්ක එකතු වෙලා ගියොත් කියල මන් එදත් කියනවා අදත් කියනවා.

අද දිනයේදී අපේ කෝට්ටේ පාර්ශවයේ අනුනායක මහාචාර්යය කොටපිටියේ රාහුල නායක හාමුදුරුවන් බැහැ දකින්න මම  පැමිණියා. ජාතික වශයෙන් කෙරෙන හැම කටයුක්තක දීම, හැමදාම මම උන්වහන්සේගේ අශීර්වාදය, මඟ පෙන්වීම, අවවාද උපදෙස් ලබා ගත්තා. අද දිනයේදී උන්වහන්සේ මේ ඇවිඳින මං තීරුව සම්බන්ධයෙන් අනුශාසනා කර සිටියෙ, විමසා සිටියේ  මුලින්ම මේවාට අනුමැතීන් ටික ලබා ගත්තද කියලා. ඉතින් මම පැහැඳිලි කරලා දුන්නා.

2021 ජනවාරි මස මුල ක්ෂේත්‍ර පරීක්ෂාව සිදු කලා. ඉන්පසු 10 වෙනිදා වෙන කොට මෙම සියළු අධ්‍යයන කරලා  පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුමැතිය දීල තියෙනවා, වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ අනුමැතිය දීල තියෙනවා, මාර්ග සංවර්ධන අධිකාරියේ අනුමැතිය දීල තියෙනවා, පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ අනුමැතිය දීල තියෙනවා. ඒවගේම නගර සභාවේ අනුමැතිය දීල තියෙනවා.

ඒවගේම තෝපා වැව භාරව ඉන්නේ ඒ ප්‍රදේශය පූජනීය නගරයක් විදිහට අපේ අනුනායක හාමුදුරුවෝ, වෙඩරුවේ උපාලි හමුදුරුවෝ, උන්වහන්සේ පූර්ණ අනුශාසකත්වය අනුමැතිය දීල තියෙනවා. මේ කටයුතු ටික කරන්න. ඒ නිසා සියළුම අනුමැතීන් තියෙනව නම් කවුරු හෝ පුද්ගලයෙක් කකුලෙන් අඳිනව නම් ඒක අදාළ කර ගන්නේ නැතුව මෙවැනි කටයුතු සිදු විය යුතුයි කියන එක. උන්වහන්සේ අනුශාසනා කලේ දෙවැනි කාරණය අපිටත් පේන්න තියෙනවා මේ රටේ හොඳ වැඩ කරද්දී කකුලෙන් අඳින කුමන්ත්‍රණ ක්‍රියාත්මක වෙන එකයි කිව්වේ.

ඒ නිසා හොඳ වැඩේට කවුරු හෝ කකුළෙන් අදින්න හැඳුවට ඒවාට නොබියව ඒ ඒ රාජ්‍ය වල සියළුම අනුමැතීන් තියෙනවනම් ඒක රජයේ ක්‍රියාවලිය නම් කරන්න තියෙන්නේ ඒ කටයුතු ටික ඉදිරියට කරගෙන යන්නයි.

හිටපු ජනාධිපති තුමා කියනවා කෞතුක වස්තූන් සම්බන්ධයෙන්, ඉතින් කෞතුක වස්තූන් තමා අපි ආරක්ෂා කරන්න තියෙන්නේ. එය ආරක්ෂා කිරීමට තමයි එදා ජයසිරිමා බෝධිය ආරක්ෂා කරලා සංරක්ෂණය කරන්න කටයුතු කළේ. අදියරෙන් අදියර රුවන්වැලි සෑය අපි දන්නවා ආරක්ෂා කරලා සංරක්ෂණය කරලා තියෙන්නේ. අපිට වගකීමක් තියෙනවා.ඓතිහාසික සොළොස්මස්ථානයේ  මාර්ග පද්ධති ඔක්කොම හදලා විදුලි පහන් ආලෝක කරලා ඒවා සංරක්ෂණය කරලා තියෙනවා.

ඒ වගේම තමා මේ පරාක්‍රම සමුද්‍රය වේල්ල සංරක්ෂණයක් වෙන්නෙ මෙතන තවදුරටත් ශක්තිමත් වෙලා මහජනතාවට තවදුරටත් පරාක්‍රමබාහු රජතුමා කරපු ඒ මහා විශ්ව කර්මය අභිමානයෙන් දැක ගන්න ඒ පුංචි දරුවගේ ඉදල දෙමාපියන්ට මේ රටේ සියළු දෙනාටම අවස්ථාවක් ලබා දීම තමා එතනින් සිද්ධ වෙන්නේ. කෞතුක වස්තූන් විනාශ වීම ගැන කියන්න දෙයක් නැහැ එතුමලාගේ කාලේ ඉතින්. අද වැව් තාවුල්ලක් පොළොන්නරුවේ නැහැ. මේවායේ හෝටල් හඳල තියෙන්නෙ කවුද ගෙවල් හදල තියෙන්නේ කවුද, කියලා අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. ඒක තමා පැහැදිලි යථාර්ථය.

කෞතුක වස්තූන් ආරක්ෂා කිරීමට හිටපු ජනාධිපතිතුමා හිතනව නම් එතුමා කරන්න ඕන එතුමලගේ ගෙවල් හෝටල් ඉස්සෙල්ලම අයින කර ගන්න එක තමයි මම දකින දෙය. ඒක නිසා වීදුරු ගෙවල් වල ඉඳගෙන ගල් ගැහීමක් තමයි සිද්ධ වෙන්නේ අපි ජනතාව වෙනුවෙන් අවංකව වැඩ කරන්නේ ඒ නිසා මේ රටේ ගොවි ජනතාවගෙන් මම ඉල්ලනවා දේශපාලන උප්පර වැට්ටි කුමන්ත්‍රණ වලට මේ රටේ ජනතාව මුලා වෙන්න එපා. ඒ වගේම තමයි මේ රටේ ජනතාවගෙන් අපි ඉල්ලනවා ඔබ තුමාලා බොහොම අවධියෙන් සිටින්න. කුමන්ත්‍රණකාරීන්ට ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යතුමා මේ රට බෙදෙන්න යද්දි බෝම්බ පත්තු වෙද්දි ආර්ථික වශයෙන් විනාශ වෙද්දී මේ රට අරගත්තේ ඉදිරියට ගෙනියන්න. එම වගකීම හරියට කරල තියෙනවා යැයි ද, පැවසීය.

ප්‍රසන්න අධිකාරි
මාධ්‍ය ලේකම්

ඇඩ්මින් - Amila ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න





ගාල්ල සීනිගම දේවාලයට පැමිණෙන සාස්තරකාරියකගේ සිහිය විකල් කොට ඇයව හෝටල් කාමරයකට ගෙන ගොස් දූෂණය කොට ඇයගේ නිරුවත් ජායාරූප ගත් තරුණ කපු මහතෙක් ගාල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 


සීනිගම දේවාලයට නිරන්තරයෙන් පැමිණ තමාගේ බලය වැඩි කර ගැනීම සඳහා පුද පූජා තබන මෙම සාස්තරකාරියගේ වයස 30 ක්.ඇය දෙදරු මවක්ද වනවා.

 

මේ අතර මෙම කපුවා ඇය සමඟ මිතුරු වී ඉකුත් දිනෙක බීම වීදුරුවක් දී ඇයව මත්කොට සිහි විකල් කොට මෙලෙස කාමරයකට රැගෙන ගොස් තිබෙනවා.

 

කපුවා විසින් ඇයව දූෂණය කොට ඇයගේ නිරුවත් ජායාරූප ගෙන ඇයව නැවත මහ මඟ දමා ගොස් තිබුණා.

 

පසුව එම ජායාරූප ඇයගේ whatsApp කොට ඇයට බලපෑම් කරමින් අවස්ථා කිහිපයකදී ඇයව නැවත නැවත දූෂණය කොට තිබෙනවා.

 

සැකකාර කපුවා මෙලෙස ඊයේ දින අත්අඩංගුවට ගෙන මේ වන විට ප්‍රශ්ණ කෙරෙමින් සිටිනවා.

 

කපුවා කුරුණෑගල පදිංචි 32 හැවිරිදි අවිවාහක අයෙක්
.

ඇඩ්මින් - Amila ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න

උඹ මහ පාරෙ පුච්චලා මරණවා…- බදියුදීන් වැලිකඩ සිට අමතයි..

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා විසින් මරණ තර්ජන කළ බව පවසමින් බන්ධනාගාර වෛද්‍යවරයෙක් බොරැල්ල පොලීසියට පැමිණිල්ලක් කර තිබේ.

පසුව ඒ පිළිබඳව වැඩිදුර විමර්ශන සඳහා පොලිස්පතිවරයා විසින් කොළඹ අපරාධ කොට්ඨාසය වෙත යොමුකර ඇත.

මැගසින් බන්ධනාගාරයේ වෛද්‍යවරයෙකු විසින් ඊයේ (21) එම පැමිණිල්ල කර තිබේ.

එම පැමිණිල්ලේ දැක්වෙන්නේ, වැලිකඩ බන්ධනාගාරයේ බෙහෙත් ශාලාව තුළ පසුගිය 15වනදා අදාළ වෛද්‍යවරයා විසින් රෝගී රැඳවියෙකු පරීක්ෂා කරමින් සිටියදී රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයා බලහත්කාරයෙන් එම ස්ථානයට පැමිණ ඇති බවය.

එහිදී මන්ත්‍රීවරයාට පිටතින් සිටින ලෙසත් අවශ්‍ය තොරතුරු ලබාගත් පසුව ඔහුව ඇතුළට කැඳවන බවත් වෛද්‍යවරයා විසින් පවසා ඇති බව වාර්තා වේ.

එහිදී කුපිත වූ රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා, බැණවැදී ඇත්තේ, “උඹ මහ ලොකු දොස්තර කෙනෙක් ද, මගේ යාලු දොස්තර කෙනෙක් මේ දැන් කෝල් කරලා මට ගෙන්න ගන්න පුළුවන්,මගේ වැඩ කරගන්න තමුසේ ඕන නැහැ” යනුවෙන් බව අදාළ පැමිණිල්ලේ සඳහන් වෙයි.

“තමුසේ දන්නැද්ද මම මොකක් කරලා ද ආවේ කියලා. ඒ වගේම තමුසෙව වෙන ලෝකෙකට අරින්නත් පුළුවන්. පැයක් ඇතුළත මාරු කරලා යවන්නත් පුළුවන්. තමුසේ වැඩිය දැඟලුවොත් පාරේ යනකොට තමුසෙයි තමුසෙගෙ කාර් එකයි අළු වෙලා තියෙයි. එතකොට තමුසෙගෙ ගෑණිට මිනිහත් ළමයින්ට තාත්තත් නැති වෙයි. තමුසේ දැනගන්නවා මම රිෂාඩ් බදියුදීන්.” යනුවෙන් මන්ත්‍රීවරයා මරණීය තර්ජන කළ බවද වෛද්‍යවරයාගේ පැමිණිල්ලේ දැක්වේ.

“මට පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද තියෙනවා. ආණ්ඩු පක්ෂයත් විපක්ෂයත් දෙකම සලකනවා. උඹේ ආයු කාලය කෙටියි.” යනුවෙන් ද මන්ත්‍රීවරයා එහිදී පැවසූ බව වෛද්‍යවරයා පොලීසියට පවසා ඇත.

“දොස්තර.. පරිස්සම් වෙලා හිටපන්. ඉක්මනට මෙතනින් පලයන්. ගිහිල්ලා උඹට හැංගිලා ඉන්න තැනක් හොයා ගනින්.” යනුවෙන් තර්ජනාත්මකව හා අපහාසාත්මක බැණවදිමින් ආවේගශීලීව හැසිරුණු බව වෛද්‍යවරයා විසින් කරන ලද පැමිණිල්ලේ සඳහන්ය.

අදාළ වෛද්‍යවරයා විසින් මේ සම්බන්ධයෙන් බන්ධනාගාරයේ ප්‍රධාන වෛද්‍යතුමියට, බන්ධනාගාරයේ ඉහළ නිලධාරියෙකුට වාචිකව සහ ලිඛිතව පැමිණිලි කිරීමෙන් අනතුරුව බොරැල්ල පොලීසිය වෙත පැමිණිලි කර ඇත.

අනතුරුව බන්ධනාගාර කොමසාරිස්වරයා විසින් පොලිස්පතිවරයාට කරන ලද ලිඛිත පැමිණිල්ලක් අනුව පොලිස්පතිවරයාගේ නියෝග මත කොළඹ අපරාධ කොට්ඨාසය ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

ඒ අනුව සිද්ධියට මුහුණ දුන් වෛද්‍යවරයාව අද (22) දහවල් කොළඹ අපරාධ කොට්ඨාසය වෙත කැඳවා වැඩිදුරටත් ප්‍රකාශ ලබාගගෙන තිබේ.

මේ අතර කොළඹ අපාරාධ කොට්ඨාසයේ විශේෂ පොලිස් කණ්ඩායමක් අද කොළඹ මැගසින් බන්ධනාගාරය වෙත ගොස් අදාළ සිදුවීම සිදුවූ ස්ථානය පරීක්ෂා කර ඇත.

ඇඩ්මින් - Amila ( cassano di'Adda ) Milano Italy මෙම පුවත තවත් කෙනෙක්ට බලන්න Share කරන්න
Copyright © 2012 Sri Av Tv Network